පිහිනුම් තටාකයත් සමඟ පිබිදෙන මතුගම මැදිමහ විදුහල | සිළුමිණ

පිහිනුම් තටාකයත් සමඟ පිබිදෙන මතුගම මැදිමහ විදුහල

 බ්‍රිතාන්‍ය පාලන යුගයේ දී ශ්‍රී ලාංකීය අධ්‍යාපනයට “ඉංග්‍රීසි මොඩලය” හඳුන්වා දී පැවති පිරිවෙන් අධ්‍යාපනය යටපත් කිරීම රාජ්‍ය අනුග්‍රහය තුළ සිදුවීම 18 වන සියවසේ දී දක්නට ලැබුණු විශේෂිත කරුණක් විය. ඉංග්‍රීසි භාෂාව සඳහා වැඩි ඉඩක් ලැබීම ඉංග්‍රීසි ඉගෙනීමට සුවිශේෂිත කරුණක් සේ සැලකීම නව යටත් විජිත අධ්‍යාපනයේ ඉක්මන් පැතිරීමට හේතු කාරණා ලෙස දක්නට ලැබුණි. එක් පසෙකින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සඳහා නව ඉංග්‍රීසි ප්‍රවේශයක් සහිත අධ්‍යාපනය ඉදිරියට එද්දි අනෙක් පසින් ස්වදේශීය අධ්‍යාපනය අභාවයට ය‍ාමේ ප්‍රවණතාවක් ඇති වූ අතර එය අව‍බෝධ කරගත් ස්වදේශිකයන් පිරිසක් බිහි වූ අතර ඔවුන් ඒ සඳහා විවිධ සමාජ සංශෝධන ව්‍යාපාර හරහා පෙරට ආහ.

මෙහි සුවිශේෂී ප්‍රතිඵලයක් වූයේ ශ්‍රී ලාංකීය අධ්‍යාපනය තුළ නැවතත් ස්වදේශිකත්වය ප්‍රධාන කරගත් අධ්‍යාපන නිකේතන ආරම්භ වීමයි. “ස්වභාෂා පාසල” රට පුරා ආරම්භ වීම දේශීය අධ්‍යාපනය හා සකස් වුණ දේශජ අධ්‍යාපනයක මූලාරම්භය සටහන් කිරීමක් විය. මේ අධ්‍යාපන නිකේතනය ඇරඹි 1880 වර්ෂයේ දී ආරම්භ වුණු පස්දුන් කෝරලයේ මතුගම නගරාශ්‍රිතව ඇරඹි “මතුගම ස්වභාෂා පාඨශාලාව” ආරම්භයේ දී ඊට සම්බන්ධ වූ දේශීය ප්‍රභූන් හා ගුරු භවතුන්ගෙන් අප්‍රතිහත ධෛර්යයෙන් යුක්තව ඉදිරියට රැගෙන යාම අද වන විට පස්දුන් කෝරලයේ පමණක් නොව කළුතර දිස්ත්‍රික්කය තුළ ද අධ්‍යාපනයේ විශේෂිත සලකුණු තබන්නට ඉඩකඩ සලසා ගනුයේ කන්නන්ගර නිදහස් අධ්‍යාපන ආයතනය බවට පරිවර්තනය වීමේ හේතුවෙනි.

නිදහස් අධ්‍යාපනයේ පීතෘවරයාණන් වන සී. ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර ශ්‍රීමතාණන් ස්වකීය ජන්මලාභය ලබන ගම් ප්‍රදේශයට තම නව අධ්‍යාපන චින්තනයේ ආලෝකය ලබාදීමේ අරමුණින් ගම්බද දරුවන්ට ද අධ්‍යාපනයේ තම ඉඩ ප්‍රස්තා ලබා දීමේ වස් අරඹන මධ්‍ය විද්‍යාල අතර පළමු මධ්‍ය විද්‍යාලය වීමේ භාග්‍ය 1880 ඇරඹි මතුගම ස්වභාෂා පාඨමාලාවට හිමිකර දෙනුයේ අතිශය දුරදක්නා නුවණින් යුතුව බැව් පැහැදිලිය.

