
“ජාතික අභිලාෂය (NATIONAL INTEREST) යනු යම් රාජ්‍යයක පැවැත්ම මෙන්ම වෙනත් රටවලින් සිදු විය හැකි ආක්‍රමණශීලි බලපෑම්වලින් රටක භෞතික දේශපාලනික හා සංස්කෘතික අනන්‍යතාව ආරක්ෂා කරගැනීමයි,’’ යනුවෙන් අන්තර්ජාතික සබඳතා අධ්‍යයන ක්ෂේත්‍රයේ ප්‍රකට විද්වතකු වූ හාන්ස් මොගන්තාවු වරෙක ප්‍රකාශ කර තිබේ. වර්තමාන ලෝකය දෙස බලන කළ මේ කියමන වඩාත්ම වැදගත් වන්නේ බලවත් රටවල් තම ජාතික අභිලාෂයන් වෙනුවෙන් අනෙකුත් රටවල් අබිබවා යෑම හා විවිධ අර්බුද නිර්මාණය කිරීම මඟින් අන්තර්ජාතික අර්බුද රැසක් නිර්මාණය වී තිබිම හේතුවෙනි. බ්‍රිතාන්‍ය මහමැතිවරණය මුවවිට සිදු වූ ලන්ඩන් ත්‍රස්තවාදි ප්‍රහාරය හා උතුරු කොරියානු මිසයිල තර්ජන ගැන අවධානය යොමු කර සිටි ජගත් ප්‍රජාව එකවර කැලඹීමට පත්කරමින් හදිසියේ ඉස්මතු වූ කටාර් රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය සලකා බැලීමේදී අපට පෙනී යන්නේ සත්‍ය අර්බුදයකට වඩා විවිධ රටවල ජාතික අභිලාෂයන් මේ ප්‍රශ්නය තුළ ගැබ්ව ඇති බව විද්‍යමාන වන බැවිනි.
අර්බුදයේ ස්වභාවය
2017 ජූනි මස 5 වැනිදා එනම් පසුගිය සඳුදා සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේන්, ඊජිප්තුව, යේමනය, ලිබියාව, මොරිටේනියාව හා මාලදිවයින විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කටාර් රාජ්‍යය සමග සියලු සබඳතා අත්හරින බවයි. ඊට හේතු වශයෙන් දක්වා තිබුනේ කටාර් රාජ්‍යය-
• ත්‍රස්තවාදයට අනුග්‍රහ දැක්වීම හා අයිඑස්, අල්ඛයිඩා හා ඊජිප්තුවේ මුස්ලිම් සහෝදරත්වය (මෙය අන්තර්ජාතිකව සලකන්නේ රැඩිකල් දේශපාලනික සංවිධානයක් මිස ත්‍රස්තවාදි සංවිධානයක් ලෙස නොවේ) ඇතුළු කණ්ඩායම්වලට මුල්‍ය ආධාර දීම
• අරාබි ජාතීන්ගේ ආරක්ෂාවට තර්ජන එල්ල වන ලෙස ක්‍රියා කිරීම
• රටවල අභ්‍යන්තර ප්‍රශ්නවලට අතපෙවීම
• අරාබි ජාතීන්ගේ සෛවරීභාවයට හා එක්සත්භාවයට ආක්‍රමණශීලි තර්ජන එල්ල කිරීම
• ජනසමාජය බෙදා වෙන් කිරිම හා කලබලකාරි තත්ත්වයන් නිර්මාණය කිරිම
• ජනමාධ්‍ය යොදාගනිමින් අන්තවාදය ප්‍රචලිත කිරීම
- සිදු කරන බවයි.
කටාර් දේශය යනු මැදපෙරදිග කලාපයේ සුවිශේෂ ලක්ෂණ සහිත රටකි. එහි වඩාත්ම වැදගත් විශේෂත්වය නම් කටාර් ජාතිකයන් ඉතා සුළුතරයක් වීම හා විදේශික සේවකයන් එරට ජනගහනයෙන් අතිමහත් බහුතරය නියෝජනය කිරීමයි. එරට ජනගහනය 2017 මුල්භාගයේ නිකුත් වූ සංඛ්‍යාලේඛනවලට අනුව විසිහය ලක්ෂයකි. ඉන් කටාර් ජාතිකයන්ගේ සංඛ්‍යාව තුන් ලක්ෂයට මඳක් වැඩි වන අතර, විදේශිකයන්ගේ සංඛ්‍යාව විසිතුන් ලක්ෂයකි. එය එක්සත් අරාබි එමීර් හැරුණු කොට ලොව දෙවැනි වැඩිම විදෙස් සේවක ගහනයක් වෙසෙන රාජයයයි. ශ්‍රී ලාංකිකයෝ 145000ක් පමණ කටාර්හි සේවය කරති.
