ඔබ ශෝකයෙන් ද.... | සිළුමිණ

ඔබ ශෝකයෙන් ද....

ගොම්මන් අඳුර මතට හිරුගේ අවසන් කිරණ වැටී අමුතු ම ප්‍රභාවක් පරිසරය පුරා පතුරුවා තිබේ. ඒ කිරණ වලාකුළුවල අන්තිම කොන පමණක් දීප්තිමත් කර සැදෑ අහසේ රන් නූලෙන් වැඩ දැමූ සුදු සේලයක අසිරිය නිර්මාණය කර තිබේ. දෙව්ලොවට යන පාර සදිසි ඒ වලාකුළු කැල අතරින් එක්වර මතු වූයේ අහස්යානයකි. අහස්යානයේ ශබ්දයෙන් මුළු පරිසරය ම එක්වරම ගල්ගැසුණි. කැදලි කරා පියඹමින් සිටි සුදෝසුදු කොක් රෑනක් එකී ශබ්දයෙන් කලබල වූයේ දසත පියඹා යන්නට වූහ. සාමකාමී ගොම්මන අහස්යානය විසින් පැහැර ගත්තේ ය.

වලාකුළු තුඩු අග අවසන් හිරු කිරණ වැටී දිලිසෙමින් තිබූ කොන් අතරින් අහස්යානය වේගයෙන් ඇදී ආවේය. වලාකුළු මතට වැටී තිබුණු මළ හිරුගේ අවසන් කිරණ අහස්යානයේ ලෝහය මතට වැටී දිස්නය දුන්නේ ය.

මිනිසා ආස්වාදජනක දේ ලුහුබැඳ යන්නේ කුමක් නිසා ද? අසා නැත්ද ඔබ එය ඔබගෙන් ම... ආස්වාදය යනු කුමක්ද? එය වේදනාවේ විරුද්ධාන්තය ද? අපි සියල්ලෝ ම කායික හා මානසික වශයෙන් විවිධාකාර වේදනා විඳ ඇත්තෙමු. අපි බොහෝ දෙන කුඩා කල සිට ම මානසික වශයෙන් තුවාල වී රිදුම් දෙන හැඟීම් විඳ ඇත්තෙමු. එහි ප්‍රතිඵල වශයෙන් තවදුරටත් රිදුම් නොලබනු වස් අපි, අප ඇතුළට ම රිංගා ගෙන තනිවී සිටින්නෙමු.

පාසල් වියේදී තමාට වඩා දක්ෂ කිසිවකු සමඟ තමන් සසඳා ගනිමින් අප ම අපට රිදවා ගෙන තිබේ. වෙනත් අය ද විවිධාකාර ඇනුම්බැනුම්වලින්, කුරිරු වදන්වලින් කුරිරු සැලකීම් මඟින් අප ව බියපත් කර අපට රිදවා තිබේ. ඉතින් අප තනිවීම, විරෝධය පෑමේ ප්‍රවණතාව, වැඩි වශයෙන් තමන් ඇතුළට රිංගා ගැනීම ආදී අනේකවිධ ප්‍රතිඵල මේ රිදිල්ල ඇතුළේ තිබෙයි. කල්පනා කර බලන්න, මේවා පොදු කාරණා නොවේද කියා. ආස්වාදය එහි විරුද්ධාර්ථයයි. එනම් වේදනාව හා ආස්වාදය යන මේ දෙක විරුද්ධාන්ත ලෙස ගැනීමයි.

ආස්වාදය දෙස සමීප ව බැලුවොත් එය හැමවිට ම ස්මරණයක් වන බැව් පෙනෙනවා නොවේද? ඔබ හෝ මම ප්‍රීතියෙන් සිටින විට අප කෙතරම් ප්‍රීතියෙන් සිටින්නේදැයි කියන්නේ නැත. එය නිම වූ විට අප කෙතරම් ප්‍රීතියෙන් සිටියාදැයි කියයි. ඒ ප්‍රීතිය ඇතිකර ලූ දේ ගැන ඇතිකර ගන්නා ස්මරණයයි. ඉර බසින වෙලාවක මනරම් බව, අසාමාන්‍ය ආලෝකයෙන් හෙබි සන්ධ්‍යාවක උත්කර්ෂය, මහත් චමත්කාරය දැනවූ එබඳු මොහොතක් අපට නිරන්තරයෙන් ස්මරණය වෙයි. ඒ හා සමඟ ආස්වාදයක් ඇති වෙයි. ඒ නයින් බලන කල ආස්වාදය චින්තනයේ අංගයක් නොවන්නේ ද?

