මුහුණු පොතින් නහය කපාගැනීම | සිළුමිණ

මුහුණු පොතින් නහය කපාගැනීම

 මීට අවුරුදු 20කට විතර කලින් අපේ රටේ හුඟක් පුවත්පත්වල 'මිතුරු හමුව' කියල කොටසක් වෙන් කරල තිබුණා. කිසි දවසක දැකල නැති අයගේ ලිපිනයන් සමහර වෙලාවට පින්තූරත් එක්ක ඒවායේ පළ වුණා. ඉතින් කැමැති කැමැති අයට ඒ අයට ලියුම් යවලා සම්බන්ධකම් පවත්වාගන්න හැකියාව ලැබුණා.

'පෑනේ මිතුරු-මිතුරියන්' කියල අතීතයේ අපි හැඳින්වූයේ මේ අයටයි. මේ පෑනේ මිතුරු-මිතුරියන්ගේ ඇසුර දුරදිග ගිහින් ආවාහ-විවාහ දක්වා ගිය අවස්ථාත් වාර්තා වුණා. ඒත් බොහොම කලාතුරකින් තමයි මේ මිතුරු ඇසුරු නිසා ජීවිත හානි නැත් නම් විපත්ති, සොරකම් වගේ විනාශකාරි සිදුවීම් වාර්තා වූ අවස්ථා හමු වුණේ. කොහොම වුණත් මේ පෑනේ මිතුරු-මිතුරියන් ඇසුර ටිකෙන් ටික නැති වෙලා ගියේ ගුවන්විදුලියෙන් මිතුරු හමුව වගේම විවිධ මිතුරු සමිති සමාගම් ආරම්භයත් එක්කයි. ඒ තත්ත්වයත් අවුරුදු 5කට කිට්ටු කාලයක් තිබුණා. පරිගණක භාවිතය ආවට පස්සේ මේ තත්ත්වය ක්‍රමයෙන් මුළුමනින්ම කණපිට හැරුණා. කොහාම හරි ඊ-මේල් ලිපින සොයාගෙන ඒවා ඔස්සේ මිතුරු-මිතුරියන් සමඟ සබඳකම් පවත්වන්න අවස්ථාව ලැබුණා. ඒ තත්ත්වය වඩාත් වෙනස් වෙලා මිතුරු-මිතුරියන් පෞද්ගලිකත්වයත් එක්ක ඇසුරු කරන්න අවස්ථාව ලැබුණේ අපේ අතට ජංගම දුරකථනය ආවට පස්සෙ. මේ ජංගම දුරකථනය එක් පුද්ගලයකුට විශේෂිත වන නිසා පෞද්ගලිකත්වය උපරිමයෙන් රැකුණා. ඒත් තවත් කෙනකුට යවන පණිවිඩයක් ක්ෂණයකින් ලොව පුරා යවන්න තාක්ෂණයට පුළුවන් නිසා පෞද්ගලිකත්වය බින්දුටම වැටුණා. පෞද්ගලික වෙන්නෙ තමන් තවත් කෙනෙකුට ඒ පණිවිඩය යවන කල් විතරයි. ඒ පණිවිඩයත් කවුරු හරි යවන්න පුළුවන්නෙ. ඒ වුණත් තමන්ගේ සේයාරූ වෙනත් කෙනකු අතට පත් කළා කියන්නෙ මහා විශාල විනාසයක් බව බොහෝ දෙනා දැනගන්න කොට පරක්කු වැඩියි.

මේ මිතුරු ඇසුර විශාල වශයෙන් ව්‍යාප්ත වුණේ 'මුහුණු පොත' නැත් නම් තේරෙන භාෂාවෙන්ම කියනවා නම් 'ෆේස් බුක්' භාවිතය ආවාට පස්සෙ.