එමෙන්ම ලෝක බැංකු හා අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ ශ්‍රේණිගත කිරීම් අනුව ලොව වැඩිම ඒකපුද්ගල ආදායමක් - එනම්: අමෙරිකානු ඩොලර් 127000ක් - සහිත රට කටාරයයි. ඒ නිසා එය ලොව ධනවත්ම රාජ්‍යය ලෙස සලකනු ලැබේ. එරට ප්‍රධාන ආදායම තෙල් සහ ගෑස් කර්මාන්තයයි. විශේෂයෙන් ලොව ස්වාභාවික ගෑස් නිධිවලින් 13%කට හිමිකම් කියන්නේ කටාරයයි. ඒ නිසා ලෝක තෙල් වෙළෙඳාමේ ප්‍රමුඛයකු නොවුවද ලොව දෙවැනි ප්‍රධාන ස්වාභාවික ගෑස් සැපයුම්කරුගේ තත්ත්වය අත් කරගැනීමට කටාර් දේශය සමත්ව තිබේ. 2022 ලෝක පාපන්දු ශූරතා තරගාවලියේ සත්කාරක රට වන්නේ කටාර් දේශය වන අතර, එවැනි සුවිශේෂ තත්ත්වයක් හිමි කරගත් ප්‍රථම අරාබි රටද එයයි. වත්මන් අර්බුදය දෙස බැලිය යුත්තේ කටාර්හි ඉහත සදහන් ප්‍රතිරූපයද සසඳා බලමිනි.
නඟා ඇති චෝදනා හා සැගවුණු හේතුකාරක වඩාත් විශ්ලේෂනාත්මකව බැලීමේ අවශ්‍යතාව මෙහිදී පවතී. ප්‍රධානතම චෝදනාව වන ත්‍රස්තවාදයට ආධාර දීමේ සාධකය ගත් කල අපට සිහිපත් වන්නේ පවුකාරයාට ගල්ගැසීමේ සිද්ධියේදී ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කළ ප්‍රකාශයයි: "කිසි දා පවක් නොකළ අයකු පළමු ගල ගසන්න." කටාරය මැදපෙරදිග ඉස්ලාමිය සටන්කාමි සංවිධාන රැසකට ආධාර දෙන බව සැබෑවකි. එසේම සවුදි අරාබියද වහාබ්වාදි ඉස්ලාමීය සටන්කාමි සංවිධාන රැසක ප්‍රධාන අනුග්‍රාහකයා බව ප්‍රසිද්ධ රහසකි.
ඇතැම් අවස්ථාවල සිරියාවේ සුන්නි සටන්කාමීන් වෙත දුන් සවුදි ආධාර කෙළවර වුයේ අයිඑස්අයිඑස් කල්ලියේ වත්කම්වලින්යැයි බටහිර මාධ්‍ය චෝදනා කරයි. අනෙකුත් අරාබි රටවල්ද අඩු-වැඩි වශයෙන් සටන්කාමි කල්ලි හා සබඳතා පවත්වයි.
කටාරය හා සවුදි අරාබිය උරෙනුර ගැටෙමින් සිරියාවේ කැරලිකරුවන්ට හා යේමනයේ හවුති කැරලිකරුවන්ට එරෙහි හමුදා සන්ධානයට පූර්ණ බරක් දෙමින් ක්‍රියා කළේය. එවැනි සියලු ක්‍රියාකාරකම්වලින් සිදු වූයේ අරාබි කලාපයේ අවි ගැටුම් ඉහළ යෑමයි. එසේ නම් කලාපය අස්ථාවර කිරීමේ ත්‍රස්තවාදි අනුග්‍රහ චෝදනාවලට තනි වරදකරු කටාරය පමණක්මද යන්න ගැන ප්‍රශ්නයක් මතු වේ. මෙහි සෑබෑ ගැටලුව නම් කටාරය සුන්නි සටන්කාමීන්ට අමතරව ෂියා සටන්කාමීන්ටද ආධාර කිරීමයි. උදාහරණයක් ලෙස පලස්තීනයේ හමාස් සටන්කාමි සංවිධානය කටාරයේ අනුග්‍රහ ලබන්නකි. එහි ප්‍රධානියා වන කාලීඩ් මේසාල් කටාරයේ රැකවරණ ලැබීය.
