
සිංගප්පූරුව යනු ලෝකයේ බොහෝ දෙනකුගේ අවධානයට යොමුව තිබෙන කුරු යෝධයෙකි. භූමි ප්‍රමාණයෙන් ඉතා කුඩා රාජ්‍යයක් ලෙස සැලකිය හැකි වුවත් ආර්ථික වශයෙන් සැලකීමේදී ආසියාවේ පමණක් නොව ලෝක පරිමාණයෙන්ද දැවැන්ත යෝධයකු ලෙස සිංගප්පූරුව නැඟී සිට තිබේ. ලොව ප්‍රමුඛ වරාය කේන්ද්‍රීය වෙළෙඳ මධ්‍යස්ථාන අතර දෙවැනි තැන ගන්නා එරටේ ක්‍රියාත්මක වන්නේ ලොව වඩාත්ම නිදහස්, වඩාත්ම නිර්මාණාත්මක, වඩාත්ම ව්‍යාපාරික හිතවාදි මෙන්ම වඩාත්ම තරගකාරි ආර්ථිකයකි. ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාවට අනුව 2017 වසරට අදාළව ලෝකයේ ධනවත්ම රාජ්‍ය 30 අතරට එක්ව ඇති රටවල් අතරින් සිංගප්පූරුවට හිමිව ඇත්තේ හතරවන ස්ථානයයි. ඒ කාරණයම සිංගප්පූරුව ලබා ඇති ආර්ථික සමෘද්ධියේ තරම තේරුම්ගැනීමට ප්‍රමාණවත්ය.
එහෙත් මේ දිනවල සිංගප්පූරුව බොහෝ දෙනෙකුගේ අවධානයට පාත්‍ර වී ඇත්තේ ඒ කිසිවක් නිසා නොවේ. වර්තමාන සිංගප්පූරුවේ පාලකයා හෙවත් අග්‍රාමාත්‍යවරයාට ඔහුගේ සහෝදරයා සහ සහෝදරිය විසින් මතු කර ඇති චෝදනා කිහිපයක් හේතුවෙනි. මේ චෝදනා විමසා බැලීමේදී ලංකාවේ ජීවත් වන ඇතැමුන්ට අනුව නම් මේවාත් ගණන් ගත යුතු දේවල්ද යනුවෙන් සිතනු ඇත. එහෙත් සිංගප්පූරු අගමැතිවරයාට එල්ල වී ඇති මේ චෝදනා නිසා සිංගප්පූරුවේ දේශපාලනය මහත් සේ කැලඹීමට පත්ව ඇති බව නම් සත්‍යයකි.
සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයාගේ සහෝදරයා මෙන්ම සහෝදරියද කර ඇති චෝදනාව වන්නේ අගමැතිවරයා වන තම සහෝදරයාගේ සහ ඔහුගේ බිරිඳගේ චරිත ස්වභාවය, කල්ක‍්‍රියාව, අරමුණු හා නායකත්වය පිළිබඳව තමන් සැක කරන බවයි. එමෙන්ම තම සහෝදරයා වන අග්‍රාමාත්‍යවරයා ඔහුගේ එකම පුත්‍රයා අනාගතයේදී සිංගප්පූරුවේ පාලකයා බවට පත් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවද එමඟින් ප්‍රකාශ වී තිබේ. ඒ අතර සිය සහෝදරයන්ගෙන් සිංගප්පූරු අග්‍රාමත්‍යවරයා වෙත එල්ල වී ඇති තවත් චෝදනාවක් වන්නේ ඔවුන්ගේ පියා වන සිංගප්පූරු නිර්මාතෘවරයා ලෙස බුහුමන් ලබන ලී ක්වාන් යූ පදිංචිව සිටි අංක 38, ඔක්ස්ලේ පාරේ පිහිටි නිවෙස තම පියා වන ලී ක්වාන් යූගේ අවසන් කැමැත්තට අනුව විනාශ නොකර එය භාවිතයට ගනිමින් අගමැතිවරයා සිය දේශපාලන ප්‍රතිරූපය වර්ධනය කරගන්නට කටයුතු කරන බවය.
