බණ්ඩරවත්ත බූදලය රකින නාගයා | සිළුමිණ

බණ්ඩරවත්ත බූදලය රකින නාගයා

 කතරගමට යන අතරමඟ තිස්සමහාරාම චෛත්‍ය රාජයාණන් වහන්සේ සහ සඳගිරි සෑය වැඳපුදාගන්නට මමත් රුවනුත් අපේ ගමනට මඟ පෙන්වූ උදය ඇමටියගොඩ බස්නායක නිලමේත් රියැදුරු චාමරත් මඳක් නතර වුණෙමු. ඒ තිස්සෙ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අසලය. එහි පුරා විද්‍යාඥ සුමිත් රණසිංහ මහතා අපේ මිතුරකු නිසා සෑය පිළිබඳ ඔහුගෙන් වැඩි යම් තොරතුරක් දැනගත හැකි වේයැයි අපට සිතුණි.

වෙහෙර වඳින අතරතුර එහි කොටා තිබූ පුවරුවකට අපේ ඇස් ඇදී ගියේ අහම්බෙනි. 'සිරිගන සුගත් මුනි වසරින්' යැයි ඇරැඹෙන ඒ පුවරුව 'කාවන්තිස්ස මිහිපල්හු විසින් සියනමින් කැරැවූ' ආදි වශයෙන් විස්තර කර 'බුදුන් වසින් දෙදහස් තේසිය අනූවක් පිරුණු සඳ වේපතඉර සුමන නම් හෙරණපාණන් විසින් කටු කොහොල් හරවා අරඹන ලද පිළිසකර කරණය තිස්මහවෙහෙර කිරියසාදක නම් සමිතිය දෙදහස් සූසිය තෙසාලිස් වනූයෙහිදී කොට නිමවා කොත් පළඳවන ලදී' යනුවෙන් අවසන් කර එය කරවූවන්ගේ නම් ද සඳහන් කර තිබුණි. එහි තිබූ චාලීස් ප්‍රන්සිස් සුධීර ජයවික්‍රම නම සමඟ ඈඳුණු බූදල් කතාව ඇදී ආවේ එතැන් සිටය. අද මහා බාරකාර දෙපාර්තමේන්තුවට නතුව ඇති අතිවිශාල ජයවික්‍රම බූදලයට උරුමක්කරුවකු නොසිටීමත් අපේ ඉතිහාසයෙන් වියැකී යන්නට තිබූ තිස්ස මහාරාම චෛත්‍යය යළි ‍ගොඩනැංවීමට ජයවික්‍රම මුදලිඳු කළ මෙහෙයත් පිළිබඳ ඉතිහාසය කියන අතර සිය රාජකාරියට මහත් සේ කැප වුණු සුමිත් මහතා ඉටු කරනා සේවයට උදවු දෙන පිරිසුදු කරන්නන්, පුරා වස්තු පිළිසකර කරන්නන් ආදින්ගේ කටයුතුද අධීක්ෂණය කළේ මනා කළමනාකාරිත්වයකිනි.

විහාර භූමියෙන් එළියට එන අතරද බූදල් කතාවේ ගැලී සිටි අපට පසුපසින් ආ පුද්ගලයකු යමක් කොඳුරනු මෙන් ඇසී මම හැරී බැලුවෙමි. අන් අයට මදක් පසුබැස ඔහුට ළං වූ මම ඒ කියූ දේ නැවත ඇසූවෙමි.

''ඒ බූදලේ රකින්න තාමත් නයෙක් එනවලු. තනියෙන් ඉන්නත් බෑ කියලනේ කියන්නේ සද්ද බද්ද නිසා. අපේ තාත්තලා ඒ කාලේ දැක්කලු රෑට ගිනි වළඳක් ඉහේ තියාන යාය වටේ සරක්කාලං කරන ගෑනු කෙනෙක්. ''

''ඒ මොකද? පිරිමි අය ඉඳල‍ නැද්ද යාය බලාගන්න?''

