
ලෝකයේ බොහෝ රටවල් සමඟ සසඳන විට විද්‍යාව හා තාක්ෂණික දියුණුව අතින් අප සිටින්ගේ ගව් ගණනක් ඈතිනි. එහෙත් එසේ වූ පමණින් ශ්‍රී ලාංකිකයන් වන අප කළ යුතුම වන කිසිවක් අතැරදැමීමට සූදානම් නැත. කුමන බාධක පැමිණියද, කිනම් අඩුලුහුඬුකම් පැවතියද තම අරමුණු ජය ගත් අවස්ථා අපේ ඉතිහාසය පුරා ලියැවී තිබෙන්නේය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් අංශයටද ඉහත කී කරුණ අතිශයින් සාධාරණය. ජීවිත අවදානමේ හෙළමින්, අවම තාක්ෂණික පහසුකම් යටතේ අනේක දුක් ගැහැට විඳමින් නිශ්චිත ඉලක්කය කරා ගොස් ජය ගත් අභියෝග කොතෙක්දැයි දන්නේ ඔවුන්ම පමණය.
මුහුද යට මෙහෙයුමකදී දියුණු රටවල් භාවිත කරන අධිතාක්ෂණික උපකරණ ඔවුන් සතුව නැත. විදෙස් රටවලදී අධිතාක්ෂණික කැමරා මඟින් ලබාගන්නා දර්ශන ඔස්සේ රොබෝවරුන් ලවා කරවන ඇතැම් මෙහෙයුම් අපේ නිර්භීත සහ දක්ෂ මිනිසුන් කිසිදු පැහැදිලි දෘශ්‍යතාවකින් තොරව අතින් අතගා බලා ලබාගන්නා දත්ත මත පදනම්ව රොබෝවරුන් කළ යුතු දේ තමන්ම කරමින් ලබාගත යුතු නිශ්චිත ජය ගත් අවස්ථා ඕනෑ තරම් පවතින්නේය. ඇතැම් විට ඒ සඳහා ඔවුන් භාවිත කළ ඇතැම් උපකරණ ඔවුන්ගේම නිර්මාණ වන්නේය. ඒවා සරල නමුත් අවස්ථාවට අදාළව භාවිතයට ප්‍රමාණවත් වන්නේය.
ඉරණතිව් අසල මුහුදේ ගිලී ගිය 'ලයන් එයාර්' ගුවන්යානය ගොඩ ගැනීමට 2013දී කළ මෙහෙයුම සිහිපත් කරමින් නාවික හමුදාවේ කොමඩෝර් ජයන්ත ගමගේ, කිමිදුම් කණ්ඩායම මුහුණ දී ජය ගත් අභියෝග සමඟ කිමිදුම්කරුවකුගේ ජීවිතයේ අවිනිශ්චිත බවද මැනැවින් පැහැදිලි කර සිටියේය.
ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මුහුදේ ගිලී ගිය 'ලයන් එයාර්' යානය යළි ගොඩබිමට ගෙන ඒමේ වගකීම පැවරෙන්නේ නාවික හමුදාවේ කිමිදුම් අංශයටය. යානය ඇදවැටුණු ප්‍රදේශය සම්බන්ධව දළ අදහසක් ඒ වන විටත් ඔවුන්ට ලැබී තිබුණද එය තහවුරු කරගැනීමේ අත්‍යවශ්‍ය විය.
කොමඩෝර් ජයන්ත ගමගේ තම කණ්ඩායමත් සමග ගොස් ඉරණතිව් අවට ධීවර ජනතාවගෙන් තොරතුරු විමසන්නේ මහ මුහුද ගැන විශ්වාසනීය තොරතුරු අන් කාටත් වඩා ඔවුන් සතු වන බව දන්නා බැවිනි. සැබවින්ම එය එසේම විය. ඉරණතිව් අසල මුහුදේ කිසියම් ප්‍රදේශයක් ආශ්‍රිතව තමන් එළන දැල් කුමක් හෝ ඝන ද්‍රව්‍යයක පැටලෙන බව ඔවුහු පැවසූහ. දැන් තොරතුරු නිශ්චිතය. ඇත්තේ තහවුරු කරගැනීම පමණි.
