නෙළුම් විල | සිළුමිණ

නෙළුම් විල

නැළවිලි රසය

දවල් කාලයේ කොළඹ සිට ඇදුණු මන්දගාමී දුම්රියකි.

එහි එක් මැදිරියක පොඩි දරුවෙක් හඬන්නට තියා ගත්තේ ය.

හැඬිල්ලේ ඉවරයක් නොවී ය.

මව දරුවා අපෝ කරන්නට හැදුවා ය. එහෙත් බැරි විය. බැරිම තැන ඇය පරාද වී දොම්නසින් ඉවත බලා ගත්තා ය.

දරුවා නොනවත්වා ම හැඬුවේ ය.

හැඬිල්ල මැදිරියේ සිටි මගීනට ද උහුලා ගත නොහැකි තත්ත්වයක් ඇති විය.

‘ගෙනෙව් ගෝනියක් මේ ළමයව දාන්ඩ!’

මගීන් අතරින් නැගී ආවේ උස් රළු නියෝගයකි.

ඒ ඇසුණු හැටියේ ම දරුවා ගේ හැඬුම නැවතිණ.

කවුරුත් ඒ මගී වීරයා කවුදැයි බැලූ හ.

රහමෙරින් පදම්ව සිටි වැඩිහිටියා මගීන් දෙස බැලුවේ මහත් උජාරුවෙනි. අනතුරුව ඔහු දේශනාවක් කරන්නට පටන් ගත්තේ ය.

“... අම්මල දරුවො නළවගන්ඩ දන්නෙ නෑ. දැන් කොච්චර වෙලා මේ ළමය ඇඬුවද? අම්මට පුළුවං වුණා ද ළමයගෙ ඇඬිල්ල නවත්තගන්ඩ? කාටද පුළුවං වුණේ ළමයගෙ ඇඬිල්ල නවත්තල දාන්ඩ? නමුත් කෙනෙකුට පුළුවං වුණා! කවුද ඒ? ඒ මම! අන්න ඒකයි කියන්නෙ... දරුවෙක් අඬනකොට ඒ දරුව අපෝ කරගන්ඩ බැරි අම්මල අම්මල ද? ඕං දැං කාලෙ අම්මලගෙ හැටි! ඒකටත් එක්ක ඉස්සර අම්මල! ඉස්සර අම්මල කොච්චර අපූරුවට දරු නැළවිලි ගී කිව්ව ද? ඒ දරු නැළවිලි ගී මෙච්චර වයසට ගිහිල්ලත් අපිට මතකයි. ඕං බලන්ඩ අපේ අම්ම මාව නළෝපු දරු නැළවිලි ගීය.

‘... දොයි දොයි දොයි දොයිය බබා

බයි බයි බයි බයිය බබා

නුඹෙ අම්මා කිරට ගියා

කිරි අරගෙන එන්ඩ ගියා

කිරි මුට්ටිය ග‍ඟෙ ගියා

ගඟට උඩින් කොක්කු ගියා...’

“බලන්ඩ දැං ඔය නැළවිලි ගීය දිහා. අම්ම ඒක ලස්සනට ඇදල - පැදල ගායනා කරන කොට දරුවගෙ ඇඬිල්ල හිමීට නවතිනව. ඇයි මේක මන්තරයක් ද? ඔව්. මේක තමයි හොඳ ම මන්තරේ. දරුවට මේක තේරෙන්නෙ නෑ. ඒ වුණාට නැළවිලි තාලෙට දරුව අපෝ වෙනව. ඒ ගමන් ම මේකෙ තියන කතන්දරේ තේරුං ගන්ඩ හදනව. ළමයට පේනව ළමයගෙ අම්ම කිරි ගේන්ඩ යන හැටි. ඊළඟට කිරි මුට්ටිය අරගෙන එන හැටි. කිරි මුට්ටිය ගඟට වැටෙන හැටි. කිරි පාට කොක්කු ඉගිල්ලිලා යන හැටි. ළමය ඕව ගැන හිත - හිතා ඉන්න කොට ඉබේ ම නින්ද යනව. දැං බලන්ඩ මේකෙං කෙරෙන දේවල්. කනට මිහිරි තාලයක් දෙනව. හිතට රූප පෙළක් දෙනව. ඔන්න ඔය නැළවිලි ගී අහල තමයි විශ්වකර්මයා හැදුණෙ. ඕක තමයි දරු නැළවිලි ගීවල තියන රහස. කෝ ඉතිං මේ අලුත් අම්මල ඕව දන්නවයැ. දැන ගන්ඩ ඒ ගොල්ලො දරු නැළවිලි ගී අහල නැළවිලා තියනවයැ? ඉතිං කොහොමද දරුවං නළවන්නෙ? ඉතිං දරුව ඉවරයක් නැතුව අඬනව. අම්ම ගැන විතරක් නෙමේ මුළු ලෝකෙ ගැන ම දරුවගෙ හිතේ ඇති වෙන්නෙ කේන්තියක්. ඒ කේන්තියෙන් තමයි දරුව ලොකු වෙන්නෙ. ඉතිං හිතේ තරහිං හැදිච්ච එකා ලෝකෙට මොකද කරන්නෙ? පුළුං තරං ලෝකෙං පළිගන්නව. ඕකනෙ දැං ලෝකෙ පුරා වෙන්නෙ...”

ඔහු ගේ වචන කරච්චලයක් වුව ද ඒවායේ කිසියම් බරක් ඇතැයි සිතූ මගී ජනයා ඉවසා සිටිය හ.