සාමන්‍යයෙන් බැලූ බැල්මට මේ චෝදනාව යමකුට එතරම් බරපතළ චෝදනාවක් ලෙස නොදැනිය හැකි නමුත් විශේෂයෙන් සිංගප්පූරු ජනසමාජය තුළ ඒ ගැන බලවත් අවධානයක් යොමු වී ඇතැයි කියැවේ. ඒ අන් කිසිවක් නිසා නොව, සිය ජාතියේ අසහාය නායකයා ලෙස සලකනු ලබන ලී ක්වාන් යූගේ අභිප‍්‍රාය නොසළකා කටයුතු කරන්නට වර්තමාන තම නායකයා කටයුතු කරන්නේය යන හැඟීම නිසාය. ලී ක්වාන් යූ යනු දුප්පත් මුඩුක්කුවලින් ගහන, ගඳ ගහන වරාය නගරයක් ලෙස පමණක් පැවති කුඩා බිම් කඩකින් යුත් රටක් ලෝකයේ ප්‍රමුඛතම ආර්ථිකයක් සහිත රටක් ලෙස ගොඩනැගූ නායකයාය. ඒ අනුව අදටත් ඔහු සිංගප්පූරුවේ අසහාය වීර චරිතය වීම එක් අතකට පුදුම විය යුතු කරුණක්ද නොවේ.
දැන් අප විමසිය යුත්තේ තමන් ඉපදී හැදී වැඩුණු තම නිවෙස තම මරණින් පසු විනාශ කළ යුතුව ඇතැයි ලී ක්වාන් යූ සිය අන්තිම කැමැත්තට ඇතුළත් කළේ ඇයිද යන්නය. ඇත්ත වශයෙන්ම එම තීරණයේ ගැඹුර තුළ ලොවට කියා දෙන පණිවිඩය අතිශයින්ම වැදගත්ය. ලී ක්වාන් යූ එයට පැහැදිලි හේතුවක්ද දක්වා තිබේ. එනම්: තමන් ජීවත් වූ නිවෙස ස්මාරකයක් ලෙස නඩත්තු කිරීමට රජයට විශාල වියදමක් දරන්නට සිදු වීම සහ අසල්වාසීන්ට ඔවුන්ගේ නිවාස අලුත්වැඩියා කිරීමට යෑමේදී තමන්ගේ කුඩා පරණ නිවාසය බාධාවක් විය හැකි යැයි ඔහු කල්පනා කළ නිසාය.
ඒ අනුව ලී ක්වාන් යූ මරණයට පත් වීමට පෙර කැමැත්ත පළ කර තිබුණේ තමන් උපන් නිවෙස වුවද තමන්ගේ මරණින් පසු එය කඩා බිමට සමතලා කර එම ඉඩම වෙළෙඳපොළ වටිනාකමට අනුව සංවර්ධනය කර නව නිවාස සංකීර්ණයක් ඉදි කළ යුතු බවය.
ඒ ජාතියක් ගොඩනැඟූ, ජාතියක අභිමානය ලොව හමුවේ තහවුරු කළ අද්විතීය නායකයකුගේ ප්‍රාර්ථනාවකි. දැවැන්ත නායකයකුට තමන්ගේ පරපුර, පුහු ආඩම්බරකම ඉතා කුඩා දේවල්ය. ඔවුන් මරණින් පසුද කල්පනා කරන්නේ රටට තමන්ගෙන් ඉටු විය යුතුව ඇති දේ ගැන මිස, පරපුරක් රකින්නට හෝ පරපුරේ පුහු ආඩම්බරය යාවත්කාලීන කරන්නට නොවේ. පියා දුන් ඔවදන නොතකා හළ සිංගප්පූරුවේ අගමැති පුතාට තම පවුලෙන් මෙන්ම රට වැසියන්ගෙන්ද දෝෂාරෝපණ එල්ල වන්නේ ඒ නිසාය.
ඒ සමඟම මේ සිදුවීම මගින් අප බොහෝ දෙනකු යටපත් කර ඇති වැදගත් කරුණක්ද සිහිපත් වීම නොවැළැක්විය හැකිය. ඒ අප රටේ හිටපු පාලකයකු තම පවුලේ අභිමානය ඔසවා තබන්නට රටේ මහජන මුදල් වැය කර ඇති ආකාරයයි. එනම් ඩීඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කරන්නට රජයේ මුදල් ලක්ෂ 900කට වැඩි මුදලක් නීති විරෝධි ලෙස යොදවා තිබීමයි. ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු මුදලින් රුපියල් ලක්ෂ 900කට වැඩි මුදලක් වැය කර සිදු කර ඇති කාර්යය වී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මවගේ හා පියාගේ පිළිරූ ඉදි කරමින් රාජපක්ෂ කෞතුකාගාරයක් නිර්මාණය කිරීමයි!
ඒ නායකයන් දෙදෙනකු තමතමන්ගේ රටවල් ගැන සිතූ ආකාරයයි. සිංගප්පූරුවට එසේ වන්නත්, අපේ රටට මෙසේ වන්නත් හේතු තේරුම් ගැනීම සඳහා මේ වෙනසද හොඳටම ප්‍රමාණවත්ය.
සුනිල් ජයසේකර