කන්නන්ගර “යුග පුරාෂයාණන්ගේ” නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය හරහා බිහි වූ මේ මධ්‍ය විද්‍යාල ගම්බද දරුවන්ගේ ජීවිත ආලෝකයෙන් බබළවන්නට හේතු පාදක වූ අධ්‍යාපන නිකේතනයක් බවට පත්වන්නට ගත වූයේ ඉතාමත් කෙටි කාලයකි. දැනුම පමණක් කේන්ද්‍ර කරගත්තක් නොව කුසලතා හා දක්ෂතා සඳහා ද මධ්‍ය විද්‍යාල සංකල්පය තුළ ඉඩ ප්‍රස්ථාව ලැබීම විශේෂ කරුණක් විය. නේවාසිකාගාර පහසුකම් මෙම මධ්‍ය විද්‍යාලය තුළට එක්වීම දුෂ්කර ගම්බද දරුවන්ට විශාල සහනයක් විය. ගමනාගමන දුෂ්කරතා නිසා දුෂ්කර ගම්බද ප්‍රදේශවලින් මේ විද්‍යාල තුළට ඒමට තිබූ අපහසුව නේවාසිකාගාර පහසුකම් හේතුවෙන් ඉවත්වීම සිදුවිය.

දේශීයත්වය පෙරටුකරගත් අධ්‍යාපන චින්තනයන් නිදහස් අධ්‍යාපනය තුළ ස්ථාපනය වීම නිසා හසුරු කර්මාන්තය, චිත්‍ර කලා ශිල්ප සේම විද්‍යා, ගණිත ඇතුළු විෂයයන්ද කන්නන්ගර මැතිතුමන්ගේ “හන්දෙස්ස” අධ්‍යාපනය හඳුන්වා දීමේ ක්‍රියාවලිය තුළ අන්තර්ගතවීම පස්යොදුන් පුරට නොව සියලු ශ්‍රී ලාංකික දරු පරපුරට ලැබුණු දායාදයක් විය.

පියවරෙන් පියවර ඉදිරියට එමින් මතුගම මධ්‍ය විද්‍යාලය සුවිශේෂී ස්ථානයක් සනිටුහන් කරන අතර සෙසු සියලු අධ්‍යාපන නිකේතන පරදවන දරු පිරිසක් දැයට දායාද කිරීමට විදුහල් මාතාව මේ වන විට සමත් වී සිටී. වි‍ශේෂයෙන් මධ්‍ය විද්‍යාලයක් ලෙස නම් කිරීමෙන් පසුව විද්‍යා හා කලා අංශයන්ගෙන් උසස් පෙළින් සරසවි වරම් ලබා ශිෂ්‍ය සංඛ්‍යාව ඉතා ඉහළ මට්ටමකට පත්වන අතර විවිධ ක්ෂේත්‍රයන් තුළ මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිටීම විද්‍යාලයට ශක්තියක් මෙන්ම ගෞරවයක්ද, කීර්තියක් ද අත්කර දීමට සමත් විය.

1978 වර්ෂයේ දී එතෙක් මතුගම මධ්‍ය විද්‍යාලය ලෙස තිබූ විද්‍යාලය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලය ලෙස නම් කිරීම ප්‍රදේශයට ලද ගෞරවයක් සේම විද්‍යාලයට අභිමානයක් ද එක් කිරීමට හේතුවක් විය. 1980 දශකය වන විට විද්‍යාලයෙන් බිහි වූ වෛද්‍ය, ඉංජිනේරු, සෞන්දර්ය යන අංශයන්වල උගතුන් සිය පාසල් මාතාව සංවර්ධනය කිරීමට සිය ශ්‍රමය, ධනය හා කාලය කැප කිරීමට සූදානම් වීම විද්‍යාලයට මහත් ශක්තියක් ම විය.

අධ්‍යාපනය ලබා දීම උදෙසා ගුරු භවතුන්ගේ මනා කැප කිරීම විදුහල් උන්නතියට විශාල පිටුවහලක් වූවා සේම භෞතික සම්පත් සංවර්ධනය ද වැඩිවන ශිෂ්‍ය සංඛ්‍යාවට අවැසි පිරිදි ලැබීම ද විදුහලට වාසනාවක් විය.

