හැම දෙනාම දායක වූ ව්‍යසනයක්! | සිළුමිණ

හැම දෙනාම දායක වූ ව්‍යසනයක්!

 මේ නව වසර ඇරැඹුණේම පරිසර ප්‍රශ්නයකිනි. ඒ මීතොටමුල්ල කුණු කන්ද නාය යෑම සමඟය. එය යාන්තම් අමතක වෙද්දීම වෙසක් සිරිය දියබත් වී ගියේ ගංවතුරෙන් හා නාය යෑම් නිසා දෙසීයකට අධික මිනිස් ජීවිත බිලි ගනිමින්, ඒ හා සමාන පිරිසක් අතුරුදන් කරමින්, ලක්ෂ 7කට ආසන්න ජනතාවක් අපහසුතාවට ලක් කරමිනි. ඒ සියල්ල අතර අපට අමතක වූ දෙය නම් ඊට පෙර මාස ගණනක් පුරා මේ පුංචි ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට දැඩි නියං තත්ත්වයක් පැවැති බවයි; දරාගත නොහැකි රස්නයකින් අප පෙළුණු බවයි. මේ සියල්ල කාගේ වරදින් සිදු වූවක් කියාද අප අර්ථකථනය කරගත යුත්තේ? සමහරු පවතින රජයට දොස් කියති. තවත් සමහරු පැවැතුණු රජයන්ට දොස් කියති. එහි යම් සාධාරණයක් නැතුවා නොවේ. එහෙත් වැඩිපුර ඇත්තේ අසාධාරණයයැයි කීවොත් ඔබ නොපිළිගන්නට ඇති ඉඩකඩ වැඩිය. එයට හේතුව මේ යුගයේ අප අප අතින් සිදු වන වැරැදි පිළිගන්නට තරම් නිහතමානි මානසිකත්වයක නොසිටීමය. මහපාරක අනතුරක් සිදු වූ විට වැරැදිකරුවා නිවැරැදි රියැදුරාට බැන, තර්ජනය කර, හැකි නම් වන්දියක් ගන්නට වුව උත්සාහ කරන තත්ත්වයකි, අද දක්නට තිබෙන්නේ. සමාජ වටිනාකම්, මිනිස්කම් අබිබවමින් නොහොබිනාකම් ඉස්මතු වන තත්ත්වයකට බහුතරයක් කටයුතු කිරීම විවේචනය කරන්නා අතින් සිදු වන්නේද ඒ ටිකමය. එහි හොඳම නිදසුන බවට පත් වන්නේ අද නිවෙස් දොරකඩවල අයිනේ පාරේ ගොඩගසා තිබෙන කුණුමලුය. නගර සභාවේ කුණු ලොරිය එන තුරු පාරේ රස්තියාදු වන කුණුමලු ගැන ඒ නිවෙස් හිමියන්ගෙන් ඇසුව හොත් ඔවුන් කියනු ඇත්තේද කසළ මේ අයුරින් බැහැර කිරීමට සිදු වීම මේ රටට විශාල ප්‍රශ්නයක් බවයි.

මෙය තනි-තනි පුද්ගලයන් අතර පමණක් නොව, රට-රටවල අතරද ඇති ගැටලුවකි. දියුණුයැයි පවසන රටවල් සංවර්ධනය වෙමින් පවතින රටවලට උපදෙස්, ගුරුහරුකම් දෙන්නේ පරිසරය රැකගන්නා ලෙසයි. එහෙත් කාර්මික සංවර්ධනයත් සමඟ වැඩිම පරිසර හානිය සිදු කරන්නේ දියුණුයැයි සම්මත රටවල් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එය කොතරම්ද යත්: සාමාන්‍ය පුද්ගලයකුට පිට කළ හැකි කාබන් ප්‍රමාණය මෙන් පස් ගුණයක් අමෙරිකාවේ පුද්ගලයකුගේ පරිභෝජනයන් නිසා සිදු වේ. එහෙත් අප රට වැනි රටවල පුද්ගලයකු පිට කරන්නේ සාමාන්‍ය කාබන් පියසටහන වන වසරකට ටොන් 10ටත් වඩා ඉතා අඩු ප්‍රමාණයකි. ඒ අපගේ ආහාර රටාව, වාහන, කර්මාන්ත, ඉන්ධන භාවිතය වැනි කරුණු පවතින්නේ ඒ රටවලට වඩා බෙහෙවින් අඩු මට්ටමක වීම නිසාය.