''නෑ...මේ... ගෑනු කෙනෙක් කීවට... ගෑනු කෙනෙක් නෙවේ.'' උඩු තොල අසලින් මතු වූ හීන් දා බිඳු කීපයක් පිසිමින් ඔහු තතනද්දී මට කාරණය වැටහුණි. අපේ වාහනය බණ්ඩරවත්ත පැත්තට ඇදුණේ ඉන් පසුවය.

ඇහැට පේන මානයේ නිල්වන් කුඹුරු යායය. පොල් රුප්පාව වරක ඈතිනුත් වරක ළඟිනුත් මතු වේ. තනි වාහනයකට පමණක් ඉඩ ඇති මහ නියරක් බඳු ගුරු පාරේ වළගොඩැලි නිසා ගමන තරමක් සෙමිනි. පේන මානයක මිනිස් පුළුටක් දකින්නට නැත්තේ ගොයි පාන්දර කුඹුරු වැඩ අහවර කර ගොඩ වී තිබූ නිසා විය යුතුය. මහසයුරක් මැද දූපතක් බඳු ඕවිටක සේයාවක් පෙනුණු විට පළාත ගැන දන්නා දෙපාර්තමේන්තුවේ රුවන් එය ජයවික්‍රම වලව්ව යැයි තහවුරු කළේය. ගේට්ටුව අසල නැවතී වටපිට බැලූ අපට ඈත පාපැදියකින් එන්නෙක් පෙනිණි.

''මක්කැයි දන්නෑ මේ අහ?'' බයිසිකලෙන් බාගෙට බැසගත් ඔහු අප සියලු දෙනා වෙත

විමසිලි බැල්මක් හෙලීය. රුවන් වහා ඉදිරිපත් වී ''මේ ගෙයි කවුරුත් නැත?'' කීවේය.

''වලව්ව බලා‍ගන්නේ ගාමාරස්සකලා, තව ඩිංගෙං එයි'' පාපැදිකරු පිළිතුරු දුන්නේය. ලිහිල්ව තිබූ ගේට්ටු පියන් හැර අපි මිදුලට ගොඩ වීමු. දුටු පමණින් සාමාන්‍ය පරණ ගෙයක් මිස වලව්වක සේයාවක් එහි නොවීය. වලව් පිළිබඳ විශාරදයකු වූ ඇමටියගොඩ නි‍ලමේද එය තහවුරු කළේය. එහෙත් අලුත් ගෙට පිටුපසින් සමර පාට බිත්තියක් පෙනේ.

වැට මායිමේ තවත් තනි කුටියකි. ගේට්ටුවෙන් වම් පස තාප්පය මුල්ලේ අරලිය සෙවණට ගොස් කතාබහ කරන අප පිටුපා සිට ඇත්තේ උසින් අඩු සොහොන් කොතකටය. කොයිකටත් අපි එතැනින් තරමක් ඈත් මෑත් වීමු. අප සමඟ සුහද වූ පාපැදිකරු - ආරියදාස මහත්මයා - තමන් දන්නා විස්තර අපට කීවේය.

''අපි ඉපදෙනකොට මේවා හැදිලා තිබුණේ. දන්න කාලේ ලස්සන මල් වත්තක් තිබුණා. පොකුණු දෙකේ නෙළුම් මල් පිරිලා. දැන් මුකුත් නෑ, පාළුවට ගිහින්. ජයවික්‍රම මුදලි ආවාය කියන්නේ දෙවුන්දර පැත්තෙන්ලු නේ. ඇවිත් ටිකෙන් ‍ටික මේ ගොයින්ට කියලා වල් කප්පලා කුඹුරු කොරොලා තියෙනවා. තව ඉතිං රුපියල් විස්සට තිහට ගොයින්ගේ කුඹුරු අයිති කරගෙනත් තියෙනවලු. බණ්ඩරවත්තෙ මුදලි නැතිවුණාම නෝනා 'පාන්ගහේ මහත්තැන්' එක්ක ගියා. ඒ දෙන්නා අවුරුදු හත-අටක් ඉද්දී නෝනා මළා. ටික කාලෙකින් පාන්ගහේ මහත්තයත් මළා...''

