
අවාරයේ හට ගැනුණු අඹ මල් අඹ ගස අපූර්ව චමත්කාරයකින් සරසා තිබේ. ළා කොළ පැහැති ව සියුම් ව හට ගත් අඹ මල් ටිකෙන් ටික රත් පැහැයට හැරී මඳ සුළඟේ ලතාවකට පැද්දෙමින් සුගන්ධය විසුරුවාලූයේ බඹර කැලට ද නිහඬ ආරාධනයක් කරමිනි. බඹර ගුමු ගුමුව නිසා තව තවත් සුන්දර ලෙස විකසිත වුණු අඹ මල් ටිකෙන් ටික දුඹුරු පැහැයට හැරෙනු මම බලා සිටියෙමි. මීට මඳ කලකට පෙර අහස දෙස බලමින් ප්‍රාණවත් ව සුන්දර ව හිනැහුණු අඹ මල් දැන් මලානික ව මිහිකත දෙසට නෙත් යොමනු පෙනේ. මඳ සුළඟට පවා වැටුණු මල් පෙති සුදු වැලි පොළොව මත අපූරු වියමනක් මවා තිබේ. ක්‍රමයෙන් පෙති ගිලිහී මල් නටුව නිරුවත් විණි.
ඒ නිරුවත් මල් නටුවෙන් දිනක - දෙකක අවෑමෙන් හට ගැනුණු කුඩා අඹ ගෙඩි මගේ නෙතට හමු වූයේ ඉන් පසුව ය. ඒ සුන්දර අඹ මල ඵලයක් ව බිහි වීමට කෙතරම් කාලයක් ගත විණි ද?
අප මිදුලේ පිහිටි අඹ ගසේ ඵල හටගනු සති කිහිපයක් තිස්සේ විමැසිල්ලෙන් බලා සිටිය ද, ඒ අඹ ගස මේ මුළු මහත් විශ්වයේ ම සියලු ම ගස් නියෝජනය කරන බැව් ඔබ දන්නවා ද? අඹ ගසේ හට ගන්නේ ඵල ය. තේ ගසේ හට ගන්නේ දලු ය. පිච්ච ගසේ හට ගන්නේ මල් ය. මේ ඕනෑම ඵලයක් මිහිකතේ සොඳුරු ම දායාද නො වන්නේ ද?
මිහිකත කිසිවකුට හෝ හිමි නැත. ඇය අප සියල්ලන්ට ම සිය සෞම්‍ය ළතෙත් බවෙන් සංග්‍රහ කරන්නී ය; ආශිර්වාද කරන්නී ය. ඵල නෙළා ගනිමින්, සී සාමින්, තව තවත් භව භෝග වගා කරමින් හා ඒවා පරිභෝජනය කරමින් මෙන් ම නාස්ති කරමින් ද අපි බොහෝ වර්ෂ ගණනක් මේ මිහිකත මත ජීවත් වුණෙමු. තව තවත් ජීවත් වන්නට ද බලාපොරොත්තු වන්නෙමු. අපි සෑම විට ම මේ මිහිතලය මත කටුක දිවියක් ගත කරන ආගන්තුකයෝ වූයෙමු.
ඔබේ ය, මගේ ය, ඔබේ කුලය, මගේ කුලය, මගේ ජාතිය, ඔබේ ජාතිය, මගේ ආගම එසේත් නැතිනම් මීට සැතපුම් දහස් ගණනක් ඈත එපිට ජීවත් වන මිනිසුන්ගේ ආගම, ජාතිය වශයෙන් අප මේ මිහිතලය කැබලි කර ඇත; මිහිතලය භේද භින්න කර ඇත. අපේ අයිතිය වෙනුවෙන් අපි සටන් කරන්නෙමු; දබර කරන්නෙමු. ඒ ගැටුම අවියක් කර ගන්නා දේශපාලකයෝ මේ භේදකාරී බව පවත්වා ගෙන යමින් බලයෙන් උදම් වෙති. මේ කිසිවකුත් සමාජය, ලෝකය, මිහිකත සමස්තයක් වශයෙන් ගෙන නොබලති. විශ්ව මානසිකත්වය හෝ මිහිතලයේ ගැඹුරු බව ගැන බොහෝ දෙනකුට නොවැටහේ. භේදයකින් තොරව සිතීමේ හැකියාව අප බොහෝ දෙනකුට නැත. ජාතියෙන්, ආගමෙන්, සංස්කෘතියෙන් හෝ කුලයෙන් ඔබ්බට ගිය සිතක් බොහෝ දෙනකුට නැත.
