පරාජිත දේශපාලන පාර්ශ්ව බොදු බළ සේනා වැනි අන්තවාදී කණ්ඩායම් අඩයාළමක් කර ගනිමින් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් රජය කෙරෙහි විශ්වාසය පළුදු කිරීමේ මෙහෙයුමක් අරඹා ඇති බව පෙනේ. එහි අරමුණු දෙකකි. ඉන් පළමු වැන්න ඇතැම් දේශපාලකයන් හා ඔවුන්ගේ මෙහෙයවීම මත අපරාධවල යෙදුණු හමුදා සාමාජිකයන්ට එරෙහි පරීක්ෂණ අඩාළ කිරීම ය. අනෙක් අරමුණ නම් ලක් රජය කෙරෙහි වර්ධනය වෙමින් පවතින ජාත්‍යන්තර සහයෝගය අවසන් කිරීම සඳහා මෙරට තුළ සුළු ජාතිකයන්ට පසු විවිධ ආගමිකයන්ට අහිතකර තත්ත්වයක් ඇති කිරීම ය.
බොදු බල සේනා සංවිධානයේ ප්‍රධානියා හැටියට සැලකෙන ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙමින් පවතින බව පෙනෙන්නට තිබීම ඇතැම් අයගේ කටවල් ඇවිස්සීමට හේතු වී තිබේ. අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි කියැවෙන අතරතුර සැකකරු කිසිදු අවහිරයකින් තොරව ගමන්බිමන් ගිය බව නිරීක්ෂණය කළ හැකිය.
අවසානයේදී සිදු වූයේ සැකකරු රෝගීව සිටින හෙයින් අධිකරණයට ඉදිරිපත් විය නොහැකි බව නීතිඥයන් මාර්ගයෙන් දන්වා සිටීමය.
ප්‍රගීත් එක්නැළිගොඩ නඩුව හෝමාගම අධිකරණයෙහි විභාගයට ගත් දිනක තවත් භික්ෂූන් සමඟ අධිකරණ භූමියට කඩාවැදී නඩු කටයුත්තට බාධා කිරීම හා සන්ධ්‍යා එකුනැළිගොඩ මහත්මියට තර්ජනය කිරීම ඇතුළු චෝදනා ගණනාවක් චුදිතයාට එරෙහිව ඉදිරිපත්ව තිබේ.
මේ සිදුවීම් සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ භික්ෂූන් වහන්සේ පිරිසක් අධිකරණ ක්‍රියාවලියට එරෙහිෙව අදහස් දක්වා තිබීම විමතියට කරුණකි. එහි නෛතික ගැටලුව කුමක් වුවත්, මේ හැසිරීම බෞද්ධ සම්ප්රදාය සහ බෞද්ධ ආචාර ධර්මවලට කොතරම් එකඟද යන ප්රශ්නය ඇසීමට සිදු වේ.
ප්‍රහාර ඇරඹෙයි
පශ්චාත්-යුද සමයෙහි කිතුනු, හින්දු සහ මුස්ලිම් ආගමික මධ්‍යස්ථාන සහ පූජකවරුන් ප්‍රහාරයට ලක් වීමේ ප්‍රවණතාවක් ඇති විය. බොදු බළ සේනා සංවිධානය රට පුරා රැස්වීම් පවත්වමින් ආගමික ප්රචණ්ඩත්වය දියත් කළේ ප්‍රසිද්ධියේමය. අලුත්ගම දර්ගා නගරය දේපළ හා ජන සංහාරය එහි කූටප්‍රාප්තියයි. එසේ වුවද රාජපක්ෂ පාලන සමයෙහි මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවීය. හිටපු ආරක්ෂක ලේකම් ප්‍රසිද්ධියේම බොදු බල සේනා සංවිධානයට සහාය දුන්නේය.
තිස් වසරක යුද්ධය නිමා කිරීම බෞද්ධ ජනතාවගේ ජයග්‍රහණයක් බවට පත් කිරීම ඔස්සේ ආගමික සංහාරයකට අවශ්‍ය චින්තන පදනම දමන ලදි. එහි ප්‍රතිඵලය ලෙස 2009 සිට 2013 වන විට ආගමික මධ්‍යස්ථාන 65කට පහර දී තිබිණ. මුස්ලිම් විරෝධය උග්‍ර වෙමින් පැවති 2013 ජනවාරි මාසයෙහි බොදු බළ සේනා සංවිධානය සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර ‘ප්‍රසිද්ධ‘ සාකච්ඡාවක් පැවැත්විණි.
