සයිටමයේ නුදුටු පැතිකඩක් | Page 8 | සිළුමිණ

සයිටමයේ නුදුටු පැතිකඩක්

 සයිටමය ලංකාවේ පළමුවන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නොවේ. රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය කැලණිය විශ්වවිද්‍යාලයට පවරා ගන්නා තෙක් වෛද්‍යවරු යම් සංඛ්‍යාවක් එයින් පිටවූහ. ඊනියා අඩු සුදුසුකම් වලින් එම වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වූ ඔවුහු දැන් කොහිද?

සයිටමයට විරුද්ධව හඬ නඟන අප සැම දෙනෙක් සොය සොයා යන විශේෂඥ වෛද්‍යවරු සමහරෙක් එසේ පිටවූ එම්.බී.බී.එස්. (එන්.සී.එම්.සී.) උපාධිලාභීහු වෙති. තවත් සමහරක් දෙනා රජයේ වෛද්‍ය පීඨයන්හි මහාචාර්ය සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු වෙති. තවත් අය රටට විදේශ විනිමය ලබාදෙමින් විදේශයන්හි විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු, මහාචාර්යවරු, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු සහ පර්යේෂකයෝ වෙති.

ඉතින් අප තවදුරටත් මැදපෙරදිග ගෘහ සේවිකාවන් මත යැපෙන රටක් වෙමු ද? නැතිනම් පුහුණු බුද්ධිමත් ශ්‍රම බලකායක් පිළිබඳ බලාපොරොත්තු තබමු ද? දකුණු කොරියාව, සිංගප්පූරුව, තායිවානය වැනි ස්වාභාවික සම්පත් හිඟ රටවල් තම එකම සම්පත වන ජනතාවගෙන් නිසි ප්‍රයෝජන ගනිමින්, එනම් ප්‍රජා විද්‍යාත්මක පාරිතෝෂිකයෙහි නියම ඵල ලබමින් දියුණු රටවල් බවට පත්වූහ.

පාරිතෝෂිකයක් ලැබීමට ඔබ අකමැති ද? නැතැයි සිතමි. ඉතා උසස් සාක්ෂරතාවක් ඇති ශ්‍රී ලංක‍ාවෙන් අපනයනය කළ හැකි උසස්ම ප්‍රමිතියකින් යුත් භාණ්ඩය දැනුමයි. දැනුම සපිරි ජනතාවයි.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයන්හි දොරවල් විදේශිකයන්ටද විවර කිරීමෙන් විදේශ විනිමය උපයා ගත හැකිය.

ඒවායින් පිටවන ශ්‍රී ලාංකිකයන්ට මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ තනතුරු ලබා‍ නොදීම මඟින් ඔවුන් විදේශයන්හි රැකියා සඳහා වක්‍ර ආකාරයෙන් දිරිමත් කළ හැක. එමඟින් දිගු කාලීනව විදේශ විනිමය උපයා ගත හැකිය.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයන් මෙරටෙහි ස්ථාපිත කිරීමෙන් දැනට විදේශ වෛද්‍ය අධ්‍යාපනය සඳහා පිටත්වන පවුල්වල අප රටේ මුදල් මෙරටෙහිම ඉතිරි කර ගත හැක. එයින් සමහර ආයතන කිසිම ප්‍රමිතියකින් තොර බව අද රටේ සැවොම දන්නා රහසකි.

අහිතකර බලපෑම් සඳහා යෝජිත පිළියම්

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මඟින් ඇතිවිය හැකි අහිතකර බලපෑම් මොනවා ද? ඒවාට පිළියම් මොනවා ද? අපට පෞද්ගලික නිදහසට වැට බැඳිය නොහැක. රජයේ වෛද්‍ය විද්‍යාලයන්හි ආචාර්යවරුන්ට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයන්ට යාම තහනම් කිරීම කළ නොහැක. එහෙත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමට අවසර දීමේ කොන්දේසි හරහා යම් පිළියම් යෙදිය හැකිය.