අප එසේ කීවත් ගෝලීය උණුසුම ඉහළ යෑමට හා ඒ නිසා ඇති වන දේශගුණික විපර්යාසවල බලපෑමට අපේ කිසිදු දායකත්වයක් නැතැයි ඇඟ බේරාගැනීමට තරම් පිරිසුදු පරිසර ප්‍රතිපත්තියක අප පිහිටා නැත. එසේ කීමට හේතුව ලෝකය මුහුණ දෙන ප්‍රධාන පරිසර ප්‍රශ්න කීපයෙන් මිදීමට අපටද හැකි නොවීමයි.

ඉන් පළමුවැන්න පරිසර දූෂණයයි. පරිසර දූෂණය යන්න අමුතුවෙන් හඳුන්වා දිය යුතු තැනක අප නැතත්, එය මේ වන විට ලෝකය පුරා වාතය, ජලය හා පස යන සාධක තුනෙන් ඔබ්බට යමින් ආලෝකය, දෘෂ්ටිය ආදි අප නොසිතන පරාස දක්වා පුළුල් වී ගොසිනි. ලොකු ලොකු රටවලින් එන නැව්වල තෙල් ඉසිරුම්, නාගරික අපද්‍රව්‍ය මෙන්ම අපද්‍රව්‍ය මුහුදට මුදා හැරීම සාගර දූෂණයේ ප්‍රධාන සාධක බවට පත් වී තිබේ. ඒ මුහුද සම්බන්ධවය. අප වැනි කුඩා රටවලද නාගරික ප්‍රදේශවල මලපහ ආදි සියල්ල අවසානයේ මුදාහරින්නේ මුහුදටමය. ඊට අමතරව අපේ ඇළ, දොළ, ගංගා ආදි සියල්ල පාහේ බෝතල්, ප්ලාස්ටික්, පොලිතීන් මෙන්ම අනෙක් ඝන අපද්‍රව්‍යවලින් දූෂණය වී ඇති අයුරු දුලභ දර්ශනයක් නොවේ.

වායු දූෂණය සිදු වන්නේ ෆොසිල ඉන්ධන දහනය, ඉන්ධන වායු ළිංවලින් අවශෝෂණය කිරීම හා වාහන දුම් මඟිනි. ජල දූෂණය ප්‍රධාන වශයෙන් සිදු වන්නේ කාර්මික අපද්‍රව්‍ය මඟිනි.

මේ සියල්ල අපි දන්නෙමු. එහෙත් අපේ කුණු කසළ ඉවත ලන විට අපට මේ කිසිවක් අදාළ වන්නේ හෝ මතක් වන්නේ හෝ නැත. එහෙත් අපේ මේ ක්‍රියාකාරකම් නිසා දෙවැනි ප්‍රධාන පරිසර ප්‍රශ්නයට අප දායක වන බව අපට නිච්චියක් නැත. ඒ දේශගුණික විපර්යාසයි. හරිතාගාර ආචරණය හේතුවෙන් ඇති වන ගෝලීය උණුසුම, නාගරික උණුසුම, ගල්අඟුරු කර්මාන්තය නිසා මේ තත්ත්වය එන්න එන්නම උග්‍ර වී ඇති බව ලොව පුරා රටවල ඇති වී තිබෙන පාරිසරික ප්‍රශ්න පිළිබඳ සලකා බැලීමේදී අවබෝධ කරගත හැකිය. පසුගිය වසර සියයක පමණ කාලය පුරා ලෝක ගෝලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශකයකින් පමණ වැඩි වී ඇත. විද්‍යාඥයන් පවසන ආකාරයට මිනිසුන්ගේ ක්‍රියාකාරකම් මේ අයුරින් පැවතුණ හොත් ඉදිරි වසර කීපයකදී ගෝලීය උෂ්ණත්වය තවත් අංශකයකින් ඉහළ යනු ඇත. එහි අහිතකර ප්‍රතිඵල මේ වන විටත් අපට දැනෙන්න පටන්ගෙන ඇත. අපේ රටේ නියඟය, ගංවතුර, නාය යෑම්, ස්ථානීය සුළිසුළං වැනි විවිධ ව්‍යසන ඇති වන්නේ මේ හේතුවෙන් බව අපට මතක් වන්නේ නැත. අයිස් කඳු දිය වී යෑම නිසා මුහුදු ජල මට්ටම ඉහළ යෑම මාලදිවයින, අප රට වැනි දූපත් මහ සයුරට බිලි වීමේ අවදානමක හෙළයි. එහෙත් මේ දේවල භයානකකම පිළිබඳ අපට රස්නය වැඩිපුර දැනෙන විට ඇති වන තරම්වත් හැඟීමක් ඇති වන්නේද?