එහෙත් වත්මන් අර්බුදය හටගත් පසු කටාර් නායකත්වයේ ඉල්ලීම මත ඔහු ප්‍රමුඛ හමාස් ප්‍රබලයන් දෝහා නගරයෙන් ඉවත්ව ගිය බව පලස්තීන ආරංචිමාර්ග සදහන් කරයි. කටාරය ලෙබනනයේ ප්‍රබල ෂියා මුස්ලිම් සටන්කාමි සංවිධානය වන හිස්බුල්ලා සමඟද ඇයි-හොඳයි කියන බවට චෝදනා එල්ල විය. ඒ සියල්ලට වඩා කටාරය සවුදි හා සෙසු අරාබි රටවල අභිලාෂයන් ඉක්මවා ෂියා මුස්ලිම් බලවතා වන ඉරානය සමඟ සමීප සබඳතා පවත්වයි.
පර්සියන් ගල්ෆ් ප්‍රදේශයේ පිහිටි අතිවිශාල ගෑස් නිධිය උතුරු කොටස කටාරයත් දකුණු කොටස ඉරානයත් වශයෙන් බෙදා ගෙන තිබේ. අරාබි ධනවතකු වන කටාරය සමඟ සබඳතා තර කිරීමට ඉරානය දක්වන්නේද දැඩි කැමැත්තකි.
ප්‍රශ්නයට තුඩුදුන් මූලික සංසිද්ධියක් වී ඇත්තේද කටාර් රාජ්‍යයේ පාලක එමීර් ෂෙයික් තමිම් බින් හමාද් අල් තානි ඉරානයට පක්ෂව සිදු කළායැයි කියනු ලබන ප්‍රකාශයකි. එහෙත් එමීර්වරයා එවැනි ප්‍රකාශයක් නොකළ බවත් එය පරිගණක හැකර්වරුන් විසින් කටාර් ප්‍රවෘත්ති ඒජන්සි වෙබ් අඩවියට ඇතුළු කරන ලද බවත් කටාර් රජය පවසයි. බටහිර මාධ්‍ය මෙය රුසියානු හැකර් ප්‍රහාරයක් ලෙස සලකන අතර, කටාර් පාර්ශ්වයේ චෝදනාව තමන්ට එරෙහි අසල්වැසි රටක් මෙය සිදු කරන්නට ඇති බවයි. සැබැවින්ම රුසියාව කටාර් රාජ්‍යය අස්ථාවර කරන්නට මේ අවස්ථාවේ එළැඹේද යන්න ගැන ප්‍රශ්නයක් පවතී. ලෝක ගෑස් වෙළෙඳපොළේ රුසියාව හා කටාරය ප්‍රබල තරගකරුවෝය. සිරියානු යුද්ධයේදී රුසියාව ජනාධිපති අසාද්ට සහාය දක්වන අතර කටාරය ආධාර කරන්නේ අසාද් රජයට එරෙහි කැරලිකරුවන්ටයි.
එහෙත් මේ වන විට දෙපාර්ශ්වය අතර නව ආර්ථික සහයෝගිතාවක් ඉස්මතු වෙමින් පවතී. පසුගිය වසරේ රුසියාව අයවැය පරතරය පියවීමට දැඩි ප්‍රයත්නයක යෙදී සිටින මොහොතක කටාර් රාජ්‍යය යූරෝ කෝටි 250ක ආයෝජනයක් රුසියානු තෙල් සමාගම ආශ්‍රිතව සිදු කළේය. මෙය ජනාධිපති පුටින්ට මුදල් අවශ්‍යම මොහොතක කටාරයෙන් ලැබුණු සහායක් වන අතර, පුටින් මැදපෙරදිග සමඟ සබඳතා අලුත් කරගැනීමේ වෑයමක යෙදී සිටින අවස්ථාවක අත් වූ වාසිදායක තත්ත්වයකි.
මෙහිදී පෙනී යන වැදගත් සාධකයක් වන්නේ කටාර් දේශය විවිධ ප්‍රතිවාදි පාර්ශ්වයන් සමඟ සබඳතා පැවැත්වීමත්, එම ප්‍රතිපත්තිය ආපසු කැරකී අහිතකර ප්‍රතිඵල ගෙන දෙන තත්ත්වයකට එරට ඇද දැමීමත් යන සංසිද්ධියයි. මෙය කලාපිය සාධක තුලනයට දැරූ උත්සාහයන් වැරදී යෑමක් ලෙසද පෙන්වා දිය හැකිය.