ධීවරයන් පෙන්වූ ප්‍රදේශයේ වර්ග මීටර් පන්සීයක පමණ ප්‍රදේශයක් තහවුරු කළ කිමිදුම් කණ්ඩායම දියේ ගිලුණු යානය සොයා මුහුදු පත්ලට ගමන් ඇරඹූහ. ගොඩබිම සිට කිලෝමීටර් හතක් පමණ ඈත මුහුදේ, මතුපිට සිට පත්ලට අඩි තිහක් හතළිහක් ගැඹුරට කිමිදීම සරල දෙයක් සේ නොපෙනුණද අත්දැකීම් බහුල කිමිදුම්කරුවන් එය දුෂ්කර සේ සැලකුවේ නැත. එහෙත් මුහුදේ රළු බව මත සෙවීම් කිරීම හෝ නොකිරීම තීරණය විය.
ගිලී ගිය ගුවන් යානයක නටබුන් සොයා දිය යට කිමිදුණු පළමුවැනි දිනය ප්‍රතිඵල රහිත වුවද දෙවැනි දිනයේදී වැලි මත තිබූ කිසියම් යකඩ පතුරක් සොයාගැනීමට ඔවුහු සමත් වූහ. එය හඳුනාගැනීම පිණිස අදාළ අංශ වෙත යැවූ ඔවුහු තවතවත් සාක්ෂි සොයමින් මුහුදු පත්ල බලා ගියහ. මුහුදු පත්ලේ බොහෝ දේ ඇසට පැහැදිලිව නොපෙනුණද වැලිවලින් වැසී යමින් තිබූ අඳුරු පැහැති යම් යම් කොටස් ඔවුන්ට නිරීක්ෂණය විය. කිමිදුම් කණ්ඩායමේ සාමාජිකයන් වැර යොදා දෑත්වලින් වැලි හාරන්නට වූයේ මේ කොටස් මතු කරගැනීමටය. දෑත් ප්‍රමාණවත් නොවන තැන ඔවුහු යම් යම් සරල උපකරණ තනා ගනිමින් වැලි ඉවත් කිරීම ඇරඹූහ. ඇතැම් කොටස් වඩා විශාල වුවද මතුපිටට ගෙන ඒමට හැකි වූ තවත් කොටස් කිහිපයක් එලෙස මතු කරගැනීමට ඔවුහු සමත් වූහ. මේ සියල්ල ගුවන්යානයක කොටස් බව අදාළ අංශ තහවුරු කර සිටියෙන් ඔවුහු මහා මෙහෙයුම ඇරැඹූහ.
ඒ වෙනුවෙන් තවත් කිමිදුම් කණ්ඩායම් දෙකක සහායද හිමි වූ බවත් අතුකෝරල සහ අබේවික්‍රම යන නාවික හමුදා නිලධාරීන් දෙදෙනාගේ සහායද එහිදී හිමි වූ බවත් කොමඩෝර් ජයන්ත ගමගේ සිහිපත් කර සිටින්නේය.
එවර නිවැරැදි තොරතුරු සමග මුහුදු පත්ලට පිවිසෙන කිමිදුම් කණ්ඩායම ටොන් දෙකක් පමණ බරැති ගුවන් යානාවේ එන්ජිමක්ද සොයාගැනීමට සමත් වන්නේය. මේ එන්ජින් කොටස ගොඩ ගැනීම වෙනුවෙන් නෞකාවක පැටවූ දොඹකරයක්ද අදාළ මුහුදු ප්‍රදේශයට ගෙන එනු ලැබූ අතර හුළං පිරවූ සුවිශාල බැලූන වැනි බෑග්වල ගැටගසා උඩට අැදගනු ලැබූ එන්ජිම ඉන් පසු දොඹකරය ආධාරයෙන් ඔසවා නැව මතට ගනු ලැබීය. ඒ සමග මුහුදු පත්ලේ තිබී මිනිස් සිරුරු කොටස් ඇතුළු බොහෝ දේද හමු වූ අතර, තම වගකීම ඉෂ්ට කරමින් කිමිදුම් කණ්ඩායම ඒ සියල්ල අදාළ අංශවලට නිවැරදිව ලබා දීමට කටයුතු කළහ.