දැදිගම වී. රුද්රිගු විසින් පරිවර්තනය කරන ලද චිංගීස් අයිත්මාතව් ගේ “අම්මා සහ මිහිකත“ කෘතියේ තල්ගනායී නම් අම්මා සමඟ පෘථිවි මාතාව කළ අපූර්ව හෘදය සංවේදී සංලාපයක් මට සිහිපත් වේ.
‘මේ ලෝකයේ ජීවත් වන ජනයිනි, නුඹලාට ඕනෑ මොනවාද? පෘථිවිය ද? මෙන්න මා තමයි පෘථිවිය. මම සියලු දෙනාට ම එක හා සමානයි. නුඹලාගේ කලහ වලින් මට පලක් නෑ. මට අවශ්‍ය වන්නේ නුඹලාගේ මිත්‍රත්වයයි, නුඹලාගේ ශ්‍රමයයි. පෙරළූ බිමට එක ධාන්‍ය ඇටයක් දීපල්ලා. මම නුඹලාට ධාන්‍ය සියයක් ලබා දෙන්නම්. කුඩා පැළයක් සිටුවාපල්ලා, මම නුඹලාට ධාන්‍ය සියයක් ලබා දෙන්නම්. කුඩා පැළයක් සිටුවාපල්ලා, මම නුඹලාට මහ ගොඩක් පලතුරු දෙන්නම්. සතුන් ඇති කරපල්ලා, මම උන්ට තණ ආහාර සපයන්නම්. ගෙවල් හදාපල්ලා, මම තාප්ප හා බිත්ති වෙන්නම්. විවාහ වී දරුවන් ඇති කරපල්ලා, මම නුඹලා සියලු දෙනාට ම සුන්දර නිවහනක් වෙන්නම්. මම අනන්තය වෙමි; සීමා රහිත වෙමි; මා ගැඹුරුයි; උසයි; නුඹලා සියලු දෙනාට ම මගේ ඇකයේ ඉඩ තිබේ.’
මේ මිනිස් වග මිහිතලයට කෙසේ, කොතරම් අයිතිවාසිකම් පෑව ද මිහිතලය සැමට ම පොදු එක ම වෙසකින් සලකයි. මිහිතලයේ අයිතිය වෙනුවෙන් සටන් වදින මිනිස් වග ක්‍රමයෙන් තෘෂ්ණාවේ ගැලී ඉන් මිදිය නොහැකි ව, එය ගින්නක් ව සියොලඟ ම දවා ලද්දී ඉන් මිදීමට පැන් සොයති. මිහිතලයේ අයිතිය වෙනුවෙන් පටන් ගන්නා සටනේ කෙළවර වන ව්‍යසනය සුගතපාල ද සිල්වා සිය පන්හිඳට ගොනු කළ බැව් විනිවිඳින සිතට සිහිපත් වේ. කලාකරුවා සැම විට ම පෙර ගමන්කරුවකු නොවේද? ‘පවර නිරිඳෙක් වීය බඹදත්‘ ගද්‍ය ආඛ්‍යානය වියමින් සුගතපාල ද සිල්වා මේ සදාකාලික ගැටුම නිර්මාණයක් ව පාඨකයන්ට තිළිණ කළ බැව් අපට අමතක නැත. විසල් ගෙවල් දොරවල් යාන වාහන පතා ඔහුගේ පන්හිඳෙන් නිර්මාණ බිහි නොවුණු බැව් අපි දනිමු. බෙදා හදා ගැනීම නිසා තරහව මහපොළොව රස උරා ගෙන හංගාගත් බව ලියන සුගතපාලයන්ගේ ‘පවර නිරිඳෙක් වීය බඹදත්‘ කියැවූ මට මේ මහා පොළොවේ වූ අනේකවිධ බෙදීම් අපට අහිමි කළ දෑ කොතරම් ද යන්න ගැන විස්සෝප සිතිණි.