‘ප්ලාස්ටික් හාල්’ ඇත්තද? | සිළුමිණ

‘ප්ලාස්ටික් හාල්’ ඇත්තද?

පසුගිය සතිය පුරා රට පුරා ජනතාව අතර භීතියට සහ මතභේදයන්ට තුඩුදුන් මාතෘකාවක් වූයේ පාකිස්තානයෙන් ආනයනය කරනු ලදැයි කියවුණු 'ප්ලාස්ටික් සහල්' වර්ගයක් සම්බන්ධ ප්‍රවෘත්තියයි. සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ මේ සම්බන්ධයෙන් ඉතා වේගයෙන් නොයෙක් මතවාද පැතිර යන්නට විය. මෙය ජාතිවාදය පැතිරවීමට නොයෙක් සංවිධානාත්මක කල්ලි විසින් සිදු කරන ලද්දක්යැයි ඇතැමුන්ගේ මතය විය. අන්තර්ජාතික වශයෙන් අහිතකර බලපෑම් ඇති කරන කාරණාවක් නිසා රටක් සහ රජයක් හැටියට මේ සදහා ඍජුවම මැදිහත් වන ලෙසත්, විද්‍යාත්මක කරුණු සොයා බලා වහාම විසඳුම් ලබා දෙන ලෙසත් නොයෙක් සමාජ සංවිධාන රජයට පවසන්නට විය.

මේ අනුව පාකිස්තානයෙන් ආනයනය කරනු ලබන 'බාස්මතී' නම් මෙම සහල් විශේෂය පාරිභෝජනයට සුදුසුද යන්න පිළිබඳ විමර්ශනය සඳහා එම සහල් සාම්පල් බොරැල්ල ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනය (එම්ආර්අයි) වෙත යොමු කිරීමට ලංකා සතොස තීරණය කළේය. මේ අතර අදාළ පරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් වෙළෙඳපොළේ ඉතිරිව ඇති සහල් මෙට්‍රික් ටොන් හතරක ප්‍රමාණය අලෙවිය නතර කිරීමටද තීරණය කළ බවත්, යම් ආකාරයකින් මේ අදාළ සහල් වර්ගය මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින්නේ නම් සිදු වූ පාඩුව අදාළ සමාගමෙන් අය කරගැනීමට කටයුතු කරන බවත් සතොස සභාපති ටීඑම්බී තෙන්නකෝන් මහතා අවධාරණය කර සිටියි.

පසුගිය මැයි මස 25 වැනිදා මෙට්‍රික් ටොන් විස්සක සහල් ප්‍රමාණයක් මෙරටට පාකිස්තානයෙන් ආනයනය කරන විට සහල් ආනයනය කරන නියමිත ක්‍රමවේදයන් අනුව කටයුතු කර ඇති අතර, සතොස ආයතනය විසින් ආහාර තාක්ෂණවේදීන් ලවා මේ සහල් සාම්පල් පරීක්ෂා කොට පාරිභෝජනයට සුදුසු මට්ටමේ ඇති හෙයින් වෙළෙඳපොළට නිකුත් කරන ලද බවද ඒ මහතා ප්‍රකාශ කරයි.

