විසඳුම් තිබියදී පියා මෙවැනි දෙයක් කළේ ඇයි? | සිළුමිණ

විසඳුම් තිබියදී පියා මෙවැනි දෙයක් කළේ ඇයි?

 පණ නම් තණ අග රැඳි පිනි බිඳක් වැනි යැයි කියමනක් වේ. එවන් මිනිස් ජීවිතයටද අගයක් ‍නොදෙන්නෝ අද අප අතර වෙති. මිනිසුන් ලෙසින් ඉපිද නොමිනිසුන් ලෙසින් ජීවත්වන එවන් මිනිසුන් අවසන ලබනුයේ අපකීර්තියක් පමණි. කඹුරුපිටිය, බෙරලිඅතුර ප්‍රදේශයෙන් පසුගියදා අසන්නට ලැබුණු ඛේදවාචකය ද මුළු රටම හැඬවූ එවන් සිද්ධියකි. රටේ ඇතැම් පුද්ගලයන්ගේ අධ්‍යාත්මික දියුණුව පිරිහීමේ මහා අභාග්‍යයක් ලෙස මේ සිදුවීම හැඳින්විය හැකිය. දරු තිදෙනකු හා පියකු ගෙල වැලලාගෙන මිය ගොස් ඇති බවට පොලිසියේ 119 දුරකථන අංකයට ඇමතුමක් ලැබෙන්නේ පසුගිය 20 වැනිදා රාත්‍රියේය. එසේ මිය‍ගොස් ඇත්තේ හිරුණි සෙව්වන්දිකා (10), රන්සෑගොඩ මංගල පොඩි හාමුදුරුවන් (14) සහ කෞෂල්යම සෙව්වන්දි (16) යන එකම පවුලේ දරුවන් තිදෙනෙකි. 44 හැවිරිදි පතිරණගේ ප්‍රියන්ත නමැති පියා අසල තිබු කොස් ගසේ එල්ලීමෙන් මිය ගොස් ඇති බව සිද්ධිය සැලවීමෙන් එතැනට පැමිණි කඹුරුපිටිය පොලිසිය මඟින් සොයා ගනු ලැබිණි. මේ පවුලේ හය දෙනෙකු ජිවත්වන වු අතර පියා රැකියාව ලෙස කුරුඳු තැලීම සිදු කර ගෙන ගොස් ඇත. වැඩිමහල් පුතා පැවිදි වී රත්නපුර විහාරස්ථානයක වැඩ වාසය කරයි. මහන වූ අනෙක් දරුවා ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේ ශිෂ්‍ය භික්ෂු නමක ලෙස අධ්‍යාපන කටයුතු සිදු කර ගෙන යමින් සිට ඇත. දරුවන්ගේ මව නිවෙසින් ගොස් මාස දෙකකට ආසන්න කාලයක් ගතවීමත් සමඟ නිවෙසේ තත්ත්වය සම්පුර්ණයෙන්ම වෙනස් වී ඇත. මේ නිසා ප්‍රියන්ත බිරියට යළි නිවෙසට පැමිණෙන ලෙස දන්වා ඇත්තේය. එහෙත් බිරිය යළි නිවෙසට නොපැමිණීමත් සමඟ එම පවුලේ දරුවන්ට මේ අවාසනාවන්ත සිද්ධියට මුහුණ පෑමට සිදුවී ඇත.

පොලිස් පරීක්ෂණ ඇරැඹීමත් සමඟ පසුගියදා මාතර මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කරනු ලැබිණි. එහිදී අනාවරණය වූයේ සිද්ධිය වූ දින නිවෙසේ සිටි කුඩා දියණිය මහණ දම් පුරමින් රත්නපුර වැඩ වසන සිය වැඩිමල් සොහොයුරාට පියා සිය අත් බැඳ තමන් මරා දැමිමට උත්සාහ කරන බව දුරකථනයෙන් දන්වා ඇති බවය. එහෙත් පසුව පොලිසියට හමු වූ ලිපියෙන් දැක්වෙන්නේ තමන් කැමැත්තෙන් දිවි නසා ගන්නා බවයි.