'ෆේස් බුක්' හරහා ලෝකයේ ඉන්න ඕනෑම කෙනකු තමන්ගේ මිතුරු-මිතුරියන් බවට තත්පර ගණනකින් පත් කරගන්න පුළුවන්. සමහර වෙලාවට අර පත්තරවල වගේ ඡායාරූප තියෙන්නත් පුළුවන්, නොතිබෙන්නත් පුළුවන්. කොහොම වුණත් මේ සමාජ ජාලා මාධ්‍ය හරහා විශාල සේවාවන් වෙලා තියෙනවා. පහුගියදා ඇති වූ ගංවතුර ඇතුළු ස්වාභාවික විපත්වලදී 'ෆේස් බුක්' මඟින් විශාල ලෙස ආධාර-උපකාර එකතු වුණා. විශේෂයෙන්ම හදිසි අවස්ථාවේදී ඇඳුම්-පැලඳුම් වගේම ආහාර-පාන ලබා දෙන්න මේ 'ෆේස් බුක්' සමාජ මාධ්‍ය ජාලය ගොඩාක් ලොකු සේවාවක් කළා.

'ෆේස් බුක්' මහා විශාල විපතක් කියල සමහර රටවල් හඳුන්වනවා මේ නිසා 'ෆේස් බුක්' භාවිතය දරුවන්ට තහනම් කරන්නත් ඒ රටවල් පියවර ගත්තා. කොහොම වුණත් අපේ රටේ නම් ජංගම දුරකථනයක් අතට ගන්න පුළුවන් වෙන හැම කෙනාම දැන් 'ෆේස් බුක්' ගිණුම් ආරම්භ කරලා තියෙනවා.

මේ 'ෆේස් බුක්' නිසා විපතට පත් වුණු රටක් හැටියට ශ්‍රී ලංකාවත් මුල් තැනට ඇවිත් තියෙනවා. කුරුණෑගල පැත්තෙ ශිෂ්‍යාවක් වගේම රාගම වල්පොළ පැත්තෙ ශිෂ්‍යාවක් 'ෆේස් බුක්' නිසාදිවි නසාගැනීම ලංකාව පුරා ඒ දවස්වල පැතිරුණා. මේ සුප්‍රසිද්ධම සිදු වීම් දෙකක් පමණයි. ඒ විතරක් නෙමෙයි; කිසිදා නොදුටු තරුණියක් නිසා රත්මලාන පැත්තෙ එක් දරු පියෙක් තමන්ගේ බිරිඳයි දරුවයි ගිනි දෙවියන්ට පූජා කළේත් 'ෆේස් බුක්' නිසයි.

මේ ගැන ආරංචි වෙලාද කොහෙද දැන් පිටරටවල ඉන්න අය අපේ රටට ඇවිත් අපිට හොඳ සුද්දයක් දානවා. කවුරුවත් මේ ගැන දැනගෙන හිටියෙ නෑ.

අපේ කොල්ලො කෙල්ලො ගොඩක් මේ උගුල්වලට අහු වෙලා. තමන්ගේ ගජ මිතුරන් ලෙසින් එන මේ විදේශීය කට්ටිය අන්තිමට සේසතටම විදලයි යන්නෙ. ඒ ගැන පොලිසියට ලැබුණු තොරතුරු නිසා දැන් වැඩේට බැහැපු කට්ටිය අල්ලගෙන. තවත් ගොඩක් අය මේ පිටි පස්සෙ ඉන්නවා. අපේ අය තවත් මේ උගුල්වලට අහුවෙනවා.

අපි මේ ගැන පොලිස් මූලස්ථානයෙන් හොයලා බැලුවා. දැනට ඇවිල්ලා තියෙන්නෙ පැමිණිලි 15යි. ඒත් මේ උගුලට අහුවෙලා අමාරුවේ වැටිච්ච කට්ටිය මේ වගේ සිය ගුණයක් කියලයි අපට නම් දැනෙන්නේ.