අදාළ සහල් වර්ගය ප්ලාස්ටික් මිශ්‍රිත සහල් ලෙස වැරදි මතයක් ඉතා ශීඝ්‍රයෙන් සමාජගත කිරීමට ඇතැම් සමාජ ජාලා වෙබ් අඩවි ඇතැම් මාධ්‍ය ආයතනද ප්‍රයත්නයක යෙදෙන බවත්, මේ පිළිබඳ නියම තත්ත්වය සොයා බැලීමෙන් අනතුරුව මෙම සහල් වර්ගය පරිභෝජනයට සුදුසු බව තහවුරු වුව හොත් සතොස ආයතනයේ කීර්තිනාමය කෙලෙසීම සම්බන්ධයෙන් මේ පිළිබදව වැරදි මත ප්‍රචාරය කළ සමාජ ජාලා වෙබ් අඩවි සහ මාධ්‍ය ආයතනවලට විරුද්ධව නීති පියවර ගන්නා බවත් සතොස සභාපතිවරයා අවධාරණය කරයි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා පරීක්ෂණ පැවැත්වීමට පාරිභෝගික සේවා අධිකාරිය විසින් අදාළ ආයතන වෙත යොමු කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි. කෙසේ වෙතත් සංවිධානාත්මක පිරිසක් විසින් සමාජ ජාලා වෙබ් අඩවි සහ ඇතැම් මාධ්‍ය ආයතන මගින් මේ පිළිබඳ වැරදි ප්‍රචාරයන් සිදු කෙරෙන බවද අධිකාරිය පවසයි.

මෙම සහල් වර්ගය පරිභෝජනයට ගැනීමෙන් මෙතෙක් කිසිවෙක් රෝහල්ගත කර ඇති බවට වාර්තාවක්ද ලැබී නැත. දේශීය සහල් නිෂ්පාදනයට සම්බන්ධ ඇතැම් පිරිස් විදේශ සහල් ආයනයනය කිරීම සම්බන්ධව ඇති විරෝධය නිසා මේ ප්ලාස්ටික් සහල් වෙළෙඳපො‍ළෙහි විකිණෙන බවට ප්‍රචාරයන් සිදු වන බව ඇතැම් වගකිව යුතු පාර්ශ්වයන්ගේ අදහසයි.

කෙසේ වෙතත් මේ වන විටත් ප්ලාස්ටික් සහල් පිළිබඳ භිතිකාව ජනතාව අතරින් පහව ගොස් නැති බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය පවසයි. පසුගිය මහකන්නයේ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ විසි හයක් මෙරට තිබියදි සහල් ආනයනය කරන්නේ කුමන හේතුවක් නිසා දැයි ජාතික ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධාක නාමල් කරුණාරත්න මහතා මෙහිදී ප්‍රශ්න කරයි. කෙසේ වෙතත් ඒ මහතා සඳහන් කරන ආකාරයට සහල් වර්ගයක් කල් තබාගැනීමට හැකි උපරිම කාලය මාස තුනකි. මාස තුනක් ඉක්ම ගිය පසු සහල් ඇටය දිරා යන නමුත් මේ සහල් උරයේ නිෂ්පාදන දිනය 2017 වර්ෂය ලෙසත්, 2019 කල් ඉකුත් වන වර්ෂය ලෙසත් දක්වා කර ඇති බව සඳහන් කරයි. ප්ලාස්ටික් හාල් නොවුණත් ස්වාභාවික සහලක් වුවත් අනිවාර්යෙන්ම කල් තබාගැනීම සදහා යම් කිසි රසායනික ද්‍රව්‍යයක් විෂ ද්‍රව්‍යයක් හෝ යොදා ඇති බව පැහැදිලි බව කරුණාරත්න මහතා පවසයි. පිසූ පසු දිනකට වඩා නරක් නොවී කල් තබාගැනීමට හැකියාවක් ඇති නිසා මෙහි යම් රසායනික ද්‍රව්‍යයන් අන්තර්ගත විය හැකි බවද ඒ මහතා සඳහන් කරයි.

