පදවි, තනතුරු නොතැකූ මහ නාහිමියෝ | සිළුමිණ

පදවි, තනතුරු නොතැකූ මහ නාහිමියෝ

 (මෙයින් තෙමසකට පෙර අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය ශ්‍රී දවුල්දෙණ ඤාණිස්සර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ගුණානුස්මරණ සටහනකි.)

අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණිස්සර නම් තනතුරු හඹා නොගිය අපේ නාහිමිපාණෝ, ලැබූ තනතුරු බබළුවා ලීමට තරම් සුදුස්සකු වූහ. එවන් සත්පුරුෂයකුගේ එවන් කල්‍යාණ මිත්‍රයකුගේ වෙන්වයාම සමස්ත භික්ෂු සමාජයට පමණක් නොව සමස්ත රටට ම සිදු වූ නොමැකිය හැකි හිඩසක් ම ය. උන්වහන්සේ අන්තර්ජාතික වශයෙන් ලබා තිබූ කීර්තියෙහි ද කිසිදු අඩුවක් නොමැත.

සිය ජීවිතයේ 13 වියේ දී ප්‍රව්‍රජ්‍යා භූමියට ඇතුළත්ව මූලික සාමණේර බණදහම් හැදෑරීමෙන් පසු වැඩිදුර අධ්‍යයනය කොළඹ මාළිගාකන්දේ විද්‍යොදය මහ පිරිවෙණෙන් ලැබ එහි දක්ෂතම ශිෂ්‍යයාට හිමිවන “ස්‍යාම රාජ ත්‍යාගය” ලබා ගැනීමට පවා සුදුසුකම් ලැබූහ. එයින් පසු ප්‍රාචීන භාෂා අධ්‍යයන කටයුතුවල නිරතව එවායින් ද ප්‍රථම ස්ථානය ලබා වෛද්‍යසේකර ත්‍යාගය හා ස්ටබ්ස් ත්‍යාගය වැනි ත්‍යාගලාභී වූහ. උපසම්පදා පුණ්‍ය කර්මයේ දී ද උපාධ්‍යායන් වහන්සේ වූයේ පණ්ඩිත ශිරෝමණී ශ්‍රී ලංකා භික්ෂු පරපුරේ මහඟු මාණික්‍යයක් සේ ත්‍රෛනිකායේ ම ප්‍රසාදය ලැබූ අතිපූජ්‍ය විදුරුපොල පියතිස්සාභිධාන උඩරට අමරපුර නිකායෝ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. මෙයින් පසු ද භාෂාන්තර දැනුම වර්ධනය කර ගනිමින් දෛවීභාෂා විශාරද, සංස්කෘත භාෂා චක්‍රවර්ති, ෂඩ් භාෂා පරමේශ්වර ආදී ගෞරවනාම ලාභී වූහ. නිකායත්‍රයේ සාමාග්‍රිය හා උන්නතිය - අභිවෘද්ධිය වෙනුවෙන් අනතිමානී බවින් යුක්තව වයෝවෘද්ධ භාවය පවා යටපත් කොට විශාල කැපකිරීම් කළ මහතෙර නමක් වූහ. එනිසාම ත්‍රෛනිකායේ ම මහානාහිමිවරුන් මූලික ‍කොට ගත් සියලු නිකායික සංඝයා වහන්සේලාගේ ගෞරව අභිමානයට අපේ නාහිමිපාණෝ පාත්‍ර වූහ ය. අපවත් වන විට වයස අවුරුදු 102ක් විය. එසේ අපවත් වීමට දින 04 කට පෙර දිනයේ ද බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ත්‍රිපිටක ග්‍රන්ථ පරිවර්තන මණ්ඩලයේ සභාපති වශයෙන් නිතියෙන් පවත්වන රැස්වීමකට ද අපත් සමඟ සහභාගී වී නිතර කියන සිනහ කථා සමඟින් පරිවර්තන කටයුතු වලට අදාළ ව මෙදින මතු වූ “අප්පටිභාගො” “අප්පටිපුග්ගලො” යන බුදුගුණ දෙක පිළිබඳව ද මනා පැහැදිලි කිරීමක් කළහ. සිහිබුද්ධිය නොවෙනස්ව අවසන් දින කීපය දක්වා පැවැති බවට සාධක එසේ ය. එසේ ම අවසන් මොහොත දක්වා ආරාධිත සියලු ආගමික - ජාතික උත්සව කටයුතුවලට සහභාගී වී එම කටයුතු සම්භාවනීය තත්ත්වයට පත් කළේ ය.

අප ගුරු දේවයාණෝ ශාස්ත්‍රීය ග්‍රන්ථ රාශියක කතුවරයෙකි. ඒවායින් භාරතීය සංස්කෘත පඬිවරුන් පවා මවිත කරවන, බුද්ධභක්ති මඤ්ජරී, යතිදූතම්, මහාමහේන්ද්‍රක්ෂීණාශ්‍රවාගමනම්, යසෝධරාචරිතම්, ධර්මචින්තා, වෛරාග්‍යචින්තා, මාරංගනාවිජයම් වැනි කෘතීහු විශේෂ වෙති. අභිධජමහාරට්ඨගුරු අතිපූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානාහිමියෝ පවා වෛරාග්‍යචින්තා කෘතිය අරභයා ප්‍රශස්ති විචාරයක් ලිවීමෙන් ද ග්‍රන්ථ රචනයෙහි ලා අප මහානාහිමියෝ සම්භාවනීය වූහ.

අප ගුරු දේවයාණන්ගේ තෙමස් පින්කම 2017 ජූලි මස 02 දින රාත්‍රි ගුණානුස්මරණ ධර්ම දේශනාවක් ද පසුදින දහවල සංඝගත දක්ෂිණාවක් ද උන්වහන්සේ දිගු කලක් වැඩ සිටි නුගේගොඩ පූජ්‍ය දවුල්දෙණ ඤාණිස්සර හිමි මාවතේ පාගොඩ විද්‍යාවිජය ආරාමයේ දී පැවැත්වීමෙන් පුණ්‍යානුමෝදනා කරවා මහනාසමිඳුන්ට නිවන් සුව හැකි ඉක්මන් අත් ව් වායි ශිෂ්‍යපුත්‍ර භික්ෂූන් වහන්සේලා ප්‍රාර්ථනා කරන්නෙමු ය.

සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය වෙනුවෙන් එහි ලේකම්
කේ.කේ. සුගතපාල

 

Comments