මේ පවුලේ බිරිය නිවෙසින් ගියාට පසුව මේ නිවෙස තුළ අපචාර කටයුතු සිදු වන බවට ගමේ ඇතැම් පිරිස් වෙතින් පොලිසියේ හදිසි ඇමතුම් ඒකකට ඇමතුම් ලැබී ඇත. මේ නිසා කඹුරුපිටිය පොලිසිය නිවෙසට පැමිණ තිබේ. පියාගේ මානසිකත්වයට බිඳ වැටීමට මේ හේතුවෙන් බලපෑමක් සිදුවී ඇතැයි ඇතැම්හූ පවසති.මේ සම්බන්ධයෙන් ප්‍රයන්තගේ වැඩිමහල් සොහොයුරා දැක් වූයේ මෙවැනි අදහසකි.

“මේ පවුලේ ගැටලු ගොඩක් තිබුණා. නමුත් අපිටත් මේවාට මැදිහත්වෙන්න බැරි වුණා. පවුල ගිය නිසා තමයි මල්ලි මේවගේ තත්ත්වයකට පත් වුණේ.”

“මේවගේ අය නම් මේ රටේ ජිවත් වෙන්න එපා කියලා තමයි අපි කියන්නේ. මේ සිදුවූ දේ නිසා අපේ ගම පවා ලජ්ජාවට පත් වුණා. මේ වගේ මිනිසුන් මේ ලෝකෙට උපදින්නේ ඇයි කියන එකත් අපට ප්‍රශ්නයක්. රෑ 12ට නෙත් අදහා ගන්න බැරි සිදුවීමක් තමයි අපි දැක්කේ. මේ නිවාස ගංවතුරත් සමඟ විනාශයට පත් වු‍ණා . නමුත් ආධාර උපකාර ලැබුණා. රජයෙන් නිවාස හදා ගන්න අවශ්‍ය ආධාර උපකාර ලැබුණා. ඒ අනුව මේ නිවෙස යළි සකස් කර ගැනීමට අවශ්‍ය කටයුතු පවා සිදු කරමිනුයි පැවැතුණේ. එහෙම තිබියදී මේ සිදු වූ දේ අපට හිතා ගන්නවත් බෑ.” යැයි ගම්වාසියකු වන ගලගම නයනජිත් පැවැසීය.

මේ සිදුවීමත් සමඟ ගමේ බොහෝ දෙනා පවසනුයේ ප්‍රජාව තුළ මෙවන් පවුල් ආරවුල් ඇති වෙද්දී ඒවා විසඳාලීමට අදාළ ආයතන මැදහත් විය යුතු බවයි.

ඇල්ලදෙණියගේ ජිනදාස මේ පවුලේ අසල්වාසියෙකි.

“‍මේ පවුලේ දරුවන් පාසල් ගියේ මගේ දරුවන් එක්කයි. ‍මේ දරුවන්ගේ මව ගෙදරින් ගිය නිසා පවුලේ ගැටලු ගොඩක් තිබුණා. මේ දරුවන් හරිම දක්ෂයි කොතරම් බාධා පැමිණියත් ඉගෙනීම අත්හැරියේ නැහැ. හැම විටම කළේ ජීවිතය ජගැනීමට වෙර දැරීමයි. ඉගෙනීමට හරිම දක්ෂ මේ දරුවන්ට අත්වූ ඉරණම ගැන අපට හරිම කනගාටුයි.”

රුහුණු විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය උපාලි පන්නිලගේ මහතා ද මේ ඛේදවාචකය ගැන අදහස් දැක්වීය.

“මේ ආකාරයෙන් මිනිසුන් ජීවිත ගැන මෙවැනි තිරණ ගැනීම සිදු වන්නේ තමන් මේ සමාජයේ ජිවත් වීම අවශ්‍ය නැතැයි සිතීම නිසයි. මනෝ විද්‍යාත්මක පැත්තෙන් බැලීමේ දි මිනිසුන්ගේ යම් යම් මානසික බලපෑම් හා කම්පන බලපෑමේ හැකියාවක් පවතිනවා. නමුත් සමාජ විද්‍යාත්මකව බලද්දී මේ තත්ත්වයට මිනිසුන් ලක්වීමට සමාජයීය කාරණා බලපෑම සිදු වෙනවා. මිනිසුන්ට රැකවරණය හා ආදරය වැනි කරුණු ලබා දීම සිදු වන්නේ සමාජ සංස්ථාව තුළින් යම් ලෙසකින් පවුල, අධ්‍යාපන ආයතන, ආගමික අංශ හා ඥාති සංස්ථාවලින් මිනිසුන්ට රැකවරණයක් නොලැබෙද්දී ජිවත් වීමෙන් ඵලක් නොමැති යැයි එම පුද්ගලයන් කල්පනා කරනවා. එනිසා ඔවුන් ජීවිතයෙන් සමුගැනීමට තිරණය කරනවා.