භීතිය, ආස්වාදය, ශෝකය වැනි මනෝභාව අප තේරුම් ගන්නේ අපේ ජීවිත පිළිවෙළ කර ගැනීම සඳහා ය. අපේ ජීවිතයේ පිළිවෙල රහිත බවට එක් හේතුවක් වන්නේ ශෝකයයි. ශෝකය සියලු මනුෂ්‍යයන්ට, සත්ත්වයන්ට පොදු කරුණකි. එයට ආසියාතික වීම, බටහිර වීම, ගැහැනු වීම, පිරිමි වීම ආදී කාරණා බලපාන්නේ නැත. එය පොදු තත්ත්වයකි. මේ පොදු දුකට අමතර ව සකල මනුෂ්‍ය වර්ගයා ම විඳින තවත් දුකක් තිබේ. ඒ යුද බියයි.

කොතරම් ඉතිහාසයක් පිරික්සා බැලුව ද ඒ හැම ඉතිහාස කතාවක ම අනුකතාව වී ඇත්තේ යුද්ධයයි. එය මුළු මිනිස් වගෙහි ම දුකයි. කෑමක් බීමක්, ඉන්නට හිටින්නට තැනක් නැති මිනිසුන් දෙස බලන විට දුකක් ඇති වේ. රැවටිලිකාරයන්ට හසුවන මිනිසුන් දකින විට තවත් විටෙක දුකක් ඇති වේ. දේශපාලනඥයන් කරන අමනෝඥ ක්‍රියා දකින විට දුකක් ඇති වේ. මේ ආදී වශයෙන් පොදු හා පෞද්ගලික වශයෙන් වූ දුක් වර්ගයන්හි අපි සැවොම වෙළී සිටින්නෙමු. ශෝකය යථාර්ථයේ පවතින දෙයක් වන්නේ එබැවිනි.

දුක් විඳින විට අපි සැනසීම සොයන්නෙමු. ඒ දුක නමැති යථාර්ථයෙන් පලා යෑමකි. සිත් තැවුල් ඇති වූ විට විනෝද වීමට සිතන්නෙමු. එහෙත් මේ සියල්ල ම තාවකාලික ය.

ඔබට හැකි නම් ශෝකය බාර නොගෙන ඒ සමඟ ජීවත් වීමට, එය නැරඹීමට, නිරීක්ෂණය කිරීමට... ශෝකය ඇති වන්නේ හුදෙකලාව නිසා ය. ඔබට කොතරම් නෑ පිරිවර, යහළු යෙහෙළියන් සිටියත්, භෞතික සම්පත් අයිති කර ගෙන සිටියත් ඇතුළතින් දැනෙන මේ හුදෙකලා බව නැති කර ගත නම් නොහැකිය. එය ශෝකයේ ම කොටසකි. ප්‍රතික්ෂේප නොකර එය නිරීක්ෂණය කළ හැකි නම්, ඒ හා ජීවත් වීමට හැකි නම් ඔබට ඒ හැඟීම අතික්‍රමණය කළ හැකිය.

දුක් විඳීම යන්න අවබෝධ කර ගත හැකි නම් එය විසල් ජයග්‍රහණයකි. ශෝකයෙන් නිදහස් වීම ඇත්තේ දයාව ඇතුළත ය. කිසියම්ම දෙයකට ඔබ බැඳී ඇත්නම් එහි දයාව නූපදියි. දයාව ඇති වන්නේ නුවණ සමඟිනි. අසීමිත ඉවසීම, දයාව, කරුණාව ඇති වන්නේ නම් ශෝකය අවසන් වනු ඇත. එවිටයි ඔබට මට නුවණ පහළ වන්නේ. ඒ නුවණ පමණි, ජීවිතය සුපහන් කරන්නේ.

Comments