වේදනාවෙන් තොර සැපතක් නැත! | සිළුමිණ

වේදනාවෙන් තොර සැපතක් නැත!

 අවට පරිසරය ගැන උනන්දු වන ඔබ, ඔබේ වත්තපිටියේ දකින දේවල් ගැන සුපරීක්ෂාකාරීව සොයා බැලුවාද? සමහර විට වෙනදාට වඩා උද්යෝගයකින් මිදුල දිහා බැලුවොත් වෙනදාට නොදකින අලුත් යමක් ගෙවත්තේ දකින්න පුළුවන් වෙයි. හරියට ඉත්තෑ කූරක් වගේ...

වත්ත පිටිය යහමින් තිබෙන ගහකොළ හොඳට වැඩුණු ඉඩමක නම් ඕක මහ අරුමයක් නොවේ. ඒත් මහ නගර මැද්දේ කොටු වුණු, මල් පෝච්චි දෙකතුනක් විතරක් තිබෙන ගෙවත්තකට ඉත්තෑ කූරක් ආවොත්! එහෙම වෙන්නේ කොහොමද?

අවුරුදු තිහකට අධික කාලයක් වනජීවී ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති හිටපු වනජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නන්දන අතපත්තු මහතා වන සතුන් ගැන අප සමඟ තමන්ගේ අත්දැකීම් බෙදා ගන්න කැමැති වුණා. ඔහු මේ පුදුමයට හේතුව පැහැදිලි කළේ මෙහෙමයි...

''ශ්‍රී ලංකාවේ ජීවත් වන වනසත්ත්ව විශේෂ අතරින් වැඩි දෙනකු දකින්න ලැබෙන්නේ වනාන්තරයේ විතරයි. ඒත් වනචාරි ගති පෙන්වන සතුන් කීපදෙනකු ගෘහාශ්‍රිතව මෙන්ම නාගරික ප්‍රදේශවල දකින්න ලැබෙනවා. ඒ අතරින් ඉත්තෑවා බහුලයි. අගනුවර ජනාකීර්ණ ප්‍රදේශවල වගේම කොළඹට ආසන්න නුගේගොඩ, මාලබේ, පිළියන්දල, මහරගම වගේ තැන්වලත් රාත්‍රියේ දකින්න හැකි උන් දිවා කාලයට කැලේදිවත් දකින්න බෑ.''

දොස්තර අතපත්තු කියන්නේ ඇත්තයි. අපේ ගෙවත්තට එන ඉත්තෑවුන් මහ රෑ දෙකහමාරට පමණ පොල් හොරකමේ ගිය හැටි අමතක කරන්න බෑ. දවස් දෙක තුනක් 'කරුකුටු' ගාන සද්දෙට අම්මාගේ කන යොමු වී තිබුණේ, හොරෙක් දොර පළුවක් ගලවන්නට යනවා කියන සැකයටයි. ඒත් සැඟවී සිට හොරා ඇල්ලීමට උත්සාහ කළ අපට අහු වුණේ ලෙලි පොල් ගෙඩියක් උස්සාගෙන අම්මාගේ කාමරය පැත්තට දුවන ඉත්තෑ හොරෙක්! ඒ පස්සෙන් හෙමීට ගිය අප දුටුවේ පුරුදුකාරයකු මෙන් පොල් ලෙල්ල ඉවත් කර කට්ට හිල් කර ලුව ලෑටි ගාන රඟෙයි. අපේ ගෙදරට යන මාවතේ හිස් ඉඩමක් ළඟ කූරු පුම්බාගත් ඉත්තෑවුන් ජෝඩුවක් දකින්න ලැබුණේත් අප ගමනක් ගොස් රෑ එකොළහට විතර ගෙදර එද්දියි. ඒ වගේම අත්දැකීමක් දොස්තර අතපත්තුට ඔහුගේ කිරුළපන නිවෙස ආසන්නයේදී ලැබුණාලු.

''දවසක් පූර්වාරාම විහාරස්ථානය ළඟින් වාහනේ පදවාගෙන යද්දි විදුලි ආලෝකයට ඇස් නිලංකාර වුණු ඉත්තෑවෙක් දැක්කා. පහන් නිවලා ඌ යනකල් බලා ඉද්දී තවත් එකෙක් දුවගෙන ආවා. එහෙම ඉත්තෑවුන් ජෝඩුවක් දකින්න ලැබෙන්නේ රැලේ වැටිලා ඉන්නවා නම් විතරයි; එහෙම නැත් නම් අම්මයි පැටියයි වෙන්න ඕනෑ. මොකද: උන් සමාජශීලි සතුන් නොවේ; ඒ නිසා රංචු වශයෙන් හෝ පවුල් වශයෙන් ජීවත් වෙන්නේ නෑ. හුදෙකලා ජීවිතයක් උන්ට තිබෙන්නේ.

