මෝටාරයට ඔහු නිසල කළ නොහැකි විය | සිළුමිණ

මෝටාරයට ඔහු නිසල කළ නොහැකි විය

 'නික්' කියන්නෙ අත-පය හතරම නැතිව ලෝකයට පහළ වුණු දරුවෙක්. ඒ දරුවා උපන් වේලාවේ මවුපියන්ට ඇති වුණු හැඟීම ගැන හිතන්න පුළුවන්ද? අත-පය හතරම නැතිව නිකං දර කොටයක් වගේ ඉපදුණු මේ දරුවා දැකපු දෙමවුපියන් ඒ දරුවා ගැන බලාපොරොත්තු හිතින් අත්හරින්න ඇති. ඒ තරමටම එදා නික් ගැන දෙමවුපියන්ට හිතෙන්න ඇති. තමන් නැති වුණු දවසක මේ දරුව කොහොමද ලෝකයට මුහුණ දෙන්නෙ, කොහොමද ජීවත් වෙන්නෙ කියන ප්‍රශ්න එයාලා එයාලාගෙන්ම අහන්න ඇති. කොහොම වුණත් නික් අවසානයේ ලෝකයේ ධනවත් පුද්ගලයන් අතරට යන්නට සමත් වුණා. ඒ, අත-පය හතරම නැති වුණත් ලෝකයම විහිළුවෙන් පිනවමින්. ඒ වගේ දරුවකු අපේ අම්ම තාත්ත කෙනකුට ඉපදුණා නම් බොහෝ විට ඒ කිරිසප්පය ගඟක මුහුදක සැඟවෙන්න පුළුවන්. සාරධර්ම මහ ලොකුවට අගයනව කිව්වත්, ලෝකෙන්ම උතුම් රට කිව්වත් ඒ අපේ රටේ හැටි.

කොහොම වුණත් අපි මේ කියන්න යන කතාව අත-පය හතරම තිබිලත්, වැඩ නොකර ලෝකයටත් තමන්ටත් බොරු කරන අයට හොඳ පාඩමක්.

අපේ කතා නායකයා වෙන්නේ 'නවරත්නම් නිරෝජන්'.

එයා ඉස්කෝලෙ ගියේ ඉතාම දුෂ්කර මුලතිව් කැලෑබද පාසලකට. පයින් කිලෝමීටර් 4ක් ගියා. සමහර දවසවලට පාසල් යනකොට පාරේ වල් අලි. දවසක් පාසල් ගිය නිරෝජන්ට හමු වුණු වලහකුගෙන් බේරුණේ බොහොම අමාරුවෙන්. ඒ වලහම තවත් දවසක් නිරෝජන්ට කඩාපැන්න. එදා නම් නිරෝජන්ට ටිකක් තුවාල වුණා. ඒ තුවාල අදටත් එයාගේ ඇ‍ඟේ තියෙනවා.

මේ තරම් දුෂ්කර විදිහට ඉගෙනගත්ත නිරෝජන් අපොස සාමාන්‍ය පෙළ විභාගයට සාර්ථකව මුහුණ දුන්නා. විභාගෙ ප්‍රතිඵල ලැබෙන්නත් කලින් ත්‍රස්තවාදය ආරම්භ වුණානෙ. ඉතින් කොහොමද විභාගෙ ලියන්නෙ?

කොහොම හරි ත්‍රස්තවාදි කටයුතු උග්‍ර වෙන කොට නිරෝජන්ට ජීවත් වෙන-එක පවා ප්‍රශ්නයක් වුණා. එයා පුදුමාකාර විදිහට ත්‍රස්තවාදයෙන් මිදිලා ඉන්න හැදුවත් අවසන් සටන ඇරැඹෙන කොට ජීවිත ආසාව තකා එයාට එළියට එන්න සිද්ධ වුණා. මොකද: කැලෑවෙ හැංගිලා හිටපු ත්‍රස්තවාදීන් අවසන් සටනට ඒ වෙනකොට බළ සේනා එකතු කරමින් හිටියෙ. නිරෝජන් ඒ වෙන කොට හිටියෙ පුදුකුඩිඉරිප්පු නගරයට සමීපවයි. අවසන් සටන නිම වෙන කොට නිරෝජන්ටත් අවාසනාවන්ත ඉරණමකට මුහුණ පාන්න සිදු වුණා. ඒ මෝටාරයක් වැදීම නිසා දෙපා සම්පූර්ණයෙන්ම පණ නැති වීමයි. කොන්දේ සුෂුම්නාවට හානි වුණු නිසා ඊට පස්සෙ තනියම පොළොවෙ පය ගහල ඉන්න නිරෝජන්ට බැරි වුණා.

