ආගමික ප්‍රචණ්ඩත්වයට එරෙහි ඉන්දීය සංහිඳියාව | Page 2 | සිළුමිණ

ආගමික ප්‍රචණ්ඩත්වයට එරෙහි ඉන්දීය සංහිඳියාව

 “Not in My Name” – “මගේ නාමයෙන් එපා” ඉන්දියාවේ මේ දිනවල දක්නට ලැබෙන විරෝධතා සටන්පාඨයකි ඒ. වචන කිහිපයක් වුවත් ඉන් කියවෙන්නේ ඉන්දියාවට පමණක් නොව ඕනෑම රටකට ආදර්ශ කොටගත හැකි පණිවිඩයකි. ඒ නැඟී එන ආගමික ප්‍රචණ්ඩත්වයට එරෙහිව විකල්පයක් ලෙස මතු වන මධ්‍යස්ථ මතධාරි සමාජ ක්‍රියාකාරීන් එක්තැන් කරන සටන් පාඨයයි. අතීතයේ සිට අපට ඉන්දියාවෙන් අසන්නට ලැබෙන්නේ හින්දු-මුස්ලිම් ආගමික ගැටුම් අළු යට ගිනි පුපුරු මෙන් දැවෙමින් නිවෙමින් පවතින තත්ත්වයයි. එහෙත් ඒ කිසිම අවස්ථාවක මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට එරෙහිව ඉන්දීය ජන සමාජය තුළින් ප්‍රබල විරෝධතාවක් ඉස්මතු වන බවක් අපට අසන්නට දකින්නට නොලැබිණි. ඒ වෙනුවට දක්නට ලැබුණේ ජන සමාජය ආගමික වශයෙන් බෙදී එකිනෙකා මරාගන්නා තත්ත්වයට පත් වීමයි.

එහෙත් මෑත කාලීනව ඒ ප්‍රවණතාව වෙනස් වී ආගමික ප්‍රචණ්ඩත්වය වෙනුවට ආගමික හා ජාතික සංහිඳියාව වෙනුවෙන් ජන සමාජය තුළින්ම හඬ නැ‍ඟෙන බවට පැහැදිලි උදාහරණ දක්නට ලැබේ. ඉකුත් බ්‍රහස්පතින්දා ඉන්දියාවේ විරෝධතා පැවැත්වීමේ ස්ථානයක් ලෙස ප්‍රකට නවදිල්ලියේ ජන්තර් මන්තර් නම් වන ස්ථානයට එක්රැස් වු 2000කට අධික පිරිසක් ඉන්දියාවේ මුස්ලිම්වරුන්ට එරෙහිව සිදු වන ප්‍රචණ්ඩ ක්‍රියා වහා නැවැත්විය යුතු බව කියමින් විරෝධතා ව්‍යාපාරයක නිරත වුහ. ඔවුන් සතු වු ප්‍රධානතම සටන් පාඨය වුයේ “මගේ නාමයෙන් එපා” යන්නයි.

මේ විරෝධතාවලට එක් වුවෝ මුස්ලිම් හෝ වෙනත් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් හෝ නොවෙති. ඔවුන්ගෙන් බහුතරය හින්දු ආගමික ප්‍රජාව නියෝජනය කරන තරුණ කොටස් විය. නවදිල්ලියේ පමණක් නොව, ඉන්දියාවේ නගර 15ක එක විට විරෝධතාව පැවැත්විණි. ලන්ඩනයේද ඒ අවස්ථාවේදීම විරෝධතාවක් පැවැත්වුණු බව වාර්තා වේ. බොහෝ විට මේ පිරිස් ඒකරාශි වි ඇත්තේ සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩ හුවමාරු කරගනිමිනි.

එය ඉන්දියාවේ විරෝධතා ජාලයක් සිදු කිරීම සදහා නවීන තාක්ෂණය යොදාගත් බවට ඇති ප්‍රමුඛතම සාක්ෂියයි. මෙසේ විරෝධතා දැක්විමට ඉන්දියාවේ සිදුව ඇත්තේ කුමක්ද? එරට බරපතළ ආගමික ගැටුම්කාරි තත්ත්වයක් පවතීද? මතුපිටින් එවැන්නක් නොපෙනේ. එහෙත් රහසිගත ආගමික ගැටුමක් ප්‍රධාන ප්‍රවාහයේ තලයෙන් ඔබ්බෙහි සැඟවී ක්‍රියාත්මක වෙයි.