ඒත් ගල් බෙනවල ඉඩකඩ තිබෙනවා නම් රංචුවක් වගේ ඉන්න උන් ඇඳිරි වැටෙද්දී තනි-තනිවම එන්නේ හිතෙන-හිතෙන වෙලාවට. සමහර නරුම මිනිස්සු ලයිට් එළියට බලා ඉන්න ඉත්තෑවන් යට කරගෙන යනවා. තවත් සමහරු ඉත්තෑ මස් රහ කරකර කනවා; පොලු-මුගුරුවලින් ගසා මරනවා. ඒත් ඉත්තෑවා හරිම අහිංසක සතෙක්.''

වෛද්‍ය අතපත්තු කියන හැටියට ඉත්තෑවා අපේ ආවේණික සතෙක් නොවේ. කෘෂි පළිබෝධකයකු ලෙස සලකන බැවින් අනාරක්ෂිතයි. ඒ නිසාම ඉත්තෑ පැටවුන් අල්ලාගෙන ඇති කිරීමට සමහරු පුරුදු වෙලා. කොළඹ-නුවර පාරේ තෝලංගමුව, පොලොන්නරුව මැදිරිගිරිය වැනි ප්‍රදේශවල මහ පාර අයිනේ තබාගෙන ප්‍රදර්ශනය කරන, අතගාන්න පුළුවන් ඉත්තෑවුන් දම්වැල්වලින් බැඳ ඉන්නේ පුංචිකාලේ ඉඳන් උන් පුරුදු කර ඇති නිසයි. ඒත් සමහරුන් දන්නේ නැතුව ඇති එය නීති විරෝධි බව. අතපත්තු වෛද්‍යවරයා ඒ ගැන කීවේ මෙහෙමයි...

''ඒක ඉතින් නීතියේ අපූරුව තමා. වනජීවි ආඥා පනතෙන් නොවූවත් සත්ත්ව හිංසාව වැළැක්වීමේ ආඥා පනත යටතේ නීතියෙන් කටයුතු කළ හැකි බව බලධාරීන් දැනදැනත් මේ දේවල් වළක්වන්න කටයුතු නොකරන නිසයි මෙහෙම වෙන්නේ.

''මුළුමනින්ම ශාක භක්ෂකයකු වුණත් ඉත්තෑවා කසළ ශෝධකයෙක් හැටියට පිළිගන්නේ මිය ගිය සතුන්ගේ මස්, හිස් කබලේ කොටස් ආදිය කන නිසයි. ඊටත් වඩා කැලේ ඉන්න උන් ප්‍රිය කරන්නේ ගෝණුන්-මුවන්ගේ අං තට්ටු ලෑටි ගාන්න. එයින් උන් කැල්සියම් ලබා ගන්නවා. පැළ පොල් තවානකට ඇතුළු වුණොත් අහවරයි. ඒ වගේම ළපටි රබර් පොත්ත ලෑටි ගාන නිසා වැඩුණු පසු අස්වැන්න අඩු වෙනවා. කුරුඳු පොත්තත් කනවා. අල-බතල නම් කියන්න දෙයක් නෑ. මේ නිසා ගොවීන්ගේ සතුරෙකු හැටියටයි සලකන්නේ.''

ඉත්තෑවගේ ගෙලත් ගාත්‍රාත් කෙටි නිසා ඌ ඊට ගැළපෙන චර්යාවන්ට පුරුදු වෙලා කියලා දොස්තර අතපත්තු පැහැදිලි කළා.

''ඉත්තෑවා වතුර බොන්නේ අයිනකින් වතුරට බැහැලා. බෙල්ල කෙටි නිසා දියට ඔබන්න බෑ වගේම කකුල් කෙටි නිසා ඈතට දික් වෙන්නත් බෑ. පීනන්න දක්ෂයෙක් නොවුණත් දියේ නොගිලී ඉන්න උන්ට පුළුවන්. ගැමියන් කියන්නේ මෙහෙම වතුරට බැහැලා දිය බොන ගමන් සිරුරේ පිටුපසත් දෙකෙළවරත් තිබෙන කෝප්ප හැඩැති කූරුවලට ජලය පුරවාගෙන ගොස් පැටවුන්ට බොන්න දෙනවා කියලයි. ඒත් ක්ෂීරපායීන් නිසා පැටවුන්ට කිරිවලින් ලැබෙන ජලය ප්‍රමාණවත් කියලා තවත් අය කියනවා. අර කකුල් කොට ප්‍රශ්නේ නිසා ඉත්තෑවිය පැටවුන්ට කිරි දෙන්නෙත් පැත්තට පෙරළිලා.