ඊළඟ විශාලතම ගැටලුව වන්නේ වනහරණයයි; සරලව කියන්නේ නම් ගස් කපාදැමීමයි. කෙටිකාලයක් ඇතුළත ජනගහනය අධික ලෙස වර්ධනය වීම නිසා ඔවුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට වනාන්තර විනාශ කිරීම නිසා ඇතැම් රටවල් කාන්තාරකරණයට පත් වෙමින් තිබේ. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ දත්තවලට අනුව ලොව පුරා වසරකට අක්කර මිලියන 18ක් පමණ වනාන්තර විනාශ කිරීමට මිනිස්සු කටයුතු කරති. පාරාදීසයක්යැයි හැඳින්වූ අප රටේද මේ වන විට වනගහනය ඇත්තේ සියයට 16ක පමණ ප්‍රමාණයකි. සියවසක් පමණ ඇතුළත අපට හිමිව තිබූ වනගහනය හරි අඩකින් පමණ අඩු වී ඇත්තේ අපේම අවශ්‍යතා සඳහා එළි කිරීම නිසාය. මේ අයුරින් ලොව පුරා වනාන්තර අහිමි වීම හා ක්ලෝරො ෆ්ලුවොරො කාබන් පිට කරන විලවුන් වර්ග ආදිය නිසා ඇති වූ තවත් අහිතකර ප්‍රතිඵලයක් වන්නේ ඕසෝන ස්තරයට හානි වීමය. ළැව්ගිනි ඇති වීම මෙන්ම අධික සූර්යතාපයක් පොළොවට පතිත වීම සිදු වන්නේ ඕසෝන ස්තරයෙන් එහි අධෝරක්ත කිරණ වැළැක්වීම සිදු නොවන නිසාය. ඇතැම් විද්‍යාඥයන් පවසන්නේ පසුගියදා අපට වැටුණු අධික වර්ෂාපතනයට හේතුවක් වන්නේ මේ ඕසෝන වියනට සිදුව ඇති බලපෑම විය හැකි බවයි. ඇස්රෝග, සමේපිළිකා ඇති වීමට ප්‍රධාන හේතුවක් වන මේ තත්ත්ව ස්වාභාවිකව සිදු වූ දේ නොවන බව අමතක නොකළ යුතුය.

වන විනාශයේ තවත් අයහපත් ප්‍රතිඵලයක් වන්නේ වර්ෂාපතනය අක්‍රමවත් වීම හා පාංශු හරණයයි. ගහක් කොළක් පැළ නොවන බිමක මිනිසුන්ගේ පැවැත්ම ගැන කුමක් කතා කළ හැකිදැයි කීම අපහසුය. එය සැහැල්ලුවෙන් කතා කළ හැකි දෙයක් නොවේ. කෘෂිභෝග ආදියට නියඟය හා වැස්ස බලපෑම් කිරීම අවසානයේ බලපාන්නේ අටේ ආර්ථිකයට පමණක් නොවේ. අපේ ආහාර සුරක්ෂිතතාවට දැඩි බලපෑමක් එයින් එල්ල වේ. නියඟය, ගංවතුර නිසා මෙන්ම අනෙක් පාරිසරික ව්‍යසනයන් නිසා මිනිසුන් මිය යෑම පිළිබඳ නම් අපි කතා කරමු. ඒ මිනිසකු මිය ගිය විට අපට වැඩිපුර දැනෙන නිසාය. එහෙත් මේ ව්‍යසන නිසා සමස්ත පරිසර පද්ධති විනාශ වන බව අපට දැනෙන්නේ නැත. කොතරම් වටිනා ගහකොළ සතාසීපාවුන් මේ නාය යෑමක් වූ කන්දකින් අපට අහිමි වනු ඇත්දැයි අප සොයා බලා තිබේද?

