
වෙනත් කෙනකු වෙනුවෙන් තම රුධිරය පරිත්‍යාග කරනවා යනු මනුෂ්‍යයකුට තවත් මනුෂ්‍යයකු වෙනුවෙන් මේ මිහිපිටදී කළ හැකි උතුම්ම පින්කමකි. කාලාන්තරයක් තිස්සේ එවන් උතුම් පරිත්‍යාගශිලී පින්කමක් කරමින් මිනිස් ජීවිත සුවපත් කිරීමට ලේ බිඳක් දන් දීමට කැප වූ චරිතයක් හැටියට සංජීව රුවන් හැඳින්විය හැකිය.
ලේක් හවුස් ආයතනයේ ගිණුම් අංශයේ සේවය කරන සංජීව දාහත් වසරක කාලයක් අඛණ්ඩව රුධිරය දන් දෙමින් තමාගේ වයස අවුරුදු 36ක කාලය තුළදී 60 වතාවක් රුධිරය පරිත්‍යාග කර තිබේ. එවන් කෙටි වයස් කාල සීමාවකදී එපමණ වාර ගණනක් ලේ දන් දීමෙන් වාර්තාගත පුද්ගලයකු වී ඇති සංජීවගේ සේවය අගයමින් පසුගිය ජූනි 14 වැනිදාට යෙදුණු ලෝක රුධිර පාරවිලන දිනය නිමිතිකොට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැති “අද සේම නිරතුරුව ලේ බිදක් දන් දෙන්න” තේමාව යටතේ මෙරට රාජ්‍ය උත්සවයේදී සම්මාන සහතික සහිත ඇගැයීමට පාත්‍ර විය.
සම්මාන සහතික සුරැතිව ලේක්හවුස් ආයතනයට පිවිසුණු සංජීව, සහෝදර සේවක මහත්ම මහත්මීන් විසින් හරසරින් පිළිගත්තේ ඔහුගේ උතුම් සමාජ මෙහෙවර අගය කරමිනි.
“ඇත්තටම මාව ඇගැයීම ගැන මට සතුටක් තියෙනවා තමයි. ඒත් තරුණයෙක් වශයෙන් මගෙන් සමාජයට විය යුතු යුතුකමක් මම කළේ. එහෙම නැතිව කිසිදු ලාභ ප්‍රයෝජන, වරප්‍රසාද මං මෙයින් බලාපොරොත්තු වෙන්නෙ නෑ.” සංජීව සිය උතුම් කර්තව්‍යය ගැන නිහතමානීව පවසයි.
මීගමුව, කටුනායක වෙසෙන සංජීව මුලින්ම ලේ දන් දී ඇත්තේ 2000 වසරේදී මීගමුව ශාන්ත මරියා විදුහලේ උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබද්දීය.
“එදා වෙසක් පෝයට සමගාමීව මීගමුව බෞද්ධ මන්දිරයේ ලේ දන්දීමක් තිබුණා. මම පාසල් නිල ඇඳුමෙන්මයි ලේ දන් දෙන්න ගියේ. එතකොට මට ඒ ගැන කිසිදු අත්දැකීමක්, දැනීමක් තිබුණේ නෑ. මං ඉස්සර රෝග නිරීක්ෂණයට රුධිරය ගන්න ගියාම හොඳටම අඬනවා බයට. හැබැයි මගේ අම්මත් විශ්‍රාමික හෙදියක්. (ඇය ලේක්හවුස් ආයතනයේ හෙද නිලධාරිනිය වශයෙන් සේවයෙහි නිරත වූවාය.) ඇය හෙදියක් වුණාට මං හරිම බයයි ලේ ගන්නවට. කොටින්ම කිව්වොත් ලේ දකිනකොටත් බයයි. එහෙම බය මං තමයි එදා මුලින්ම ලේ දුන්නෙ.”එදා එලෙස රුධිරය දන් දීමට ඉදිරිපත් වූ සංජීව මේ වන විට සිවු වරක් රුධිර පට්ටිකා ද දන් දී තිබේ.
“ඉතින් මම පාසලට ගියාම විදුහල්පතිතුමා කතා කරලා අහනවා, ‘ආ සංජීව ලොකු වීරකමක් කරලා තියෙනවානේ....’ කියලා. මට ඉතින් අදහාගන්න බෑ මොකක්ද මේ විදුහල්පතිතුමා අහන්නෙ කියලා. මං සාමාන්‍යෙයන් පාසල් යන කාලේ පාසලේ විතරක් නෙවේ මීගමුව පළාත් කලාපයේම ටිකක් ජනප්‍රියයි කථික තරගවලට, දැනුම මිනුම තරගවලට ආදියට. ඉතින් ඒ හින්දා එවැනි දේකින් කරපු ජයග්‍රහණයක් ගැනද මේ විදුහල්පතිතුමා අහන්නෙ කියලා මං කල්පනා කළා. පස්සෙ තමයි තේරුම් ගියේ මේ කියන්නෙ මං ලේ දීපු එකේ පත්තරේ තිබුන පින්තූරය ගැන කියලා.“
එසේම එදා පළමු වතාවට ලේ බිඳක් දන් දී ගෙදර ගිය විට තම පියාණන් පැවසූ වදන් පෙළ තමාට අදටත් ලේ දන් දෙන සෑම මොහොතකම සිහියට නැඟෙන බව පවසන සංජීව,“තාත්තා මං කරන හුඟාක් වැඩවලට බණින කෙනෙක්. ඒත් එදා මං පළමු වතාවට ලේ දීලා ගෙදර ගියාම තාත්තා මට කියනවා, ‘මං පුතා හුඟාක් මිනිස්සුන්ට උදවු උපකාර කරලා තියෙනවා... ඒත් මට කරන්න බැරි වුණ එකම දේ අද උඹ කළා’ කියලා.” එම ප්‍රකාශය තමාට මෙතරම් වතාවක් ලේ දන් දීමට මහත් ශක්තියක් ධෛර්යක් වූ බව ඔහු පවසයි.
“මේ ලෝකයේ ඕනෑම කෙනෙකුට තියෙනවා වගකීමක්. ඉතින් මං හිතුවා මමත් ඒ ජාතික වගකීමට මොන විදිහකින් හරි උර දිය යුතුයි කියලා. ”
මින් නොනැවතී ඉදිරියටත් තමාගේ ‘බී’ පොසිටිව් ලේ බිඳක් දන් දීමෙන් සමාජිය වගකීම නොපිරිහෙළා ඉටුකිරීමට ඔහු සැදී පැහැදී සිටී.
“ලෙඩක් දුකක් නැතිව හිටියොත් සාමාන්‍යෙයන් ඕනෑම අයෙකුට අවුරුදු 60 වෙනකල්ම රුධිරය පරිත්‍යාග කරන්න පුළුවන්නේ. මං අවුරුදු 60 වෙනකල්ම ලේ දෙන්න හිතාගෙන ඉන්නේ. ඒ නිසා මං කියන්නෙ මගේ ලේ ගන්න සූදානම් හැම මොහොතකම මාත් දෙන්න සූදානම්. ඒකට කාලයක් වේලාවක් තැනක් නොතැනක් මගේ නැහැ. මං මේ කරන කියන දේවල එකම පැතුම අනේක දුක් විඳින රෝගීන් ඉක්මනින් සුවපත් වෙනවා දකින එකයි.”
අමිල මලවිසූරිය