මගී ජනයා තමන්ට යටත් වූ බව දත් වැඩිහිටියා දිගින් දිගට ම තම බලාධිපත්‍යය පතුරවන්නට පටන් ගත්තේ ය.

“... අද කාලෙ අම්මල දන්නෑ අම්මල කියන්නෙ කවුද කියල. එයාල බබ්බු වෙන්ඩ හදනව. තාත්තල දන්නෑ තාත්තල කියන්නෙ කවුද කියල. එයාලත් බබ්බු වෙන්ඩ හදනව...”

මගීහු ‘දැන් ඇති’ යි කියන්නාක් මෙන් බිමට නැඹුරු වූහ.

‘අද කාලෙ දුම්රිය දෙපාර්තමේන්තුව දන්නෙ නෑ දුම්රිය දෙපාර්තමේන්තුව කියන්නෙ මොකක්ද කියල. එයාලත් බබ්බු වෙන්ඩ හදනව. අද කාලෙ ආණ්ඩුව දන්නෑ ආණ්ඩුව කියන්නෙ මොකක්ද කියල. එයාලත් බබ්බු වෙන්ඩ හදනව. අද කාලෙ විපක්ෂය දන්නෑ විපක්ෂය කියන්නෙ මොකක්ද කියල. එයාලත් බබ්බු වෙන්ඩ හදනව. බලාගෙන යනකොට මුළු රටේ ම ඉන්නෙ බබ්බු. නළවන්ඩ අම්මල ගේන්ඩ වෙන්නෙ පිටරටින්...’

මේ කන්කරච්චලයෙන් මිදීමට දියසේන කුමාරයෙක් පහළ විය යුතු අවස්ථාව එළඹියේ ය.

සැබවින් ම දියසේන කුමාරයා පහළ විය.

‘ගෙනෙව් තවත් ගෝනියක් මේ නාකියව දාන්ඩ!’ තියුණු කටහඬක් නැගී ආවේ ය.

ඒ සමඟ ම මුළු දුම්රිය මැදිරිය ම මහා සිනා හඬකින් වැසී ගියේ ය.

සිනා හඬ මැකී යත් ම නිහඬතාවක් පැතිර ගියේ දේශකයා ද සිය‍ දේශනාව නතර කර ගත් හෙයිනි. ‍

‍‍ඒ අස්සේ කවුරුත් විමසිලිමත් වූයේ අලුත පහළ වූ දියසේන කුමාරයා කවුදැයි සොයා බැලීමට ය.

ඔහු සිය මිතුරන් මැද නිහඬ සිනාවෙන් යුතුව බලා සිටියේ ය.

ඒ වූ කලි යෞවනයෙකි.

වේයන්ගොඩ යූ. තිලකරත්න මහතා විසින් යොමු කරන ලද සටහනක් ඇසුරෙනි.

 


යහපත් පුරවැසියා

මේ සිද්ධිය වූයේ වැස්ස පටන් ගැනීමට පෙර ජල ප්‍රශ්නය උග්‍රව තිබූ දිනවල ය. කතාව මට කීවේ ජල නළ කාර්මික ශිල්පියෙකි. කොළඹ තට්ටු ගොඩනැඟිල්ලක රැකියාව කරන ඔහු මගේ මිතුරෙකි.

ඒ තට්ටු ‍‍‍ගොඩැනැඟිල්ලේ පිහිටි ආයතනයක ඉහළ නිලධාරියෙක් දිනක් ඔහු සිය නිවෙසට කැඳවාගෙන ගියේ ය. ඒ තම නිවෙස් ජල නළ පද්ධතිය පිළිසකර කරවා ගැනීමට ය.

සිදු වී තිබුණේ ජල කාන්දුවකි. ඒ පිරික්සා බැලූ කාර්මික ශිල්පියා වැඩේ පටන් ගත්තේ ය. නිලධාරියා කටයුත්ත නිරීක්ෂණය කරමින් සිටියේ ය.

ඔය අතර නිලධාරියා මෙසේ කීවේ ය.

‘මේ අපතෙ යන වතුරටත් මං සල්ලි ගෙවන්ඩ ඕනැ. හැබැයි ඒක ගෙවල දාන එක මට ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් මේ වගේ වතුර ප්‍රශ්නයක් ඇති වෙලා තියන කාලෙක වතුර මෙහෙම අපතෙ යන එක අපරාධයක්. වතුර නැතුව දුක් විඳින මිනිස්සු කොච්චර ඉන්නව ද? අන්න ඒක හිතලයි මං ඔයාව එක්කගෙන ආවෙ.’

නිලධාරියා තවත් කතාවක් ද කීවේ ය.

‘මෙතන තවත් ගොඩනැඟිල්ලක් හදන්ඩ මගෙ අදහසක් තියනව. ඒක හදන්ඩ ගියොත් ඒකටත් වතුර හුඟක් යනව. මේ කාලෙ එහෙම වතුර පාවිච්චි කරන එක හරි නෑ. ඒ හින්ද මං ඒකත් පස්සට දැම්ම.’

රට තොට කෙරෙහි අවබෝධයෙන් කටයුතු කරන මේ නිලධාරියා කෙරෙහි කාර්මික ශිල්පියාගේ සිතෙහි පැහැදීමක් ඇති වූ‍ෙය් ය.

අපට වුවමනා මෙබඳු මිනිසුන් නොවේ ද?

නිලධාරියා සුදාකරන් නමැති කෙනෙකි. කාර්මික ශිල්පියා සිරිවීර නමැති කෙනෙකි.

මහරගම, නාවින්නේ එම්. සුනිල් ශාන්ත මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

නෙළුම්විල, සිළුමිණ, ලේක්හවුස්, කොළඹ 10.

Comments