තවද අනුරාධපුරය, පොලොන්නරුව ආදි වියළි කලාපීය ප්‍රදේශවල ජනතාවට නියං ආධාර වශයෙන් මේ සහල් ලබාදී ඇති බව බවත් ප්ලාස්ටික් සහල් භීතිකාව ජනතාව අතරින් තවමත් තුරන් වී නොමැති සඳහන් කරන මහතා ජනතාව මේ වන විටත් එම සහල් ප්‍රතික්ෂේප කරන බවද පවසන අතර, ලබන වසරේ පෙබරවාරි දක්වා මෙරට සහල් ප්‍රමාණයක් තිබියදී සහල් ආනයනය කිරීමට හේතුව රජයෙන් විමසන බවද කරුණාරත්න මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් පාරිභෝගිකයන් සුරැකීමේ සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කරන ආකාරයට "හාල් ගෙන්වීමේ අවශ්‍යතාවක් නැති බවත් ඇත්ත වශයෙන්ම පාන් පිටි ලංකාවේ ඉල්ලුම වැඩි කරගන්නත් මෙය කණ්ඩායමක් ලෙස සැලසුම්සහගතව ප්‍රචාරය කරනවා කියලා හිතන්න පුළුවන්. මේ සහල් ප්ලාස්ටික් නොවන්න පුළුවන් නමුත් මේ විශාල කාලයක් කල් තබාගැනීමට යම් විෂ සහිත රසායනික ද්‍රව්‍ය කලවම් කර ඇති බවට නම් කිසිදු සැකයක් නැහැ. ලංකාවේ හාල් හිඟයක් නැහැ. ඒත් මහ පරිමාණ ‍මෝල් හිමියන් විසින් මවා පාන ගැටලුවක් කියලයි අපි හිතන්නේ. ඒ අයට ඕන වෙළෙඳපොළේ බොරු තරගයක් මවා පාලා, වැඩි මිලට වී මිල දී ගැනීමටයි. විශාල මිලකට වී අරගෙන ගබඩා කර තබා ගන්න. ඉන් පසු ඔවුන් එම වී සහල් බවට පත් කොට වෙළෙඳපොළට නිකුත් කරන්නේ නැතුව වෙළෙඳපොළේ හාල් හිඟයක් ඇති කරන්නයි ඒ අය හදන්නේ. මේ සියලු දේ මවා පාන්නේ මේ විශාල පරිමාණයේ මෝල් හිමියන් විසින්. ලංකාවට හාල් ආනයනය කරන්නේ මිල පාලනය කිරීමටයි‍. සමාජ ජාලා වෙබ් අඩවිවල තියෙන විදිහට අපිට සියයට සියයක් පිළිගන්න බැහැ. ඒත් විෂ සහිත යමක් කලවම් කර ඇති බව ඉතා පැහැදිලියි. වාර්තාව එන තුරු කිසි දෙයක් අපිට කියන්න බැහැ‍. කොහොම වුණත් අපි ඉන්නේ පාරිභෝගිකයා සුරකින්නයි. ඒ නිසා මේ හාල් සම්බන්ධයෙන් අපිත් දැනුවත් අයගෙන් සහ ගොවි මහත්වරුන්ගෙන් විමසීම් කළා. මේ වන විට මිනිසුන්ගේ හිත්වලට ඇතුළට ගිහින් තියෙන්නේ පිටරටවලින් ආනනයනික සියලු සහල් සම්බන්ධයෙන් අද පරිභෝගිකයා ඉන්නේ."

කෙසේ වෙතත් මේ සිද්ධිය දෙස විමර්ශනාත්මකව බැලීමේදී ඇතැම් පිරිස් තුළ ජාතිවාදි මත‍භේදයන් පතුරුවා ලීමේ අවශ්‍යතාවක් වූ බව පෙනෙන්නට විය.‍ ‍අනෙක් අතට මේ සහල් වර්ගය ආහාරයට ගැනීමෙන් මෙතෙක් කිසිවකුත් රෝහල් ගත වී නැත. එහෙයින් මේ සහල් තොගයෙහි ශරීරයට අහිතකර යම් දෙයක් ඇත් නම් එය විද්‍යාත්මකව තහවුරු වන තෙක් නිහඬව බලා සිටීම ජාතියක් හැටියට ශ්‍රී ලාංකිකයන්ගේ වගකීමයැයි අපි විශ්වාස කරමු‍.

සුභද්‍රා දේශප්‍රිය 

Comments