සංචාරක ව්‍යාපාරයට පුරාවිද්‍යාව නැතුව බෑ | සිළුමිණ

සංචාරක ව්‍යාපාරයට පුරාවිද්‍යාව නැතුව බෑ

 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් කරනු ලැබ තිබේ. ක්ෂේත්‍රයේ ගැටලු රැසකට පිළියම් ලෙස ඒ මහතා පත් කළ බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විෂයය භාර අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන ලදී. එතෙක් මෙතෙක් පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ වගකිව යුත්තන් විසින් නොසලකා හරිමින් පැවති ඔඩුදුවන ලද ගැටලු අරබයා මහාචාර්ය මණ්ඩාවල මහතා ක්‍රියාත්මක වීමට අපේක්ෂා කරන ආකාරය පිළිබඳ 'සිළුමිණ' කළ සාකච්ඡාවකි.

• ශ්‍රී ලංකාවේ සම්පත් බහුලම ආයතනයක් වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වරෙක අකාර්යක්ෂම බවත්, තවත් වරෙක වංචා දූෂණ බහුල බවත් කියවෙනවා. එහි වගකීම් බාරගත් ඔබගේ අපේක්ෂාව කුමක් ද?

ආයතනයේ වාර්ෂික වැඩ සැලැස්ම අනුව දෙපාර්තමෙන්තුවේ කටයුතු කාර්යක්ෂම කිරීමට අපේක්ෂිතයි. ආයතනයේ ක්‍රියාකාරකම්හි භෞතික ප්‍රගතිය වර්ධනය කරගනිමින් අපේක්ෂිත ඉලක්ක කරා යෑමට පසුවිපරම් කිරීම මේ වන විට සිදු වනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත 'INSCRIPTION OF CEYLON, EPIGRAPHIA ZEYLANICA' වාර්ෂික පාලන වාර්තා හා පර්යේෂණ වාර්තා වැනි ශාස්ත්‍රීය ග්‍රන්ථ නැවත මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු සම්පාදනයට අපේක්ෂිතයි. යළිත් පුරාවිද්‍යාත්මක පර්යේෂණයන් ආරම්භ කිරීමටද අපේක්ෂා කරනවා. ඉන් පුරාවිද්‍යා ක්ෂෙත්‍ර යේ අවධානය ලංකාව දෙසට යෙමු කරගැනීමට අපේක්ෂිතයි.

• පුරාවිද්‍යා අඥාපනතින් අධ්‍යක්ෂ ජනරාල්වරයාට පැවරී ඇති බලතල ක්‍රියාත්මක නොවීම පිළිබඳ සාකච්ඡා වුණා...

පුරාවිද්‍යා අඥාපනතේ ඇති බලතල තදින්ම ක්‍රියාත්මක කරනවා. ඒ අඥාපනතේ බලතල අධ්‍යක්ෂ ජනරාල්වරයා ක්‍රියාත්මක නොකරන්නේ නම් මහජනයාට පුළුවන් අධ්‍යක්ෂකවරයාට එරෙහිව අධිකරණයට යන්න. විශ්වවිද්‍යාල පද්ධතියේදී පුරාවිද්‍යා නීතිය ඉගැන්වීම මගේ වගකීමයි. එබැවින් අාඥාපනතේ සෑම වගන්තියක් ගැනම මට අවබෝධයක් තිබෙනවා.

• ස්ථාන හා ස්මාරක සංරක්ෂණය කෙරෙහි ඔබේ අවධානය යොමු වී තිබෙනවාද?

ඔව්. පසුගිය කාලයේ සංරක්ෂණ, ස්ථාන තහවුරු කරගැනීම්, ස්මාරක කැණීම් රැසක් සිදු වුණා. එත් අපිට තාක්ෂණික මාර්ගෝපදේශකයක් නැහැ. දැනට තිබෙන්නේ රෝලන්ඩ් ද සිල්වා මහතා විසින් සකස් කරන ලද තාක්ෂණික අත්පොතක්. ඉන්දියාවේ ජොන් මාෂල්ගේ සංරක්ෂණය පිළිබඳ තාක්ෂණික අත්පොත අනුව යමින් අපි මාර්ගෝපදේශන සකස් කළොත් දෙපාර්තමේන්තුවට අයත් පෞද්ගලික පාලනයේ ඇති ස්මාරක සංරක්ෂණය හා ආරක්ෂණය පහසු වෙනවා.

• ශ්‍රී ලංකාවේ පොහොසත්ම දෙපාර්තමේන්තුවේ පවතින මූල්‍ය ගැටලු රැසක් ගැන කියැවෙනවා...

දෙපාර්තමෙන්තුවේ මූල්‍ය ගැටලු නැහැ. පසුගිය වසරේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආදායම මිලියන 3000ක්. ඉන් 25%ක් කියන්නේ ලොකු මුදලක්. 2017ට මූලධන වියදම් සඳහා රුපියල් මිලියන 66.1ක්, පුනරාවර්තන වියදම් සඳහා රුපියල් මිලියන 854.37ක්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අග්‍රීම ප්‍රතිපාදන ලෙස මිලියන 79.3ක් ලැබී තිබෙනවා. අපට ලැබෙන මුදල් වියදම් කර පෙන්වන්න ඕන. එවිට අපිට තවත් මුදල් ලබාගන්න පුළුවන්.