අනෙක් කාරණය තමයි ඇතැම් අයට මේ සමාජයේ ඇතිවන ආර්ථික පිඩාවත් දරා ගත නොහැකියි. එවිටත් මේ තත්ත්වය ඇති විය හැකියි. නමුත් පැරැණි සමාජය තුළ මේ තත්ත්වයන් ආරක්ෂා කර ගැනීමට අදාළ වු සමාජ සැකැස්මක් නිර්මාණය වෙලා තිබුණා. නමුත් සමාජ විකාශනය සමග ඇති වු මේ පසුගාමිත්වයත් සමඟ මිනිසුන්ගේ පැවැත්ම සම්බන්ධයෙන් ගැටලු ඇති වෙලා තියෙන්නේ.

සමාජ විද්‍යාඥයකු වු එමිල් ඩර්කයිම් ප්‍රකාශ කළේ සමාජ ඒකාබද්ධතාවයේ ගැටලුවක් විධියට මේ වනවිටත් මිනිසුන් හුදකලා වීම හරහා මිනිසුන් ගන්නා යම් තීරණ නිසා මේ තත්ත්වය ඇති වෙලා තිබෙන බවයි. සමාජ ඒකාබද්ධතාවය වැඩි සමාජවල මේ තත්ත්වය අඩු අතර හුදකලා සමාජවල මේ තත්ත්වය වැඩි බවක් ඔහුගේ පර්යේෂණවලින් ඔප්පු වෙලා තියෙනවා.”

ඇඹිලිපිටිය බෝධිරාජ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති මාදම්පේ උදිත හිමියෝ ද මේ සිදුවීම ගැන අදහස් පළ කළහ.

“මේ සිදුවීම සදාචාර විරෝධී තත්ත්වයක් ලෙසයි අපි දකින්නේ. ගැටලුවක් ඇති වූ අවස්ථාවක ධර්මානුකූල විසඳුම් තිබිය දී මේවගේ තින්දුවකට ගියේ ඇයිද කියන එක ඇත්තෙන්ම ගැටලුවක්. අපේ සමාජ වගකීම සම්බන්ධයෙන් නැවත ප්‍රශ්න කළ යුතු වෙනවා. ඒ වගේම අපේ අධ්‍යාපන ක්‍රමය ඇතුළේ මිනිසුන්ගේ ඔළු හැදීම සිදුවුවත් මිනිසුන්ගේ හදවත හදන වැඩේ සිදු කෙරිලා නැහැ. එනිසා අපට මෙවැනි ප්‍රතිඵල අත්විඳින්න සිදු වෙනවා. පෙර පාසල් අධ්‍යාපනයේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා අපේ අධ්‍යාපන ක්‍රමයේ ඇති අසංවිධානාත්මක බව මේ අපරාධවල මුල බවට පත් වෙලා තියෙන්නේ. අපේ රටේ දරුවන් විභාගයේ දී ප්‍රශ්න ගණනාවකට පිළිතුරු සැපයූවත් ජිවිතයේ ඇතිවන ගැටලුවල දී නිසි විසඳුමක් දිමට නොහැකිව ජිවිතයෙන් පරාජයට පත් වන අය කොතරම් සිටිනවා ද ? මෙහි දී ආගමික නායකයන්, දේශපාලනඥයන්, සිවිල් පුරවැසින් හා සිවිල් සංවිධාන අපේ වගකීම ඉටුකළ යුතුයි”

කැලුම් බෝධිමාන තිහ‍ගොඩ විශේෂ

Comments

HAMUDURUWANE OYA HAMUDURUWO DARMAYAK GENA KATHA KARANAWA KOHEDA DARMAYAK THIYENNE LANKAWE EHEMA KISIMA DARMAYAK LANKAWE NAHA APE SINHALAYANTA ALUTH DARMAYAK KOHEN HARI HOYALA DENNA (INDIAWEN NAM EPA)

පිටු