අවසන් ලියුම | සිළුමිණ

අවසන් ලියුම

කෙටිකතාව

වේගයෙන් ඇදිලා එන කළු වලාකුළු හතර අතින් ම එකට එකතු වෙනවා. ඉදුණු මිදිගෙඩියක් වගේ කළු පාටින් බරවුණු අහස කඩා වැටෙන්න ඔන්න‍මෙන්න. ලියුම ලියන්න ගත්ත කොළේ තාම මේසෙ උඩ ඔහේ බලාගෙන ඉන්නවා. මේසේ ඉදිරිපිට ඇරලා තිබුණ ජනේලෙන් හාත්පසම පැහැදිලිව පේනවා. පෑනත් කටේ ගහගෙන අහස දිහා බලාගෙන මම කල්පනා කළා. වෙනදා අහස මොනතරම් නිස්කලංකද සුන්දරද ඒ අහස දිහා බලාගෙන ඉන්න එක කොයි තරම් සැනසීමක් ලබා දෙනවද?

ආදරණීය සුදූ...!

“අවසන් ලියුමයි ඔබට ලියන්නේ විරහා කඳුළු රැඳී පෑනෙන්”

වෙනදා වගේම සින්දුවක කෑල්ලක් ලියුමෙ උඩින්ම ලිව්වා. සින්දුවක්, කවියක් නැති නම් ඒක පෙම් හසුනක් නෙමෙයිලුනේ. ලියනවා නම් සිංදුත් ලියත හැකි පොතක් පිරෙන්නම.

“සුදූ, මෙහෙම ලියුමක් ලියන්න වෙයි කියලා නම් මම හීනෙකින් වත් හිතුවෙ නෑ. ඔයා හොඳටම දන්නවා මගේ මුළු ජීවිතයම, මගේ මුළු ලෝකෙම ඔයා කියලා. ඔයාට මාව ඕන වෙන හැම වෙලාවකම මම ඔයා ළඟ හිටියා. ඔයාව පරෙස්සම් කළා. මං මං ගැනවත් නොහිතා මගේ අත්‍යවශ්‍ය දේවල් පවා කැපකරලා ඔයා වෙනුවෙන් වැඩ කළේ. ඔයාට කිසි අඩුවක් වෙන්න මම ඉඩ දුන්නෙ නෑ. ඔයාට දුකක් දැනෙන හැම වෙලාවකම මං ළඟින් හිටියා. මං දන්නවා ඔයා මං වෙනුවෙන් එහෙම කැපවීමක් කළේ නෑ කියලා. ඔයාගෙන් වරදක් උණත් ඔයා කළේ ඒක මගේ පිට දාන එක. එහෙම වෙලාවට ඔයා කරපු වරදටත් මම ම සමාව ගත්තෙ ඔයාට තිබුණ ආදරේට.”

“මම දන්නවා ඔයාට ඔහොම වෙනස් වෙන්න තරම් වරදක් මගෙන් උණේ නැති විත්තිය. ඔයා මගේ ආදරේට පිටුපාලා තව කෙනෙක් එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්නවා කිව්වම මං ඒක දරාගන්නෙ කොහොමද? මට යාළුවො එක එක කතා කිව්වත් මං ඒ එකක් වත් විශ්වාස කළේ නැ. මං පණ වගේ ආදරේ කරපු ඔයා තව කෙනෙක් එක්ක ඉන්නවා කියලා නිකමටවත් හිතන්න මට පුළුවන් කමක් තිබුණෙ නෑ. “මගෙ ජීවිතේ ම ඔයා. ඔයාව වෙන කාටවත් අයිති වෙන්න දෙන්නෑ” කියලා මට තුරුලු වෙලා හිටපු ඔයා දැන් වෙන කෙනකුට තුරුලු වෙලා ඉන්නෙ කොහොමද? ඇත්තටම ඔයාට එහෙම කරන්න පුළුවන්ද?”

මං ඔහේ ලියාගෙන ගියා. වේදනාවෙන් පුපුරු ගහන හිත අස්සෙ තද වෙලා තියෙන වේදනාව කඳුළක් වෙලා ගලාගෙන එනවා. ඒ කඳුළු කැට සිතුවමක් වෙලා කඩදාසියේ සටහන් වෙනවා. අතීත මතක, එයත් එක්ක කරපුවා කියපුවා මේ හැම දෙයක්ම මම ලියාගෙන ගියා. සැරෙන් සැරේ කල්පනා කර කර මතක් වෙන මතක් වෙන පාරට හිතට ආපු හැමදේම ලිව්වා. සමහර විට එකම දේ නැවත නැවතත් ලියන්න ඇති.