කටාර් රාජ්‍යයයයට ඇති තවත් ප්‍රශ්නයක් වන්නේ තහනම ක්‍රියාත්මක කර ඇති අරාබි රටවල් සමග විවිධ අර්බුද පැවතීමයි. උදාහරණයක් ලෙස කටාරය විකල්ප බලවතකු ලෙස ඉස්මතු වීම හා ප්‍රතිවාදීන් හා සබඳතා පැවැත්වීම සවුදි අරාබිය කෝප ගැන්වීමට හේතුවකි. කටාර් හා බහරේන් අතර 19 වැනි සියවසේ සිට පැවත එන දේශසීමා ප්‍රශ්නයකි. කටාර් බටහිර වෙරළතීරයට කිලෝමීටර 2ක් දුරින් පිහිටි හවාර් දුපත්වලට බහරේනය හා කටාරය දිගින් දිගටම උරුමකම් කීම 1978, 1982 හා 1986 යන වසරවල අවි ගැටුම් දක්වා වර්ධනය වු අර්බුදයකි.
එම මතබේද අළු යට ගිනි මෙන් තවමත් පවතින බව පෙනේ. කටාර් හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පවතින්නේ පාලන වෙනසක් (REGIME CHANGE) පිළිබද ප්‍රශ්නයකි. 1995දී වත්මන් කටාර් එමීර්වරයා සිය පියා බලයෙන් පහ කර කටාර්හි පාලනය සියතට ගත්තේය. බලය අහිමි වූ පියා වූ හමාඩ් බින් කලීෆා අල් තානි එක්සත් අරාබි එමීර්හි සාමාජික රටක් වන අබුඩාබියට පලා ගියේය. 2014 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය සවුදි අරාබියේද සහාය ඇතිව හමිඩ් බින් කලිෆා අල් තානි යළි බලයට ගෙන ඒමේ ප්‍රයත්නයක් දියත් කළ බවට කටාර් රජය චෝදනා කරයි. වත්මන් රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයේ මූලික අපේක්ෂාව ත්‍රස්තවාදය හෝ ආගමික භේද පමණක් නොව, වත්මන් කටාර් පාලනය වෙනස් කිරීම බවට අල් ජසීරා ප්‍රමුඛ ඇතැම් අරාබි මාධ්‍ය පෙන්වා දෙයි.
අමෙරිකානු සාධකය
අමෙරිකාව සිය ජාතික අභිලාෂයන් මුදුන් පමුණුවාගැනීමටත්, සිය බලය මැදපෙරදිග ස්ථාවරව පවත්වාගැනීමටත් එම කලාපීය දේශපාලනික, ආරක්ෂක හා ආර්ථික වශයෙන් තමන්ට අභිමත පරිදි හසුරුවන බව අන්තර්ජාතික අධ්‍යයන ක්ෂේත්‍රයේ දිගුකාලීනව සංවාදයට ලක්ව ඇති කරුණකි. එය බෙදා වෙන් කර පාලනය කිරීමේ පිළිවෙත අනුගමනය කිරීමක් ලෙස 'ග්ලෝබල් රිසර්ච්' නමැති විකල්ප මතධාරි වෙබ් අඩවිය පෙන්වා දෙයි.
වත්මන් ප්‍රශ්නය හටගත්තේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සවුදි අරාබිය ඇතුළු මැදපෙරදිග සිදු කළ චාරිකාවෙන් පසුවයි. වත්මන් අර්බුදය තම චාරිකාවේ ප්‍රතිඵලයක් ලෙස පෙන්වා දීමට ට්‍රම්ප් තම ට්විටර් ගිණුම මඟින් උත්සුක වු නමුත්, පසුව ඒ ස්ථාවරය මඳක් වෙනස් කරමින් කියා සිටියේ අරාබි එකමුතුව සඳහා මැදිහත් වීමට තමා සූදානම් බවයි. කටාරය අමෙරිකාවේ සමීප හිතවතෙකි. මැදපෙරදිග විශාලතම අමෙරිකානු හමුදා කඳවුරට පහසුකම් සපයන්නේ කටාරයයි.
සිරියාවේ හා ඉරාකයේ අමෙරිකානු ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මක වන්නේද කටාරයේ සිටයි. සවුදි අරාබියේදී කටාර් එමීර්වරයා හමු වූ අවස්ථාවේ ට්‍රම්ප් කියා සිටියේ කටාරය තම මිතුරකු බවයි.
එහෙත් සවුදි අරාබි සන්ධානය කටාරයට එරෙහි වූ විට ට්‍රම්ප් ඊට සහාය දැක්වීම පසුව අමෙරිකාවටම ප්‍රශ්නයක් වූ අතර අමෙරිකානු බලධාරීන් එම ප්‍රකාශය ආපසු ඇදගැනීමට උත්සාහ ගැනීම ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් සිදු වූ හානිය අවම කරගැනීමට දරන උත්සාහයකි.
ප්‍රසාද් කෞශල්‍ය
දොඩන්ගොඩගේ