තමන්ගෙ වැඩ පැත්තකට දාල අනුන්ට පවා උපකාර කරපු නිරෝජන්ට ඊට පස්සෙ තමන්ගෙ වැඩක් වත් කරගන්න බැරි තරමට අසරණ වුණා. ඒ වුණත් එයාගෙ ආදරණීය භාර්යාව නිරෝජන්ගෙ අනාගතේ එළිය කර දෙන්න එයා පස්සෙන්ම ආවා.

කිසිම දෙයක් කරකියාගන්න විදිහක් නැති නිසා එයා නිරෝජන් වෙනුවෙන් රස්සාවක් කරන්න හිතුවත් ඒකට එයාගෙත් අධ්‍යාපන සුදුසුකම් මදි. අඩුම ගානේ ඇඟලුම් කම්හලක රැකියාවක් කරගන්නවත් එයාට හැකියාවක් තිබුණෙ නැහැ. ඒ වගේම නිරෝජන්ටත් අධ්‍යාපන සුදුසුකම් තිබුණෙ නැහැ. මේ නිසා මේ පවුලට කිසිම දෙයක් කරකියාගන්න ලැබුණෙ නැහැ. යුද්ධයෙන් ආබාධිත වුණු අයට රුපියල් 50000 ගානේ රජයෙන් ලබා දුන්නා. ඒ වුණත් අපේ රාජ්‍ය නිලධාරීන් හරිම කාර්යශුරයිනෙ! මුලතිව්, පුදුකුඩුඉරිප්පු වගේ ප්‍රදේශවල සියලු සේවකයන් දෙමළ භාෂාවෙන් වැඩ කරන දෙමළ ජාතික අය. ඒ වුණත් ඒ කිසිම කෙනෙක් නිරෝජන් ගැන අවබෝධයෙන් උනන්දුවෙන් බලල කිසිම දෙයක් කරල දුන්නෙ නැහැ.

අඩුම ගානේ රජයෙන් මාසිකව ලැබෙන රුපියල් 3000ක ආබාධිත දීමනාවවත් ලබා දෙන්න මේ අය කටයුතු කරල නැහැ. ඒත් අපේම රටේ වැසියෙක් කියල කොළඹ ඉන්න අපි හිතුවත් මුලතිව් පැත්තෙ ඉන්න මේ නිලධාරීන්ට ඒ තමන්ගේ ප්‍රදේශයේ වැසියෙක් කියන හැඟීමවත් ඇවිත් නැහැ.

කොහොම වුණත් තමන් දන්න මෝටර් කාර්මික ශිල්පය අනුව පොඩි පොඩි වැඩ කරන්න නිරෝජන් පටන් ගත්තෙ වෙන කරන්න දෙයක් නැති නිසයි. රෝද පුටුවෙ වාඩි වෙලා එයා පුළුවන් දේ කරල දෙනවා. එයාගෙ නෝන තමන්ට පුළුවන් දේ කරල දුන්නා. මේ විදිහට මේ දෙන්න ත්‍රිරෝද රථ, මෝටර් සයිකල් වගේම ට්රැක්ටර් හදල දෙන්න පටන් ගත්ත.