• ඒ වුණත් ආයතනයේ සේවකයන්ගේ ගෙවීම් සිදු නොවුණු අවස්ථා තිබෙනවා... උදාහරණයක් ලෙස රජගල?

සේවකයන් සඳහා වන ගෙවීම් කාර්යක්ෂම කිරීමට ගිණුම් අංශය සමග සාකච්ඡා කළා.

• එසේ මුදල් වියදම් කරද්දී චක්‍රලේඛන ඔබට බලපෑම් කරන්නේ නැද්ද?

නැහැ. මම 1983 සිට රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියට සහභාගි වුණා. අපි රජයේ චක්‍රලේඛ ප්‍රතිපත්ති නිසි ලෙස අනුගමනය කරනවා නම් චක්‍ර ලේඛන බාධාවක් වෙන්නෙ නැහැ.

• පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු ආදායම් ලැබිය හැකි ස්ථාන හා ස්මාරක තව දුරටත් මධ්‍යම සංස්කෘතික අරමුදලට පවරනවද?

පනත අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මුදල් අය කළ හැකියි. ඒත් එම මුදල් වියදම් කළයුතු ආකාරයක් සටහන් වන්නේ නැහැ. ඒ මුදල් මහ භාණ්ඩාගාරයට යනවා. මධ්‍යම සංස්කෘතික අරමුදල පිහිටුවූයේ ඊට පිළියමක් ලෙසයි. එයින් රැස් කරගන්නා මුදල් සංරක්ෂණ කටයුතුවලට යොදවනවා. ඒ ආයතනය මඟින් පුහුණු කීරීම් කටයුතු සිදු කරනවා. ඉන් මූල්‍ය කටයුතු හා සංවර්ධන සංරක්ෂණ පහසු කර තිබෙනවා. එය පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ පවතින ආයතනයක්.

• සම්පාදිත පුරාවිද්‍යා ආඥාපනතට කුමක් සිදු වෙයිද?

මහාචාර්ය සෙනරත් දිසානායක මහතා එය සකස් කර තිබෙනවා. එය මා ඇතුළු ක්ෂේත්‍රයේ විද්වත් වෘත්තිකයන් රැසකගේ අදහස් ගෙන සකස් කරන ලද්දක්. නව සංශෝධනය මඟින් පුරාවිද්‍යා ආඥාපනත තවදුරටත් ශක්තිමත් බලවත් ආඥා පනතක් වේවි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පොලිස් ඒකකයක්, පුරාවිද්‍යාත්මක අගයෙන් යුතු භූමියක් හඳුනාගත හොත් එය පවරාගත යුත්තේ දැනට පවත්නා සාමාන්‍ය ඉඩම් පවරාගැනීමේ නීති යටතේයි. සංශෝධිත පනත මඟින් ඉඩම් පවරාගැනීමේ බලය පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට පැවරේවි.

• දෙපාර්තමේන්තුවේ නිලධාරී හිඟය පියවන්න සැලැසුමක් තිබෙනවාද?

එය රජයේ බඳවාගැනීම් පටිපාටිය හේතුවෙන් ඇති වූ ගැටලුවක්. සේවක පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් ඇති බැවින් පුරප්පාඩු පිරවීමට නොහැකි වී තිබෙනවා. කෙසේ වුවත් දීපව්‍යාප්ත පුරාවිද්‍යා සේවයක් ආරම්භ කළ යුතුයි. පුරාවිද්‍යා සභාව ඒ සඳහා කටයුතු කර කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට තියෙනවා. පහළ මට්ටමේ සිට නියොජ්‍ය අධ්‍යක්ෂ තෙක් පුරප්පාඩු 600-700ක් පමණ පවතිනවා.

• පුරාවිද්‍යාව සංවර්ධනයට බාධාවක් වෙනවාද?

නැහැ.

• පුරාවිද්‍යාව හා සංචාරක ව්‍යාපාරය එකක්ද?

සංචාරක ව්‍යාපාරයෙන් පුරාවිද්‍යාව බැහැර කරන්න බැහැ. අපේ රටට සංචාරකයන් වැඩි දෙනෙක් එන්නේ ඓතිහාසික ස්ථාන නරඹන්න.

• කළුදිය පොකුණේ හෝටලය හදනවාද?

නෑ. එහෙම වෙන-එකක් නැහැ. මම ආවේ පුරාවස්තු ආරක්ෂා කරන්න. ඒත් සංවර්ධන කාර්යයන්ට බාධා කරන්නේ නැහැ.

• පුරාවස්තුවලට හානි කිරීම් ඉතා ඉහළයි...

පුරාවස්තුවක් පෑගුවත්, ඊට හානි කළත් නීතියෙන් දඬුවම් ලැබිය යුතු වැරැදි ලෙස සලකනවා.

• කොණ්ඩ කට්ටෙන් කැටපත් පවුර සීරීම නිසා සැණෙකින් නීතිය ක්‍රියාත්මක වුණා. සෙල්ලිපි මකා දැමීම (ග්‍රයින්ඩර් කර) ඒ තරම් ලොකු වරදක් නොවේද?

වරදක්. අපි නීතිය ක්‍රියාත්මක කරනවා.

සංවාදය
ටෙක්ලා පද්මිණී කාරියවසම්
සේයාරූ - සුදම් ගුණසිංහ 

Comments