“තමුසෙත් මහ කපටි ගෑනියක්. මං තමුසෙට ආදරේ කරාට තමුසෙ කරේ මාව රවට්ටපු එක. මගෙන් අඩුපාඩු වුණාලු. අවුරුද්ද දවසෙ උදේ ම සුබ පැතුවෙ නැති වුණාට ඒ අයියා උදේම සුබ පැතුවලු. ගෙනත් දෙන්න කියපු පොත්ටික මම වෙලාවට ගෙනාවෙ නැති වුණාට එයා කියපු ගමන් ගෙනත් දුන්නලු. ඇත්ත පොඩි පොඩි අතපසුවීම් වෙන්න ඇති. එතකොට දවසෙම වැඩ කරලා මහ රෑ නිදි මරාගෙන උපන්දිනේට සුබ පතපුවා, පහුවෙනිදා ආසම පාටින් සාරියක් ගෙනත් දීපුවා දැන් මතක නෑ. වෙරළෙ යන්න ආසයි කිව්වම ‍අම්මට බෙහෙත් ගන්න යන්න තිබුණ එකටත් බොරුවක් කියලා මඟ ඇරලා එක්කන් ගියපු ඒවා ගැන දැන් කතාවක් නෑ, වැලන්ටයින් දවසෙ මාලයකට ආසයි කියලා අරන් දුන්නම අනේ ලස්සනයි කියලා ගන්න ‍කොට හොඳයි. දැන් තමා උඹට මාව එපා වෙලා තියෙන්නෙ. ඒකනේ රස්තියාදු කාරයෙක් හොයාගෙන ගියේ. කොණ්ඩෙ වවා ගෙන කරාබුවක් දාලා අලුත් බයික් එකෙන් ඇවිත් විහිළුවක් කරලා කතා කළාම අවුරුදු පහක් තිස්සෙ මං කරපු හැමදේම අමතක වුණා. උඹට ඕන කරලා තිබුණෙ මගෙ ආදරේ නෙමෙයි මාව හූරාගෙන කන්න.”

මං මොනවද මේ හිතන්නෙ. අතීතයෙන් වර්තමානයට එද්දි මගේ හිත නරක සිතුවිලි වලින් පිරිලා. “නෑ නෑ එයා එහෙම නෑ”. පණ වගේ ආදරේ කරපු කෙල්ල ගැන මට මෙහෙම හිතන්න පුළුවන්ද. එයා මට‍ මොනදේ කළත් මම එයාට ආද‍රේ කළේ අවංකවම. හාත්පසම අඳුරුවෙලා මුළු පරිසරයම පාළු ස්වභාවයක් අරන්. කුරුල්ලො කෑ ගහමින් වැස්සට මුවාවෙන්න තැන් හොයනවා. මගේ හිත ආයෙත් සන්සුන් වෙලා පාළු ගතියකින් පිරිලා ගියා. මං ආයෙත් ලියන්න පටන් ගත්තා.

“කමක් නෑ සුදූ. මං ඔයාට වෛර කරන්නෙ නෑ. ඔයා වෙනස් වුණාට මගෙ ආද‍ෙර් එදා වගේම ඔයා වෙනුවෙන් හෙටත් ඒ විදියටම තියෙයි. මං ඔයාට වරදින්න ප්‍රාර්ථනා කරන්නෙ නෑ. ඒත් මොන හේතුව නිසා හරි ආයෙ මාව ඕන වුණොත් හොයාගෙන එන්න. අද මට මෙහෙම කළාට මම එදාට ඔයාට පිටු පාන්ෙන නෑ. ඔය දෙන්නා සතුටින් ඉන්න මගෙ සුදූ. ඔයාගෙ හැම සිහිනයක්ම ඉටුවෙන්න මම ප්‍රාර්ථනා කරනවා.”

“ඔබ සඳක් සේම බැස යයි
මට අයිති කළුවරයි
මට මතක එපමණයි
උණු කඳුළු බින්දු පමණක්
මේ බිමට වැටෙනු ඇයි
මට උරුම එපමණයි”

ආයෙත් දාර්ශනික විරහා ගීතයක කොටසකුත් ලියලා කඳුළු ගලන ඇහැකුත් ඒ යටින් ඇන්දා.

බින්දු බින්දු එකතු වෙලා බරවුණ අහසට තවදුරටත් ඒ බර දරාගන්න බැරිව මහ වැස්ස කඩා වැටෙන්න පටන් ගත්තා. අවට පරිසරයම එක මොහොතින් සිසිල් වෙලා ගියා. හිතේ හිරවෙලා කියාගන්න බැරිව තිබුණ හැඟීම් ලියලා ඉවර වෙද්දි, මහ වැස්සෙන් නිදහස් වුණ අහස වගේ නිදහස්වෙලා සැනසීමක් හදවතට දැනුණා. මේ වෙද්දි මගේ හිතේ තෙරපුණු වේදනාව කොළ හතරක “අවසාන පෙම් හසුන” වෙලා ඉවරයි. අද එයා මාත් එක්ක හිටියා නම් මේ වෙලාවෙ මහ වැස්සෙ තුරුලු වෙලා කොහෝ හරි යන ගමන් වෙන්න තිබුණා. සමහරවිට දැන් අලුත් පෙම්වතා එක්ක වැස්සෙ යනවා ඇති. ඒත් අලුත් පෙම්වතා මං වගේ එයාව පරෙස්සම් කරයිද? දැන් ඕවා හිතලා වැඩක් නෑ. මම ජනේලයෙන් ඈත වහින දිහා බලාගෙන හිටියා.