ඒ වුණත් පුටුවෙන්වත් බහින්න බැරිව නිරෝජන්ට මේ වැඩේ කරන-එක ලෙහෙසි-පහසු වුණේ නැහැ. ඒ වුණත් තමන්ගේ දැනුම තියෙන නිසා ගෝලයෙක් අරගෙන ඒ වැඩේ කරන්න නිරෝජන් හිතුවා. ඒක හොඳ සාර්ථක වුණා. මොකද: නිරෝජන්ගෙ දැනුමට ගහන්න කෙනෙක් ඒ පැත්තෙ නැති නිසා. වැඩ වැඩි වෙන කොට එක ගෝලයෙකුගෙන් වැඩේ කරගන්න නිරෝජන්ට බැරි වුණා. එයා තව ගෝලයෙක් ගත්ත.

එන්න එන්නම නිරෝජන්ගෙ ගරාජ්-එක ගැන කතාව පුදුකුඩුඉරිප්පු විතරක් නෙමෙයි, අහල පහළ ගම්වලටත් පැතිරිලා ගියා. මේ නිසා පුදුකුඩුඉරිප්පු නගරයට ආසන්න මහපාරට මුහුණ ලා කුලියට තැනක් ගත් නිරෝජන් එතැන තමන්ගෙ ගරාජ්-එක දාගත්ත. දැන් ඒ ගරාජ්-එකේ නිරෝජන් යටතේ හතර දෙනෙක් වැඩ කරනවා. තමන්ට පුළුවන් විදිහට මෝටර් වැඩ වගේම රෝද පුටුවේ ඉඳල කරන්න පුළුවන් හැම දේම නිරෝජන් කරනවා. රෝද පුටුව තමන්ම තල්ලු කරගෙන වාහන ළඟට ගිහින් වාහනවල තියෙන ආබාධ සොයන්න නිරෝජන්ට පුළුවන්.

නිරෝජන්ට ලැබුණු එකම දේ තමයි ඉන්දීය ආධාර යටතේ ලැබුණු ගෙය. දැන් ඒ අය පදිංචි වෙලා ඉන්නේ ඒ ගෙදර. තමන්ගේ එකම දුව නදීෂනා ලොකු තැනකට ගෙන එක තමයි නිරෝජන්ගෙ එකම බලාපොරොත්තුව. දුව දැන් ඉන්නෙ 3 වසරේ. නිරෝජන් දැන් ගරාජ්-එක කරන තැනට මාසෙට රුපියල් 13000ක් ගෙවන්න වෙනවා. අඩුම ගානේ යුද්ධයෙන් ආබාධිත කියල විදුලිය වතුර මේ කිසිම දේකට සහනයක් නැහැ.

ත්‍රස්තවාදය නිසා අසරණ වුණු මේ වගේ තවත් විශාල පිරිසක් ඉන්නවා. ඒ අයට ඒ පැත්තෙ නිලධාරීන් නිසාම සහනයක් ලැබිලා නැති බව තමයි අපිට පෙනෙන්නෙ. තමන් දන්න අඳුනන අයට නම් උපරිම විදිහට සහන අරගෙන දෙන්න නිලධාරීන් කටයුතු ක‍රන බවයි අපට පෙනුණේ. අඩුම ගානේ ආබාධිත අයට ත්‍රිරෝද රථයක තමන්ගෙ වැඩකට යන්න අවශ්‍ය රියැදුරු බලපත්‍රයක් ගන්න වත් ඒ අයට කිසිම උදවුවක් උපකාරයක් කරල දෙන්නේ නැහැ.

මේ වගේ අසරණ වුණු අයට හැම පැත්තෙන්ම උදවු උපකාර කරන්න ඕන. අඩුම ගානේ ඉදිරි පරම්පරාව වත් දියුණුවක් ලබන පිරිසක් බවට පත් කළේ නැත් නම් ඒ අයටත් අධ්‍යාපනයක් හරිහමන් විදිහට නැති වෙනවා. ඒක අපේ රටේ ආර්ථිකයට ලොකු බරක් වෙනවා වගේම පොදුවේ ඒ අයගේ අනාගතයටත් ලොකු බරක් වෙනවා.

තාරක වික්‍රමසේකර
සේයාරූ - රුක්මාල් ගමගේ 

Comments