තන පුඩු ජෝඩු තුනක් තිබුණත් ඉත්තෑවිය වරකට බිහි කරන්නේ එක පැටවයි. ඝන රෝම වැනි ස්තරයකින් වැහිලා ඉන්න පැටවුන් සති හතර-පහක් කිරි බී මව පසුපස වැටී ආහාර පුරුදු ඇති කරගත්තත් සහකාරයකු හමු වූ පසු මවගෙන් ඈත් වනවා.

ඉත්තෑවුන්ට කූරු වර්ග තුනක් තිබෙනවා. එකක් අර කියූ අගිසි කෝප්ප හැඩැති කූරු. උන් ගමන් කරන විට සරසර හඬ නැඟෙන්නේ මේ කෝප්ප කූරු එකට ගැටෙන නිසයි. අනෙක් වර්ග දෙක දිගු සිහින් කූරු සහ කොට මහත කූරුයි. මුහුණේ වල්ගේ කූරු නැතත්, ඉත්තෑවන්ට වල්ගයක් ඇති බව පේන්නේ හොඳටම කේන්ති ගිය විට එය වනන විටයි.

කූරු මුල පෙදෙස සුදු වුවත් අගිස්ස කළු දුඹුරු පැහැයක් ගන්නවා. හැබැයි කන්තලේදී මා ඉදිරියේ නැටුමක් පෙන්වූ ඉත්තෑවියකගේ කූරුවල සුදු කොටස රතු දුඹුරු පාටට පෙනුණා. මේ ගැන විමසද්දී දැනගන්න ලැබුණා එය ඒ ප්‍රදේශයට ආවේණික ලක්ෂණයක් බව. එහෙම වුණාට ඉත්තෑවගේ විශේෂය වෙනස් වන්නේ නෑ. පිටරට උන් 'Hedge-hog' ලෙසත් අපේ ඉත්තෑවන් 'Porcupine' ලෙසත් නම් කෙරෙනවා. මොන නමින් හැඳින්වූවත් ඉත්තෑවකු ජීවත් වන්නේ අවරුදු 12-15ක කාලයයි.''

ඉත්තෑවන් කූරු විදිනවාද? ඒ ප්‍රශ්නයත් වෛද්‍යවරයා විසඳුවේ මෙහෙමයි.

''ඉත්තෑවන්ට කූරු විදින්න බෑ. එහෙම පුළුවන් නම් ගස්වලට වැදුණු කූරු දකින්න තියෙන්න ඕනෑ. සටනකදී සතුරා බිය වද්දන්න කූරු පුම්බලා තමන් වගේ හතර ගුණයකින් විශාල පෙනුමක් ගන්න උන්ට පුළුවන්. සතුරා බිය නොවී සටනට ආවොත් පිටුපස හරවා පස්සෙන් පහර දීමයි උන්ගේ සටන් ක්‍රමය. ඒ අතර මෘදුව සවි වුණු කූරුවල සතුරාගේ සිරුර වැදුණොත් ඒවා ඇනෙනවා. ඇස්වල ඇනුණොත් අන්ධ වෙනවා. ඒ තුවාලවලට විෂබීජ ගියොත් වැඩේ බරපතළයි.''

මෙසේ කියූ වෛද්‍ය නන්දන අතපත්තු අන්තිමට විශ්වවිද්‍යාල සමයේ ඉත්තෑවා ගැන ඇසූ රසකතාවක් මතක් කළා...

''දිවා කාලයේ අලසව නිසොල්මනේ සිටි ඉත්තෑවියකට කිට්ටු කළ හාවෙක් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හිතා මුවට මුව ළං කළා. කලබලයට පත් වූ ඉත්තෑවිය කූරු විහිදගෙන නැඟිට්ටා. හාවාගේ උත්සාහය ව්‍යර්ථ වුණා. මූණේ කූරු ඇනී රිදෙන්න ගත්ත හාවා කීවාලු වේදනාවෙන් තොර සැපතක් නෑ කියලා!''

(ඉත්තෑවුන් ගැන ඔබ දන්නා දේ අපට ලියන්න - 'අතපත්තුයි වනසත්තුයි', සිළුමිණ, ලේක්හවුස්, කොළඹ 10)

අරුණි මුතුමලී

Comments