මුස්ලිම් විරෝධය සම්බන්ධයෙන් කිසිදු විවේචනයක් ජනාධිපතිවරයාගෙන් එල්ල නොවීය. එය බල සේනාවට ලැබුණු ‘ලයිසම‘කි. ඉන් පසුව ප්‍රහාර උත්සන්න විය.
අලුත්ගමදී සිදු කළ ජනඝාතන හා දේපළ විනාශයට වගකිව යුත්තන් නිරුපද්‍රැතව සිටියදී රජයේ වියදමින් නිවාස පිළිසකර කෙරිණි. ඒ අනුව අපරාධයට දඬුවම් විඳින්නට සිදු වූයේද මේ කිසිවකට සම්බන්ධ නොවූ බදු ගෙවන ජනතාවටය.
රාජපක්ෂ යුගය
නාසි චින්තනය අනුව කටයුතු කළ රාජපක්ෂ පාලනය ගෙදර යවා, යහපාලන රජය පිහිටුවීම කෙරෙහි බලපෑ එක් සාධකයක් වූයේද දෙමළ සහ මුස්ලිම් ජනයාට එරෙහිව කළ ක්‍රියාකාරකම් බව සත්‍යයකි.
මේ අතර යහපාලන රජයේ ඇතැම් පාර්ශ්ව සමඟ චුදිත භික්ෂූන් ගනුදෙනු කිරීම සාධාරණ සමාජයක් අපේක්ෂා කරන්නවුන්ගේ කළකිරීමට හේතු වී තිබෙන බව වගකිව යුතු පාර්ශ්ව තවමත් තේරුම් ගෙන නැත.
පැවති රජයේ මර්දනකාරි පිළිවෙත් අත්හැර නිදහස තහවුරු කිරීමේ ඇතැම් පියවර ගැනීම අනතර්ජාතික විශ්වාසය දිනාගැනීම කෙරෙහි බලපෑවේය. ජීඑස්පී ප්ලස් සහනය ලැබීම හා විවිධ ආචාර එතෙර රටවලින් ලැබීම එහි ප්රතිඵලයකි.
යළි නැගිටීම
කරුණු එසේ වුවද රජයේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසිය ලැබූ ජාතිවාදී ආගම්වාදී ප්රවණතා නැවත හිස එසවීමට පටන් ගත්තේය. ඒ අනුව 2017 මැයි මාසය අවසන් වන විට මුස්ලිම් පල්ලි සහ ව්‍යාපාරික ස්ථාන 19ක් ප්‍රහාරයට ලක් වී තිබිණි. බොදු බළ සේනාව විවිධ ස්ථානවලට යමින් මුස්ලිම් විරෝධයක් ඇවිළවීමට මුල් විය.
සමාජ මාධ්‍ය ජාලා සහ ඇතැම් පුවත්පත් ආගමික ගැටුම් උත්සන්න වන ආකාරයෙන් කටයුතු කළේය. ‘මුස්ලිම් හෝටල්වලින් සිංහලයන්ට සැපයෙන ආහාරවල වඳ බෙහෙත් අඩංගු කර ඇත,‘ යනාදි වශයෙන් මිථ්‍යා අදහස් රැසක් සමාජයෙහි වපුරන ලදි. පරාජිත දේශපාලන පාර්ශ්ව බොදු බළ සේනා වැනි අන්තවාදී කණ්ඩායම් අඩයාලමක් කරගනිමින් දේශීය හා අන්තර්ජාතික වශයෙන් රජය කෙරෙහි විශ්වාසය පළුදු කිරීමේ මෙහෙයුමක් අරඹා ඇති බව පෙනේ. එහි අරමුණු දෙකකි. ඉන් පළමුවැන්න ඇතැම් දේශපාලකයන් හා ඔවුන්ගේ මෙහෙයවීම මත අපරාධවල යෙදුණු හමුදා සාමාජිකයන්ට එරෙහි පරීක්ෂණ අඩාළ කිරීමය. අනෙක් අරමුණ නම් ලක් රජය කෙරෙහි වර්ධනය වෙමින් පවතින අනතර්ජාතික සහයෝගය අවසන් කිරීම සඳහා මෙරට තුළ සුළු ජාතිකයන්ට සහ විවිධ ආගමිකයන්ට අහිතකර තත්ත්වයක් ඇති කිරීමය.