පසුගිය අගහරුවාදා නැ‍ඟෙනහිර ඉන්දියාවේ ජාකන්ඩ් ප්‍රාන්තයේ මුස්ලිම් ජාතික ගොවියකුට කිසියම් කණ්ඩායමක් බරපතළ ලෙස පහරදී ඔහුගේ නිවෙසද ගිනි තබා තිබේ. ගවයකුගේ මළකුණක් ඔහුගේ වත්තේ තිබු බව ගොවියාට පහරදිමට හේතුව ලෙස දක්වා තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා ඊද් උලෙළ සඳහා සැරසෙමින් නවදිල්ලි නුවරට සාප්පු සවාරි ගොස් දුම්රියෙන් පැමිණෙමින් සිටි 16 හැවිරිදි අර්ෂාද් ජුනයිඩ් නමැති තරුණයා රාත්‍රි දුම්රියකදී 20කට අධික පිරිසක් විසින් පහරදී මරා දමනු ලැබීය. මේ මරණය සමස්ත ඉන්දියාවම කම්පාවට පත් කළ සිදුවිමකි. තරුණයාට පහරකා මියයන්නට සිදු වුයේ ඔහු මුස්ලිම්වරයකු ලෙස උපත ලබා සිටීම හේතුවෙනි.

මෑතකාලීනව ඉන්දියාවේ මුස්ලිම්වරුන්ට හා දාලිත් නමැති ජනකොටසට පහර එල්ල වීමට බලපෑ මුලික සංසිද්ධියකි. අතිතයේදි ඍජුව ආගමික ගැටුමක් ලෙස මේ ජනකොටස් හා ඉන්දියාවේ මහා සමාජය අතර ගැටුම් ඇති වුවද වර්තමානයේ එසේ සිදු වන්නේ විවිධ අනුහේතු පදනම් කරගනිමිනි.

අතීතයේ සිට ඉන්දියාවේ සටන්කාමි ස්වරූපයක් ගත් ආගමික කල්ලිවල ක්‍රියාකාරිත්වය පැහැදිලිව දක්නට ලැබිණි. බොහෝදුරට තම සටන්කාමි ව්‍යාපාරයන් ආගමික නාමයෙන් හඳුන්වාගැනීමට පෙලඹී තිබුණේ ඉස්ලාමිය කණ්ඩායම්ය. කාශ්මීරයේ ක්‍රියාත්මක ඇතැම් කල්ලිද තම නමට ඉස්ලාමීය කොටසක් එක් කරගනිමින් ඊට ආගමික මුහුණුවරක් ලබාදීමට උත්සාහ කර තිබිණි. ඒ ඔවුන්ගේ ප්‍රචණ්ඩකාරි ව්‍යාපාරයන් ආගමික කඩතුරාවෙන් වසාගැනීමටයි. හිස්බුල් මුජහිදීන්, ජායිෂ් ඊ මොහම්මද්, හා හර්කාත් ඊ මුජහිදින් වැනි ජිහාඩි සටන්කාමි කල්ලි ඊට උදාහරණ වශයෙන් ගෙනහැර දැක්විය හැකිය.

ඉන්දියාවේ රජය විසින් නම් කරන ලද ත්‍රස්තවාදි කල්ලි 34න් වැඩි සංඛ්‍යාවක් මෙවැනි ජිහාඩීය නාමය යොදාගත් සන්නද්ධ කල්ලි වෙති. ඉන්දියාව තුළ එවැනි ඉස්ලාමීය නාමයට මුවා වූ අලුත්ම කල්ලිය ඉස්ලාමිය රාජ්‍ය හෙවත් අයිඑස්අයිඑස් කල්ලියේ ඉන්දීය ශාඛාවයි. මේ කල්ලි විසින් ඉස්ලාමීය ආගමික ප්‍රජාවට ඉතා බරපතළ හානියක් සිදු කරනු ලබයි. ඒ ප්‍රතිවාදි අන්තවාදි පාර්ශ්වයෙන් ඉස්ලාම් බැතිමතුන් ඉලක්ක කර ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීමේ වාතාවරණයක් නිර්මාණය කර දීමයි.