අප කොතරම් ලිපි ලීවද, විද්වතුන් කොතරම් දැනුම්වත් කිරීම් කළද, තමතමන් කොතරම් දැනුමකින් පසු වූවද බහුතරයක් දෙනා පරිසරය පිළිබඳ දරන්නේ, තමන්ගේ කුණු ටික විසි කරන විට ඒ සියල්ල 'යකාට ගිය' ආකල්පයකි. අසූව දශකයේ අගභාගයේ පමණ අප රටට හඳුන්වා දුන් සිලිබෑගය, අනූව දශකයේ පමණ මෙරට ප්‍රචලිත වූ පරිගණකය නිසා ගොඩගැසෙන කසළ කඳු කඩාවැටෙන පරිසරයක් ගොඩනැඟුණේ ස්වාභාවිකව නොවේ. ඒවා අප විසින් අප නසාගැනීමට කළ 'මහඟු කාර්යභාරයේ' කුඩා ප්‍රතිඵල කීපයක් පමණි. ඉවක් බවක් නැතිව ගස් කැපීමේ, කළුගල් කැඩීමට වසර දහස් ගණන් පැරැණි කඳු කැපීමේ, තම හිතවතුන් පදිංචි කිරීමට කැලෑ එළි කිරීමේ, ඇළ වේලි, ගං ඉවුරු, රක්ෂිත ප්‍රදේශවල අනවසර ඉදිකිරීම් ගොඩනැඟීමේ ආදීනව වින්දේ ඒවා කළ අයම පමණක් නොවේ. වඳුරන් ගෙවල් හදන්නා සේ ප්‍රශ්නය ඇති වූ මොහොතට කටින් බතල හිටුවන දේශපාලනඥයන්ද මේවාට වගකිව යුතුය. එහෙත් කිසිදු තනි පුද්ගලයකුට හෝ තනි ආයතනයකට හෝ තනි ආණ්ඩුවකට හෝ තනි රටකට හෝ මේ සමස්ත ව්‍යසනයට ඇඟිල්ල දිගු කළ නොහැකිය. පරිසර හිතකාමි ලෙස තීන්දුතීරණ ගැනීම සඳහා නීති පැනවූ රජවරුන්, ඒ නීතිරීති අනුගමනය කළ මිනිසුන් හා සැබෑ පරිසරලෝලීන් යන ප්‍රතිපත්තිගරුකව සොබාදහමට අවම හානියක් වන අයුරින් තම අවශ්‍යතා සපුරාගත් පුද්ගලයන් හැරෙන්නට එතෙක් මෙතෙක් ජීවත් වූ - ජීවත් වන අප සියලු දෙනාට මේ ව්‍යසනයේ පව්කාරකමින් ගැලවීමක් නම් නැත. මතක් කළ යුතු වැදගත්ම කරුණ වන්නේ පරිසරය පාලනය කිරීමට යෑමෙන් අප ඇති කරගන්නා මේ ස්වයං විපත්තියේ කෙළවර මිනිසාට ප්‍රයෝජනයට ගැනීම සඳහා ගහකොළ සතාසීපාවා අහිමි වීම වැනි සරල තැනකින් කෙළවර නොවන බවය. සොබාදහමට දරාගත නොහැකි තරමට පීඩා කිරීමේ අවසානය වන්නේ සියලු ජීවීන් මෙන්ම මිනිසුන්ද විනාශ වී යෑමයි. එය වළක්වාගත හැක්කේද මිනිසාටම පමණි. එනිසා මිනිසාගේ පැවැත්ම අවශ්‍යයැයි මොහොතකට හෝ සිතන්නේ නම් කළ යුත්තේ පරිසරය යන වචනය සැහැල්ලුවට ගෙන සිත් සේ කටයුතු කිරීම නොව, තමන්ගෙන් විය යුතු යුතුකම මැනැවින් අවබෝධ කරගෙන උසස් මනසක් ලද මිනිසුන් ලෙස කල්පනාකාරිව තමන්ගේ වළ තමන් අතින් කපා නොගැනීමට වගබලාගැනීමය.

අරුණි මුතුමලී

Comments