ශ්‍රී ලංකා ඉතිහාසයේ ගුවන්යානයක් මුහුදු පත්ලේ තිබී ගොඩගත් ප්‍රථම අවස්ථාව එසේ සටහන් විය.
කිමිදීම යනු මිනිසා තම මාධ්‍යය අතික්‍රමණය කළ තවත් අවස්ථාවකි. ජලය යනු මිනිසාගේ මාධ්‍යයක් නොවේ. එබැවින් වාතය තම මාධ්‍යය කරගනිමින් වෙසෙන මිනිසා ජලයට ප්‍රවිෂ්ට වීම පහසු දෙයක් වන්නේ නැත. විශේෂයෙන් ජලයේ කිමිදී පැය ගණන් ගත කිරීම මුහුද යට ලෝකය ගවේෂණය කිරීම, එහි ගැවසෙමින් යම් යම් අරමුණු, ඉලක්ක ජය ගැනීම කිසි සේත් පහසු වන්නේ නැත. විශේෂයෙන් අවම තාක්ෂණික පහසුකම් තිබියදී එසේ පහසු වන්නේ නැත.
මහනුවර කටුගස්තොට නගර යා කරමින් අලුතින් පාලමක් ඉදි කිරීමට මුල පිරෙන්නේ පසුගිය දශකයේ මැද භාගයේදීය. එහෙත් එහි වැඩකටයුතු අතරමඟදී ඇනහිටින්නේ පාලම ඉදි කිරීමේ කොන්ත්‍රාත්කරුවන්ට ඔවුන් සතු උපරිම තාක්ෂණය යොදා හෝ යළි ගොඩනැඟිය නොහැකි ලෙස පාලමේ ප්‍රධාන කුලුනක් මහවැලි ගං දියේ ගිලී ගිය බැවිනි. දෙපස කලුනු නිවැරැදිව ඉදි කර තිබුණද ගණනය කිරීමේ දී සිදු වූ කිසියම් දෝෂයක් හේතුවෙන් මේ ප්‍රධාන කුලුන ඉදිකිරීම් කටයුතු සිදු කරන අතරමගදී ගං දියට ඇදවැටී වතුරේ සැඟව ගොස් තිබිණි. එය යළි ගොඩනැගීමට කොන්ත්‍රාත්කරුවන් සතු වූ තාක්ෂණය ප්‍රමණවත් නොවූයෙන් පාලමේ ඉදිකිරීම් කටයුතු එතනම ඇනහිට තිබිණි.
පසුව මෙලෙස ගිලී ගිය කුලුන යළි ස්ථාපිත කිරීමේ කටයුතු ආරම්භ වූ අතර, මහවැලි ගං දියේ ගැඹුරේ කිමිදී කුලුනේ පාදම ශක්තිමත් කිරීමේ කටයුතු නාවික හමුදාවේ කිමිදුම් අංශයට පැවරෙන්නේය. 2008 වසරේදී සිදු කළ ඒ අති දුෂ්කර මෙහෙයුමේ මතකය කොමඩෝර් ජයන්ත ගමගේ මෙසේ සිහිපත් කරන්නේය.
“පාලමේ මැද කුලුන තමයි වතුරට වැදිලා තිබුණේ. වතුරට වැටෙනකොට කුලුනේ සැලකිය යුතු ප්‍රමාණයක් ඉදි කරලා තිබුණේ කියලා අපට තොරතුරු ලැබුණා. ඒ ඉදි කර තිබුණු කොටස සම්පූර්ණයෙන් ඉවත් කරලා අලුතෙන්ම එතන ඉදිකිරීම ආරම්භ කළ යුතු වෙනවා. අපි මුලින්ම මෙතන වෙලා තියෙන්නේ මොකක්ද බලන්න වතුරට බැස්සා. මහවැලි ගඟේ අඩි හතළිහක් විතර යට කිමිදෙන්න අපට සිදු වුණා. ඒ හරියේදී කිසිම දෙයක් ඇහැට පෙනෙන්නේ නැහැ. මඩ පැහැ බොර වතුර නිසා ගං පත්ලේ තියෙන කිසිම දෙයක් දකින්න හැකියාව ලැබුණේ නැහැ. ඒ වගේ අවස්ථාවලදී භාවිත කරන තාක්ෂණික උපකරණ විදෙස් රටවල නම් තියෙනවා. ඒත් අපිට සිදුවුණා අතින් අතගාලා ගං පත්ලේ තියෙන දේ තේරුම් ගන්න. මේක කොහෙත්ම පහසු දෙයක් වුණේ නැහැ.