නියපොත්තෙන් කඩන්නට තිබූ දේ පොරොවෙන් කපන්නට රජයට සිදු වූයේ ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ වුවමනාවට වඩා ලිහිල් ප්රතිපත්තියත් කහපාට ලෝගුව හා හමුදා නිල ඇඳුමට තිබෙන අනවශ්‍ය බයත් නිසාය. එසේ වුවද ඉතිහාසයේ සෑම පාලන යුගයකම ආරක්ෂක අංශ හා පූජකයන්යැයි විශේෂ සැලකීමක් නොකර අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූ බව අමතක වී ඇත.
ඍජු ප්‍රකාශයක්
ජනමාධ්‍ය හා මුදල් ඇමැති මංගල සමරවීර මහතා ජූනි 6 දා පාර්ලිමේන්තුවේදී වත්මන් තත්ත්වය පිළිබඳ අගනා ප්‍රකාශයක් කළේය:
“හමුදා නිල ඇඳුමක් හෝ සිවුරක් ඇඳ සිටියද වැරදි කළ අයට සමාව නොදිය යුතුයි. නිල ඇඳුම කෙලෙසා ඉහළින් ආ නියෝග මත මාධ්‍යවේදීන් පැහැරගෙන ගියා නම්, දෙමළ සිංහල ළමයින් පැහැර ගෙන ගොස් ඝාතනය කළා නම් මොන ලෝගුව මොන සිවුර ඇන්දත් දඬුවම් දිය යුතුයි. සිංහල බහුතරය වූ පමණින් දෙමළ හා මුස්ලිම් ජනතාව පරයා යා යුතු නෑ.”
මේ ප්‍රකාශය යහපාලන රජය කෙරෙහි බිඳී යමින් තිබූ ජන මතය යළි තහවුරු කරන්නකි. ජාතික ප්රශ්නය සම්බන්ධයෙන් මෙතෙෙදී මෙනම එතෙරදීද නිවැරදි ආස්ථානයක පිහිටා තම අදහස් පළ කිරීම හේතුවෙන් මංගල සමරවීර මහතා ජාතිකවාදීන්ගේ උග්‍ර විවේචනයටද මධ්‍යස්ථ දේශපාලකයන්ගේ පැසසුමටද ලක්ව තිබේ.
ඇහැළියගොඩ ප්‍රදේශයයේ ගංවතුරෙන් අවතැන් වූ ජනතාව ඇමතූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මෙසේ ප්‍රකාශ කළාය:
“උතුරේ යුද්ධයෙන් සිංහල දෙමළ දහස් ගණනක් ජනතාවගේ ජීවිත නැති වුණා. දැන් අපගේ යුතුකම වන්නේ සියලු ජනතාව එකට එක් වී සමගියෙන් ජීවත් වීමයි. ඇතැම් හාමුදුරුවරුන් සමගිය බිඳදමන අයුරින් කටයුතු කරනවා. ඊට එරෙහිව කටයුතු කළ යුතුයි.”
යහපාලන රජයේ දැක්ම කුමක්දැයි මේ දෙදෙනාගේ ප්‍රකාශවලින් පැහැදිලි වේ. වඩා වැදගත් වන්නේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන පසුගාමී වීමෙන් රජයේ ඉදිරි ගමනට බාධා පැමිණවීමය.
සමාජ පසුබිම
බොදු බළ සේනා වැනි අන්තවාදී සංවිධාන බිහි වීමේ සමාජ දේශපාලන පසුබිම තේරුම් ගන්නට උත්සාහ දැරීම ප්රශ්නය නිරාකරණය කරගැනීමේ පියවරකි. අන්තවාදී සංවිධානවල ප්‍රකාශවලට විශාල සමාජ පිළිගැනීමක් ලැබීමේ පදනම ආර්ථික ව්‍යූහයට ද සම්බන්ධ වේ. ව්‍යාපාර ක්ෂේත්රයෙහි මුස්ලිම්වරුන්ට හා දෙමළ ජනතාවට තිබෙන විශාල පංගුව සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන්ගේ ඊර්ෂ්‍යාවට හේතුවකි. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන සමුච්චකරණය අනුව ඇති වූ තත්ත්වයකි.