මොකක්ද මේ අපි අහුවෙලා තියෙන 'ෆේස් බුක්' උගුල.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නැත්නම් සීඅයිඩී-එකට දැනට වාර්තා වෙලා තියෙන විදිහට මෙරට සංචාරය පිණිස වගේම අධ්‍යයන කටයුතුවලට එන විදේශිකයන් 'ෆේස් බුක්' ඔස්සේ මෙරට බොහෝ දෙනා මිතුරු කරගෙන තියෙනවා. ඒ අය පසුව හොඳටම මිතුරු වෙනවා. අපේ අයටත් ඉතින් පොත්ත සුදු කෙනෙක් දැක්කහම වෙන මුකුත් ඕන නැහැ. එංගලන්තෙට ගිහිනුත් ඉවරයි දෙතුන් පාරක් ෆේස් බුක් චැට් කළාට පස්සෙ!

මේ උන්දැල කරන්නෙ තමන් විශ්වාස කරන විදිහට පළමුව හැසිරෙනවා. ඒ විශ්වාසය වැඩි කරල තෑගිබෝග එවන බවටත් අපේ අයට පොරොන්දු වෙනවා.

ඒ තෑගි ගේන්න නිකම්ම බැහැනේ. ඒකට අපේ අයට කියලා තැපැල්, රේගු, රක්ෂණ වගේම මුදල් අමාත්‍යාංශයට ගෙවන්න වෙන බදුවලට කලින්ම මුදල් ඉල්ලගන්නවා. අපේ අයටත් ඉතින් මොකද රුපියල් ලක්ෂ දෙක-තුනට හොඳ ඇපල් ෆෝන්-එකක්, හොඳ ලැප්ටොප්-එකක් නිකම් ලැබෙනව කිව්වහම අතේ තියෙන සේසතම වියදම් කරනවා; නැත් නම් කනේ තියෙන රත්තරන් බඩු උකස් තියල හරි බදු ගෙවන්න අර විදේශීය යාළුවන්ට සල්ලි හොයල දෙනවා. ඇයි ඉතින් තෑග්ග ඊට වඩා හතර-පස් ගුණයක් වටිනවනේ. ඒත් ඉතින් අර සල්ලි ගත්තට පස්සෙ 'ෆේස් බුක්' යාළුවා හොයාගන්නත් නෑ.

ලංකාවේ කෙනෙක් මේ පොල්ල තිබ්බ නම් අඩුම ගානේ පරිගණක ජංගම දුරකථන ඔස්සේ පරීක්ෂණ පවත්වල එයාලව අල්ලගන්න-එක ඒ තරම් අමාරු නැහැ. ඒත් මේ සෙල්ලම කරන්නේ ලංකාවෙම ඉන්න පිටරටින් ආපු උන්දැලා. ලංකාවේ ඉන්න හින්ද අපේ අයටත් හොඳට විශ්වාසයි. ඒත් ඉතින් අර සල්ලි හොයාගත්තට පස්සේ එයාලව හොයාගන්නත් නෑ.

මේ ගැන පැමිණිලි දිගින් දිගටම ආපු නිසයි මේ සිද්ධිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරුණේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව දිගින් දිගටම පරීක්ෂණ සිදු කිරීමෙන් පසු නයිජීරියානු හා උගන්ඩා ජාතිකයන් 25 දෙනකු අත්අඩංගුවට අරගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ විතරක් නෙමෙයි; තවත් ගොඩක් කට්ටිය ඉන්නවා අත්අඩංගුවට ගන්න. හිතාගන්නවත් බැරි තරම් මුදලක් මේ උන්දැල අපේ රටින් පිටට අරගෙන ගිහින් තියෙනවා. ඒ සියල්ල අපේ රටේ සල්ලි. කළු සල්ලි විදිහටයි පිටරටට ගිහින් තියෙන්නෙ. වාර්තා වෙන විදිහට මේ වෙන කොට මේ අය රටින් පිට කරල තියෙන මුදල් ප්‍රමාණය ලක්ෂ 500කටත් වැඩියි. කොහොමද 'ෆේස් බුක්' සෙල්ලමක් ගිය දුර! අපේ අය පූජා කරපු සල්ලි දැන් නයිජීරියාවේ ඇති; නැත් නම් උගන්ඩාවෙ ඇති. මේ අය පළමුවෙන්ම ඒ මුදල් මේ රටේ තියෙන එයාලගේ ගිණුමක තැන්පත් කරගන්නවා. පස්සෙ තමයි හෙමින් සීරුවේ මේ සල්ලි රටින් අරගෙන ගිහින් තියෙන්නෙ. තවත් ලොකු මුදල් ප්‍රමාණයක් මේ රටේ එයාලගේ ගිණුම්වල තියෙන බවයි වාර්තා වෙන්නේ. අපට දැනට වාර්තා වෙලා තියෙන්නේ රටින් පන්නගෙන ගිය මුදල් ගැන විතරයි.