ජන සමාජය තුළ සැකය නිර්මාණය කරමින් හා විවිධ ආගමිකයන් අතර බිය වර්ධනය කරමින් හිංසාකාරි වාතාවරණයක් නිර්මාණය කිරීමයි. අද වන විට යුරෝපයේ හා විශේෂයෙන් බ්‍රිතාන්‍ය යේද මුස්ලිම් ප්‍රජාව මුහුණ පා ඇත්තේ අයිඑස්අයිඑස් කල්ලිය විසින් නිර්මාණය කරන ලද ප්‍රචණ්ඩකාරි ආගමික ගැටුම්කාරි වාතාවරණයේ බිය හා සැක මුසු ඉතා අනතුරුදායක පසුබිමක ජීවත් වීමටයි. ලංඩනයේ ඉස්ලාමීය බැතිමතුන් ඉලක්ක කරගත් වෑන් රථ ප්‍රහාරය ඊට උදාහරණයකි.

ඉන්දීය ජන සමාජය තුළ හින්දු බහුතර ප්‍රජාව තුළින්ද සටන්කාමි ස්වරූපයේ සංවිධාන බිහි වීමේ ප්‍රවණතාවක් නිර්මාණය වුයේ 1960 දශකයේ රාෂ්ට්‍රීය ස්වායක් සේවක් සංග් හා විශ්ව හින්දු පර්ශද් වැනි සංවිධාන බිහි වීමත් සමගයි. ඒ සංවිධාන මුල් යුගයේදී ප්‍රචණ්ඩකාරිත්වය පිළිබිඹු නොකළද පසුකාලීනව හින්දු ජනසමාජය තුළ අන්තවාදි හා මුස්ලිම් මෙන්ම ක්‍රිස්තියානි විරෝධි මතවාදයන් නිර්මාණය කිරීමට අවශ්‍ය පසුබිම සකස් කර තිබේ.

එහි ප්‍රතිඵලය ශිව්සේනා වැනි සටන්කාමි මුහුණුවරක් ගත් සංවිධාන බිහි වීමයි. ශිව්සේනා ඉන්දිය මුජහිදින් - ජිහාඩ් කල්ලි මෙන් අවි නොදැරුවද, අවි ගෙන අන්‍යාගමිකයන් හා ඔවුන්ගේ සිද්ධස්ථාන අවශ්‍ය විටකදී ඉලක්ක කරගැනීමේ මතවාදිමය පසුබිමක් හින්දුවරුන් තුළ බිහි කර තිබේ. ශිව්සේනා සංවිධානය මෙහෙයවු දරුණුතම ප්‍රහාරය 1992 අයෝධ්‍යාව හෙවත් රාම දෙවිඳුන්ගේ නිජ බිම ලෙස හින්දුවරුන් සලකන භූමියේ ඉදි කර තිබු 16 වැනි සියවසට අයත් බාබ්රි මස්ජිද් නමැති මුස්ලිම් ආගමික දේවස්ථානය බිමට සමතලා කිරීමයි.

ඉන් පසු ඇති වු හින්දු මුස්ලිම් ප්‍රචණ්ඩක්‍රියාවලින් තුන්දහසකට අධික පිරිසක් මියගිය බව අතිත සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. 2002 ගුජරාත් ප්‍රාන්තයේ ඇති වු හින්දු මුස්ලිම් ගැටුම්වලින් මුස්ලිම්වරු 790 දෙනෙක් හා හින්දුවරු 254 දෙනෙක් මියගියහ.

වර්තමානය වන විට ඉන්දියාව තුළ නව මුස්ලිම් විරෝධි රැල්ලක් නිර්මාණය වී ඇත්තේ ගව ඝාතනය පදනම් කරගනිමිනි. හින්දුවරුන්ට අනුව ශිව දෙවියන්ගේ වාහනය වන ගවයා පූජනීය සත්ත්වයෙකි. ප්‍රාන්ත කිහිපයකම ගව ඝාතනය තහනම් කර ඇති අතර එම නීතිය උල්ලංඝනය කරන්නන්ට දස වසරක සිරදඬුවම් නියම කෙරේ. ගවයා ආරක්ෂා කරගැනීමේ ව්‍යාපාරයක් හින්දු පාර්ශ්වයෙන් බිහි වී තිබීම ආගමික අන්තවාදයේ අලුත්ම මුහුණුවර ගෙනහැර දක්වයි. එම සංවිධානය පෙන්වා දෙන්නේ මුස්ලිම්වරුන් ගව ඝාතනයට මුල් වන අතර ඊට එරෙහි විය යුතු බවයි. මේ මතවාදය පදනම් කරගනිමින් ඉන්දීය සමාජය තුළ මුස්ලිම්වරුන්ට එරෙහි හුදෙකලා ප්‍රහාර දියත් කෙරේ.