ඒත් අපිට ගං පත්ලේ තිබුණු විශාල ඉදිකිරීම අතගාලා අතගාලා බලනකොට තේරුණා අතිවිශාල යකඩ පයිල්ස් (piles) තියෙන බව. මේ පයිල්ස් යොදලා කුලුන ඉදි කරන කොට ගගේ ප්‍රවාහය වැඩි වෙලා කුලුන ඇදවැටිලා තියෙනවා.
අපි වැඩේ පටන් ගන්න කොට අපට මේ කිසිම දෙයක් ගැන දැනුවත් කළේ නැහැ. අපි මෙච්චර බැරෑරුම් දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ. ඒත් පටන් ගත්ත වැඩක් අපි කවදාවත් මග නතර කරලා නැහැ. ඒ නිසා අපි තීරණය කළා මේක කොහොම හරි ඉවර කරනවා කියලා. මුලින්ම අපි ගං පත්ලේ තිබුණු කුලුන ගොඩ ගන්න කටයුතු කළා. මේ පයිල්ස් එකින් එක උඩට ගන්න කටයුතු කළා. ක්‍රේන් එකක් ගෙන්වාගෙන දිය යටට ගිහින් පයිල්ස් එකින් එක ක්‍රේන් එකට සම්බන්ධ කළා. ඊට පස්සේ ක්‍රේන් එකෙන් ඔසවලා පයිල්ස් ගං දියෙන් ඉවතට ගත්තා. මේ විදිහට පයිල්ස් 100ක් විතර වතුරෙන් ඉවතට ගන්න අපි කටයුතු කළා.
ඊට පස්සේ ආයෙමත් ඉදිකිරීම් සමාගම පෙන්වා දීපු තැන මේ පයිල්ස් නියමිත පරිදි ස්ථාපිත කරලා දෙන්න අපට බාර දුන්නා. එතනදී පොළොවේ ශක්තිමත්ම ස්ථානය තොරාගෙන ඩ්‍රිල් කරලා ඒ වටේ වතුර ඉවත් කරලා මේ පයිල්ස් යළි රඳවන්න අපට සිද්ධ වුණා. අපි අදාළ තැන මුලින්ම පයිල්ස්වලින් කොටුවක් හදා ගත්තා. ඊට පස්සේ එතන පත්ලේ සියලුම මඩ ඉවත් කළා. අන්තිමට වතුරත් ඉවත් කළා. මේ විදිහට ඉදිකිරීම් සමාගමට අවශ්‍ය පරිසරය එතන අපි සකස් කරලා දුන්නා. අපේ සියලුම කටයුතු අවසන් කරන්න අපට මාස හයක් විතර ගත වුණා. මෙතනදී විශේෂත්වය වුණේ ගං පත්ලේ සියලු කටයුතු සේරම ඇසින් නොදැක, අතින් අතගා බලා වටහාගෙන කිරීමට සිදු වීමයි. ඒත් එතරම් අපහසුතා තිබුණත් අපේ ඉලක්කය ජය ගත්තා. අද කටුගස්තොට පාලම ඉදි වෙලා තියෙනවා. දහස් ගණන් ජනතාව ඒ මතින් යනවා. අපිත් ඒ මතින් යනවා. ඒ හැම වෙලාමකට එදා විදපු මහන්සිය මතක් වෙලා ජයග්‍රාහී හැඟීමක් දැනෙනවා."
කොමඩෝර් ජයන්ත ගමගේ එසේ පවසන්නේය. කිමිදුම් යනු දූපතක ජීවත් වන අපට නැතිවම බැරි දෙයකි. ලෝකයේ බොහෝ රටවල් අද කිමිදුම් කටයුතු සඳහා මිනිසුන් වෙනුවට රොබෝවරු පමණක්ම යොදා ගනිති. එහෙත් අපේ රටේ දක්ෂ මිනිසුන් රොබෝවරුන්ටද විකල්පයක් වෙමින් අභියෝග ජයගනිනි.