මේ කට්ටිය මේ කෙරුවාව කරන්න නැවතිලා ඉඳලා තියෙන්නෙ මාලබේ, දෙහිවල, ගල්කිස්ස, මීගමුව හා ගාල්ල ප්‍රදේශවල අපේම අයගෙන් කුලියට ගත්ත ගෙවල්වල ඉඳගෙනමයි වැඩේ දීල තියෙන්නෙ. ලක්ෂ 500ක් මේ අය ගෙනිච්ච කිව්වත් මේ අය හොරෙන් පන්නගෙන ගිය සල්ලිත් ඇති. ඒව කොහේ වත් වාර්තා වෙන්නෙ නැහැ නේ. මොකද: මේ තරම් වැඩක් කරපු උන්දැල සල්ලි පන්නගෙන නොගියැයි කියල හිතන්න පුළුවන්ද?

කොහොම හරි දැන් වෙන්න ඕන හුඟක් දේ වෙලා ඉවරයි. පොලීසිය මේ සිදුවීම් මාලාව දිහා බලල පණිවිඩයක් ලබා දෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා කියන්නෙ 'ෆේස් බුක්' නැත් නම් මුහුණු පොත ඔස්සේ තමන්ට පණිවිඩ එවන නොදන්නා පුද්ගලයන්ට තමන්ගේ තොරතුරු ලබා නොදෙන ලෙසයි; ඒ වගේම මේ වෙබ් අඩවි ඔස්සේ අඳුනාගන්නා සියලු දෙනා සැබෑ මිතුරන් නොවන බවයි. මේ පිරිස් අතර වංචනිකයන්, අපරාධකරුවන් වගේම කාම අපරාධකරුවන්ද සිටින බවත් පොලිස් අධිකාරිවරයා පෙන්වා දෙනවා. එසේම ගැහැනු දරුවන් සබඳතා පවත්වන නාඳුනන මිතුරන් සම්බන්ධයෙන් දෙමවුපියන් වඩාත් විමසිලිමත් විය යුතු බවත් ඔහු පෙන්වා දෙනවා.

මේ වෙන කොට පොලීසිය හොයාගත්ත සමාජ ජාල අපරාධවලට වඩා අපරාධ වැඩි වශයෙන් සිදු වෙලා ඇති කියලයි අපට හිතෙන්නේ. තමන්ගේ ජීවිතයත් සතුටත් සල්ලිත් බේරගන්න නම් 'ෆේස් බුක්' පාවිච්චිය පරිස්සමින් කරන්න කියන පණිවිඩය තමයි අපට දෙන්න තියෙන්නේ. 'ෆේස් බුක්' ඔස්සේ ලැබෙන සේවාව වගේම ඒ නිසා වන හානියත් උපරිමයක් වෙන බවයි අපට මේ කරුණු අනුව පැහැදිලි වන්නේ.

ඕනෑම දෙයක් දැනගෙන පරිස්සමෙන් සිදු කළොත් විතරයි ඒ දෙයින් උපරිම ප්‍රයෝජනයක් ඵලයක් ලබන්න පුළුවන් වෙන්නෙ. එහෙම නැත් නම් පොලීසි ගානේ යන්න වෙන-එකයි, තියෙන සේසතම නැති කරගන්න-එකයි විතරයි වෙන්නේ. අපේ රටේ අයගෙන් බැරි නම් නයිජීරියන්කාරයන්ගෙනුයි උගන්ඩාකාරයන්ගෙනුයි හරි අපි පාඩම් ඉගෙනගන්න ඕනෑ.

තාරක වික්‍රමසේකර 

Comments