''පාන්ගහේ කියන්නේ...?'' මම විපිළිසර වීමි.

''අර දෙවුන්දර තියෙන්නේ‍‍... පහන පත්තුවෙන්නේ...''

ඒ පිළිතුරට මා වටපිට බලද්දී සුමිත් මහතා එය තේරුම් කළේ ''පහන්ගහ කියන්නේ ලයිට්හවුස්-එකට'' කියමිනි.

ඒ අතර ඈත නියරක යන තවත් ගොවි මහතකු දැක ආරියදාස මහතා හූවක් නඟා අත්පුඩියක් ගැසීය. ඒ සැණින් අප වෙත ආවේ සරත් මහතාය.

''අක්කර තුන්සිය පහක විතර බූදලයක් මේ තියෙන්නේ. ඉස්සර අපට මේ තාප්පයකට හේත්තු වෙන්න වත් දෙන්නේ නෑ. ඒ තරම් තේජස් පෙන්නාගෙන හිටියේ ඒ නෝනා. අපට ජයවික්‍රම මහත්තයා මතක නෑ. ඩැනී කියලා ලියන මහත්තයෙක් තමයි මේවා පාලනය කළේ. හැබැයි බණ්ඩරවත්තෙ මුදලි මහත්තයා නම් හරියට ගමට සේවය කරලා තියෙනවා. පුස්කෝලමුල්ල ඉස්කෝලෙ ගොඩනැඟිල්ලකුත් හදලා, පුස්තකාලෙත් හදලා දීලා තියෙන්නේ. තව ගොඩක් සමාජ සේවා වැඩ කරලා තියෙනවා.''

''එච්චර කරපු කෙනා ගැන එක-එක කතා තියෙන්නේ මොකද?'' මගේ ප්‍රශ්නය ඔහුට යොමු කළෙමි.

''මුහන්දිරම් මහත්තයා ගැන නෙවේනේ ඒ කතා. ගෑනු කෙනෙක්ලුනේ. අපිත් අහල තියෙනවා එකඑක සද්ද තියෙනවා, පේනවා කියලා. ඔය ගැන හොඳට දන්න වයසක අය ගමේ ඉන්නවා.''

පියදාස මහත්මයා ඒ හඳුන්වා දීම් අනුව අපට හමු වූ තවත් අයෙකි.

''හරක් හිටියේ නෑ. ඒ වෙනුවට තිබුණේ ට්රැක්ටර්. මමත් ඒකක වැඩ කළා. මොරිස් ඔක්ස්ෆර්ඩ් කාර්-එකක් තිබුණා මුදලිතුමාට. ඒකම තමයි නෝනයි පස්සේ ආපු පාන් ගහේ මහත්තයයි දෙන්නම පාවිච්චි කළේ. පස්සේ ඒ පාන්මහත්තයාගේ දුවය කියලා කෙනෙක් ඇවිත් ඔක්කොම වටින දේවල් අරන් ගියා. මුහන්දිරම් මහත්තයාට ළමයි හිටියේ නෑ නේ. එයැයිගෙ හරි නීතිය! අලුත්ගොඩ පාරේ නෙළුම්වත්තේ බංගලාවේ වෙනම කාමරයක් තිබුණා වැරැදිකාරයන්ට දඬුවම් දීපු. මාගම් පත්තුවේ ෆිස්කල් ආරච්චි එයැයිනේ. හැබැයි දුප්පත් අයට ඉගැන්නුවා. විලමුල්ලේ පිං බෙහෙත් සාලාවක් දැම්මා. ඒ වගේම ඉතිං ගොයින්ගේ ඉඩම් කුණුකොල්ලෙට ගත්තා. හතළිහේ කෑල්ල කියන්නේ රුපියල් හතළිහකට ගත්තු යාය. හුඹස් කුඹුර, කොහොඹ කුඹුර, පොල්ගහ කුඹුර වගේ නම් ගොඩකින් ඒ කුඹුරු කෑලි අඳුන්නනවා. යෝධ වැවේ ගොඩ ඇළෙන් තමයි වතුර දෙන්නේ අදටත්. ඇළ පිරුණාම මදව්වට යායම යටවෙනවා. අපි උඩහට දුවලයි බේරෙන්නේ.''