මට පුංචි කාලෙ මතක් වුණා. බැඳීම් අඩු ඒ කාලෙ මොන තරම් සැහැල්ලුවක් තිබුණ ද. අක්කයි මායි කඩදාසි ඔරු හදපු හැටි මතක් වුණා. අක්කා බැඳලා ගියාට පස්සෙ ගෙදර ඉතිරි මං විතරයි. අක්කා හිටියා නම් ඔරුවක් හදාගෙන පුංචි කාලෙ වගේ වැස්සෙ සෙල්ලම් කරන්න තිබුණා. එහෙමත් බෑ නේ මේ වයසට මොන කඩදාසි ඔරුද? සිතිවිලි පරම්පරාවක්ම ඇතිවෙලා නැති වෙලා ගියා. එයා දැන් මගෙන් ඈතට ගිහින්. මට දුකක් වුණත් එයා සතුටින් ඇති. මම ලියපු කොළ එකින් එක අරන් හිමින් සීරුවේ නමන්න පටන් ගත්තා. දැන් පුංචි කඩදාසි ඔරු හතරක් මේසෙ උඩ.

වැස්ස තුරල් වුණත් තාම පොද වැටෙනවා. අම්මා කුස්සියේ වැඩ. මම වටපිට බලලා හිමින් සීරුවේ ගේ ඉස්සරහා කොරිඩෝවට බැස්සා. මහ ජල දහරාවක් මිදුල වහගෙන. බොර පාට ජල කඳ එකම පහත් තැන වුණ මිදුලට ගොඩවෙන ගල් පඩිපෙළ අතරින් පල්ලම් බහිනවා. මම ගෙයි දොරකඩ ඉඳන් ඔරුවක් අරගෙන වතුරෙන් තිබ්බා. සිහින් දිය රැල්ලකට අහුවුණ ඔරුව හිමින් සීරුවේ ගල්පඩිපෙළ දිහාවට පාවෙලා යනවා. ජීවිතේ පළමු වතාවට ඔරුවක් හදපු පොඩි දරුවෙක් වගේ මමත් ඔරු එකින් එක අරගෙන වතුරෙන් තිබ්බා. පහළට ඇදිලා යන වතුර පාර දිගේ ඔරු පේළියට ඇදිලා යනවා. මග තිබුණ කෝටුවක රැඳුණු ඔරුවක් වටයක් කැරකිලා ඉදිරියට යන්න පටන් ගත්තා.

ඉදිරියට ඇදුණු කඩදාසි ඔරු ජල පහරත් එක්ක ගල් පඩිපෙළ අතරින් හීන් සීරුවේ පල්ලම් බහිනවා. අන්තිම ඔරුවත් පල්ලම් බැහැලා නොපෙනී යනකල්ම ගෙයි දොරකොඩට වෙලා බලන් හිටපු මම හිමින් සීරුවේ කාමරයට ආවා. අම්මත් සද්ද නැතිව කුස්සියේ වැඩ. මුළු ගේම පාළුවට ගිහින්. මම කොට්ටයක් ඇඳ විට්ටමට හේත්තු කරගෙන ටිකක් ඇලවුණා. මට නින්ද යන්න ඇති.

“අද වැඩට යන්නෙ නැද්ද... රෑට කන්නෙත් නැතිවම නිදාගත්තා” අම්මගෙ කටහඬට ඇහැරෙන කොට පහුවදාටත් එළිවෙලා. ලැහැස්ති වෙලා වැඩට යන්න මිදුලට බහිද්දි අහස බොහොම සුන්දරව පැහැදිලිව මං දිහා බලාගෙන හිටියා. මං හිමින් සීරුවේ ගල් පඩිපෙළ දිගේ පහළට බැහැලා වැඩට යන්න පිටත් වුණා. ඊයෙ ගලපු සැඩ වතුර පහරට සෝදාගෙන ගිය පාරේ තැන තැන විසිරිලා ගල්වල රැඳුණු දියවුණු කඩදාසිවල බොඳවුණ දම්පාට පැල්ලම් යන්තමට ඉතිරිවෙලා තියෙනවා මම දැක්කා.

Comments