1. ඒවායේ ආචාර්ය මණ්ඩලයේ ශ්‍රී ලාංකික ප්‍රතිශතය සීමා කළ යුතුය. එමඟින් විදේශිකයන් ගෙන්වා ගැනීම සහ විදේශගත ශ්‍රී ලාංකික බුද්ධි ගලනය ආපස්සට හැරවීම කළ හැක. එයින් නවතම ඉගැන්වීමේ ක්‍රමවේද සහ තාක්ෂණය ද අපට ලැබේ. එහෙත් රජයේ වෛද්‍ය විද්‍යාලයන්හි ආචාර්යවරුන්ට සහනයක් ලෙස ඔවුන්ගේ සත් වාර්ෂික දිගුකාලීන නිවාඩුව ඒ‍වායේ ගතකිරීමට අවසර දිය හැකිය. ආගන්තුක දේශකයන් ලෙස රජයේ වෛද්‍ය විද්‍යාලයන්හි දේශකවරුන් ගෙන්වාගැනීමේදී වසරකට උපරිම පැය ගණනක් ලෙස සීමා පැනවිය යුතුය.

2. අනවශ්‍ය සහ අධික වේතන සහ දීමනා ගෙවීම වැළැක්වීමට උපරිම සීමාවන් පැනවිය යුතුය. එමඟින් රජයේ වෛද්‍ය විද්‍යාලයන්හි ආචාර්යවරුන් ඒවායින් අස්ව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයන්ට බැඳීම වැළැක්විය හැක. අඩු කළ හැකිය.

3. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයන්හි සිසුන් ගණනට අනුව යම් මුදලක් අයකර ගෙන එම මුදල රජයේ විමධ්‍යගත අරමුදලට නොව රජයේ විශ්වවිද්‍යාල සඳහා බැර කිරීමට කටයුතු යෙදිය යුතුය. සමාජ සත්කාරක වගකීමක් ලෙස විදේශ ආචාර්යවරුන් වසරකට යම් පැය ගණනක් රජයේ වෛද්‍ය විද්‍යාලයන්හි දේශන කළ යුතු බවට මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයන්ට කොන්දේසි පැනවිය යුතුය.

ගුණාත්මක භාවය ඉහළ නැංවීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද කියන පරිදි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් පිටවන්නන්ට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ රැකියා පිළිගැන්වීම නොකළ යුතුය. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරුන් සඳහා පුරප්පාඩු නොමැති බවට ප්‍රචාරය වූයේ 2010 පමණ සිටය. එනිසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද කියන පරිදි වෛද්‍යවරුන්ගේ ගුණාත්මක භාවය වැඩි කිරීමට සහ අඩු සුදුසුකමින් යුතු වෛද්‍යවරුන් නිසා රෝගීන් මිය යාම වැළැක්වීමට තවත් යෝජනාවක් කරමි.

දැනට පවතින ක්‍රමවේදය අනුව සීමාවාසික වෛද්‍ය පුහුණුව ලබාදී‍ෙමන් පසු සැමටම පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබා දීම වහාම නතර කළ යුතුය. සේවා යෝජකයා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය යම් ඇගැයීමක් සිදුකර උසස් දැනුම සහ කුසලතා සහිත කොටසක් පමණක් බඳවාගත යුතුය.

දැනට පෞද්ගලික රෝහල් සේවය ර‍ටේ සෑම තැනකම පැතිර ඇති බැවින් සහ කැමැති අයට පෞද්ගලිකව වෛද්‍ය වෘත්තියේ යෙදීම දිරිමත් කළ හැකි බැවින් ද විදේශගත වන අයට එසේ කළ හැකි බැවින් ද මෙය දිගු කාලීන පිළියමකි.

ළහිරු ප්‍රනාන්දු

Comments