ඇනිකට්-එකෙන් උතුරන වතුරට යට වන යායේ ගොවීහු තව බොහෝය. සමහරු මුහන්දිරම්ට කුඹුර විකුණා ඒ කුඹුරේම 'අඳගොයියන්' බවට පත් වූවෝය. උරුමක්කාරයකු නොලද මුහන්දිරම්ගෙන් පසු මහාබාරකරුට පැවරූ මේ මහා බූදලයේ අඳේට වැඩ කරන සමහරු කොටස බයට ගෙවති. තවත් සමහරු කොටස නොගෙවන්නේ උසාවියට ඔප්පුවක් ඉදිරිපත් කළ නොහැකි වූ නිසා නඩුව විසි කළ නිසා බවද හෙළි විය. බොහෝ ගම්මුන්ට මුදලි ගැන ඇත්තේ ආකාර දෙකක හැඟීම්ය. සමහරු ඒවා නමින් හෙළි කරන්නට කැමැති නොවූහ.

''මුහන්දිරම්තුමා බොහොම වයසයිනේ. එයැයිට කලින් නෝනෙක් හිටියා. ඒ අයට ළමයි පිහිටියේ නෑ. ඒත් ටික කාලෙකින් දරුගැබක් ආවා. මේවා කතා වුණේ අපේ අම්මලා ආච්චිලා. ඒ දරුවා රියැදුරාගේය කියලා සැකේට මුහන්දිරම් මහත්තයා එන්නතක් ගැහුවලු. එකෙන් දරුවා විතරක් නෙවේ මුහන්දිරම් හාමිනේත් අවසන් ගමන් ගියාලු. ටික කාලෙකින් වැඩට උන්නු උන්දැ කාරෙට ගත්තා කියලා තමයි කතාව ගියේ.''

මෙය මුහන්දිරම්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත් විය. ඔහු ගැබිනි මාතාවන් දහයකට සරිලන මාතෘ නිවාසයක් තම භාරයේ මුදලින් තැනවූයේ ඉන් පසුවය.

මුහන්දිරම් දොන් සයිමන් සුදිරුක්කු ජයවික්‍රම මේ 'වලව්වේ' හතරවැනි අයිතිකරුය. ගොයින්ට ණය දීලා වි පොඩ්ඩ අරගැනීම ඔහුගේ සිරිත විය. පසුව ගොවීන් එහා මෙහා කර හොර ඔප්පු තැන වූ බව සමහරුන්ගේ මතයයි. ඇතැම් ගොවීන් පවසන්නේ තමන් කුඩා කල බලන්නටත් බිය වූ කැලෑව අද කුඹුරු ලෙස කොටා ඇති බවය. මාතරද බංගලාවක් තිබූ ඔහු මෝටර් රථයෙන් පැමිණ ටකරං කඩේ ළඟ නවත්වා එහි බැටරිය කරගසා ගන්නැයි රියැදුරාට අණ දී වෙල මැද්දෙන් බණ්ඩර වත්තට ආවේ වෙල මැද්දේදී කුරුවලු වුණු පොල් ගෙඩි දෙකක්ද දෑතට ගෙනය. හාල් කාලක් මැන ළිපේ තියන්නැයි ගොයියකුට පවරා අර කුරුවලු පොල්වලින් සම්බලක්ද සදවාගෙන බුදින්නේය. තිදෙනකුට හාල් කාලේ බත මදිබව දන්නා ගොයියා මුහන්දිරම්ගේ බැළමෙහෙවර කර දවල්ට කන්නට ගෙපැලට යන්නේය. හතරෙන් එක, දාසයෙන් එක වැල් පොලී අය කරන ඔහු කුඹූර ගණන් බලා වී අමුණු දෙක-තුනක් ගොයියකුට ඉතිරි වුව හොත් නියර දිගේ වේගයෙන් ඇවිදින්නේ කෝපයෙන් බැනවදිමිනි. ගොයියන් එය කොතරම් පිළිකුල් කළේද යත්: වරක් එසේ ඇවිදිද්දි ලිස්සා වැටීමෙන් උකුළු ඇටය පැන්න විට බෙහෙත් කළ වෙදනා හමු වී උකුළ කුණු වන්නට බෙහෙත් නොබැඳීම පිළිබඳ දොස් කියන්නට තරම් තරහින් පසු වී ඇත. දොස් කියන්නන් නම් හෙළි නොකළද ඔහුගේ ගුණ කියන්නට කිසිවෙක් බිය නොවෙති.