විද්‍යාලයේ අංග සම්පූර්ණ ශ්‍රවණාගාර විශේෂයෙන් සඳහන් කළ යුතුය. එමෙන්ම පුස්තකාල ගොඩනැඟිලි, තෙමහල් ශාලා ඇතිවීම විද්‍යාලයට ඇතුළත්වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් අවශ්‍ය ඉඩකඩ ලබා දීමට හේතු විය.

විදුහල් මාතාව වෙතින් බිහි වූ විශිෂ්ට ගණයේ වෘත්තිකයින්, ව්‍යාපාරිකයින් මතුගමට පස්දුන් කෝරලයට පමණක් නොව ශ්‍රී ලංකාව පුරාමද ඉන් නොනැවතී විදේශයන්හිද මේ වන විට කන්නන්ගර විදුහල් නාමයට අභිමානයක් එක්කරමින් සිටී.

මානව වාදීන්, දක්ෂ වෛද්‍යවරුන්, සෞන්දර්යවේදීන්, ඉංජිනේරුවන් සේම දේශපාලන ක්ෂේත්‍රය තුළ ද අද වන විට ආදි කන්නන්ගරයින්, කන්නන්ගර නාමය සටහන් කිරීමට සමත් වී ඇත. හෙට දවසේ දී මේ තත්ත්වය මීට වඩා ඉදිරයට ගමන් කරනු නො අනුමානය.

1880 ඇරඹෙන අපේ පාසල මධ්‍ය විද්‍යාලයක් ලෙස ද කන්නන්ගර මධ්‍ය විද්‍යාලයක් ලෙස ද අභිෂේක ලැබූ යුග කතාවට 2017 ජූලි 03 වන දින තවත් විශිෂ්ට පරිච්ඡේදයක් එක්කරනු ඇත.

ඒ ජගත් පින්නගොඩ විතාන නම් කීර්තිමත් ආදි සිසුවා ස්වකීය ධන පරිත්‍යාගයෙන් පාසල් මෑණියන්ට පූජා කරන පිහිනුම් තටාකයේ මුල්ගල් තැබීමේ උතුම් හෝරාව එදිනට යෙදී තිබීමය.

වත්මන් විදුහල්පතිනි වසන්තා කුලසේකර මහත්මියගේ ශූර නායකත්වය යටතේ ඉදිරියටම යන විදුහල් තාක්ෂණ විද්‍යාගාර ගොඩනැඟිල්ලට මුල්ගල තැබීම ද නව තෙමහල් ගොඩනැඟිල්ල විවෘත කිරීම ද ගරු අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මැතිතුමන් අතින් ජගත් පින්නගොඩ විතාන මැතිතුමන්ගේ සහභාගිත්වයෙන් එදිනම සිදුකරනු ලබන අතර එය කන්නන්ගර මධ්‍ය විද්‍යාලයට අලුත් කාල පරිච්ඡේදයක් නිසැකවම එක් කරනු ඇත.

සියවසකට අධික කාලයක් පුරා සිය ප්‍රභාව විහිදුවන කන්නන්ගර විදුහල් මාතාව හෙට දින තවත් ශක්තිමත්ව උද්දාමයෙන් ඉදිරියට ගමන් කරනු ඇත.

දේශයේ උන්නතිය උදෙසා ආදි සිසුන්ට මෙන්ම පස්දුන් පුර වැසි සැමටද කන්නන්ගර විද්‍යාලය අභිමානයක් වන්නේය. සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර ශ්‍රී මතාණන් තම උපන් බිම තුළ රෝපණය කළ මධ්‍ය විද්‍යාල සංකල්පය අද දවසේ දැයේ උන්නතියට ලබා දෙන නිවැරදි දායකත්වය එතුමා වෙනුවෙන් සිදුකරන උතුම් උපහාරයක් බව සඳහන් කරනු වටී.

Comments