අප මුලින් සඳහන් කළ අර්ෂාද් ජුනයිඩ් නමැති තරුණයා මියයන්නේ එම හුදෙකලා ප්‍රහාර රටාවේ ගොදුරක් බවට පත් වෙමිනි. මෙවැනි ස්වරූපයේ ගැටුම්වලින් වසරකට ඉන්දියාවේ 130ක් පමණ මිය යන බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. මෙය ඕනෑම සමාජයක පැවැත්මට දැඩි අභියෝගයකි. එකවර ඇති වන ප්‍රචණ්ඩක්‍රියා රැල්ලකටත් වඩා භයානක තත්ත්වයක් මෙමඟින් නිර්මාණය වී තිබේ.

මේ ගව ආරක්ෂක සංවිධානයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ඉන්දීය රජය සූදානම් වෙයි.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මුස්ලිම්වරුන්ට එරෙහි ප්‍රහාර දැඩි ලෙස හෙළාදකින අතර ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමටද ප්‍රතිඥා දෙයි. ඉන්දීය ජනසමාජය ආර්ථික වශයෙන් නැංවීමට මෙන්ම මුල්බැසගෙන පැවති අපිරිසුදුකම හා වැසිකිළි භාවිතයක් නොමැතිවීම වැනි දුර්ගුණ පිටුදැක නවීන ප්‍රශස්ත ජන සමාජයක් බවට පරිවර්තනය කිරීමේ වැඩසටහන් ගණනාවක් අගමැති මෝදි විසින් හඳුන්වා දී තිබේ.

ඔහු නවීන ලෝකයට ගැළපෙන ලෙස හිතන පතන හා ක්‍රියාකරන නායකයෙකි. එහෙත් මෙවැනි තත්ත්වයක් වළක්වාගැනීම රජයකට පමණක් කළ හැකි දෙයක් නොවේ. ඒ මන්ද යත්: හුදෙකලා, එහෙත් බිහිසුණු ස්වරූපයේ අන්තවාදය බිහි වන්නේ ජනසමාජයේ අභ්‍යන්තරයෙන් වීමයි. ඒ නිසා එවැනි තර්ජන පිටුදැකීමට ජන සමාජය තුළින්ම රැල්ලක් නිර්මාණය විය යුතුය. අතීතයේ එවැනි කිසිදු තත්ත්වයක් ඉන්දියාව තුළ නොතිබිණි. කලින් සදහන් කළ පරිදි ආගමික ගැටුමකදී ඉන්දීය ජන සමාජය දෙකඩ වී ගැටුම් පැතිර යෑම සාමාන්‍ය තත්ත්වය බවට පත්ව තිබිණි.

එහෙත් වර්තමානයේ එය වෙනස් වෙමින් තිබෙන බවට ඉන්දීය ජනසමාජයෙන් සාධක ලැබීම ඉතා වාසනාවත්ත තත්ත්වයකි. මුස්ලිම්වරුන්ට එරෙහි ප්‍රහාර නවතාලිය යුතු බව ඉල්ලමින් නවදිල්ලිය සහ තවත් නගර 15ක ජනතා උද්ඝෝෂණ සිදු වීම සැබෑ සංහිඳියාවක් සදහා ඉන්දීය ජනසමාජය තැබු ප්‍රථම පියවරයි. එය ඉතා කුඩා පියවරකි. එහෙත් එය දිගුකාලීනව සංහිඳියාව මුල්බැසගත් දියුණු ඉන්දීය ජනසමාජයක් බිහි කිරීමේ යෝධ ගමනේ පෙරමඟ සලකුණ විය හැකිය.

ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ

Comments