ආරියපාල මහතා අපට හමු වූයේ මේ අතරය.

''ඔය සමහර කතා අපිත් අහල තියෙනවා. කොහොම වුණත් ජෝන් කොතලාවල මහත්තයාත් මුහන්දිරම් බැහැදකින්න එනවා ඒ කාලේ. කඩුකස්තාන පලන්දන්න මුල් වෙලා තියෙන්නෙත් කොතලාවල උන්නැහේනේ. අපි දන්න නෝනාට නම් හොඳ පෙනුමක්, පෞරුෂයක් තිබුණා; හැබැයි අකුරු බෑ. සමහරු කියනවා එයා දෙවැනි බිරිඳ කියලා. සාරිය ඇඳලා, කණ්ණාඩි දාලා අණ දෙන්නේ. මුහන්දිරම් මළාට පස්සේ වැඩ ටික බලාගත්තේ ඒ නෝනා තමයි. එයාට ආමන්ත්‍රණය කරන්න ඕන 'වලව්වේ මහත්තයා' කියලා. සිංහල අවුරුද්දට ජටාව ගලවලා, සරම කැහැපොට ඇරලා දෙකට නැවිලා එහෙම කීවොත් හිතවත් අයට රුපියලක් දෙනවා. අපේ අම්මටත් දීලා තියෙනවා. එතරම් හිතවත් නැති අයට සතයයි. හිත හොඳ නැති අයට බාල සතේ දෙන්නේ හය වෙනි ජෝජ් රජ්ජුරුවන්ගේ රූපේ ගහපු. ණයට ඉල්ලුවොත් 'නෑ-බෑ' කියලා, දර පළවාගෙන හරි රුපියල් පනහක් දෙනවා.''

මෙසේ හැඳින්වූ මැටිල්ඩා නෝනා ජයවික්‍රම මුහන්දිරම්ගේ මරණයෙන් පසු වයස 70 පමණ වන විට පත්තරේ දැන්වීමක් දැම්මේ ගැළපෙන කසාදයක් සඳහාය. එය දුටු සැණින් ප්‍රතිචාර දැක්වූයේ නාවික හමුදාවෙන් විශ්‍රාම ගත් ප්‍රදීපාගාර බාරකරුවකුය. ඔහු දුටු සැණින් විවාහ වීමට 'වලව්වේ මහත්තයා' කැමැති වී ඇත. 'පාන්ගහේ මහත්තයා' ලෙස හැඳින්වූණේ ඔහුය. 'පාන්' මහත්තයා සමඟ විවාහ වී ටික කලකදී වලව්වේ මහත්තයාට 'බනිස්' යන අන්වර්ථ නාමය ලැබිණි. 'පාන්-බනිස්' යුග දිවිය නිස්කලංකව ගෙවෙද්දී දරුවකු හදාගන්නට පාන් මහත්තයා උත්සාහ දැරුවේය. ඒ පිරිමි දරුවා ගෙදරින් පැන ගියේ තම ජීවිතය 'අම්මාගෙන්' බේරාගන්නටය!

(ඉතිරි කොටස ලබන සතියේ)
අරුණි මුතුමලී
සේයාරූ-රුවන් ද සිල්වා

Comments