අධිරාජ්‍ය යුගයෙහි භාණ්ඩ හා සේවා සැපයීම, ප්‍රවාහනය, යටිතල පහසුකම් සැපයීම, වෙළෙඳාම, අරක්කු සහ රා රේන්දය වශයෙන් ශ්‍රී ලාංකිකයන් හට ප්රාග්ධනය හිමි කරගැනීමේ අවස්ථාව ලැබිණ. එසේ වුවද උඩරට සිංහල බෞද්ධයන් වෙළෙඳාම කෙරෙහි දැක්වූයේ උදාසීන ප්රතිපත්තියකි. එකල අගනුවර ව්‍යාපාරික බලය ලැබී තිබුණේද සිංහල නොවන ප්‍රජාවන්ට බව පෙනේ.
ඉන්දීය ලේඛකයකු වන මොහාන් බගවන්දාස් ලියූ Jinasena Story කෘතියෙහිද මයිකල් රොබට්ස්ගේ ඇතැම් ලේඛනවලද මේ පිළිබඳ වැදගත් තොරතුරු සමුදායක් ඇතුළත් වෙයි.
බ්‍රිතාන්‍ය රජය හිතාමතාම සිංහල ප්‍රජාව දුර්වල කරමින් ඔවුන් සහ සුළු ජාතීන් අතර වෛරයක් ඇති වන පරිදි කටයුතු කළේය. 19 වැනි සියවස අග භාගයේ හා 20 වැනි සියවස මුල් භාගයේ අගනුවර වාණිජ බැංකු සිංහල ව්‍යාපාරිකයන් හට ණය ලබා දීමෙන් වැළකුණේය.
කොළඹ ව්‍යාපාරවල යෙදුණු සිංහල ව්‍යාපාරිකයන් කිහිප දෙනා ගිනි පොලියට ණය ගත්තේ සුළු ජාතික ව්‍යාපාරිකයන්ගෙනි. මේ නිසා සුළුතර ජනවර්ග නියෝජනය කළ ව්‍යාපාරික පන්තිය අගනුවර හා අනෙකුත් ප්‍රධාන නගරවල තහවුරු විය. එදා සිට වත්මන දක්වාම සිංහල ව්‍යාපාරිකයන් තමන්ට වඩා ශක්තිමත් සුළු ජාතික ව්‍යාපාරිකයන් කෙරෙහි දැක්වූයේ සතුරු ආකල්පයකි.
ව්‍යාපාරික බලය
83 කළු ජූලියෙහි ඊශ්වරන් බ්‍රදර්ස් ඇතුළු දෙමළ ජාතික ව්‍යාපාර මධ්‍යස්ථාන හා කර්මාන්ත ගණනාවක් සිංහල බෞද්ධයන් විසින් විනාශ කරන ලදි. එමෙන්ම වරින් වර ඉස්මතු වූ ජනවාර්ගික හා ආගමික ගැටුම්වලදී මුස්ලිම් ජනයා සතු ව්‍යාපාර ගිනිබත් කරන ලදි.
1978දී කැකිරාව නගරය ගිනිබත් වූයේ මුස්ලිම් ජනතාව සතුව තිබූ කඩසාප්පු සියල්ල අවසන් කරමිනි. 2013දී දර්ගා නගරය හා අලුත්ගම එම ඉරණමට මුහුණ දුන්නේය. වෙළෙඳාම විෂයෙහිදී මුස්ලිම් ජනයා කෙරෙන් දිස් වන දක්ෂතාව සහ ගනුදෙනුකරුවන් සමඟ ඇති මටසිලිටි ප්‍රතිපත්තිය සිංහල ව්‍යාපාරිකයන් කෙරෙන් දිස් නොවන බව සිංහල ජාතිකයකු වන ලියුම්කරුගේ හැඟීමයි. සිංහල වීර විදහන වැනි සංවිධාන මඟින් වී කිරන්නට දැරූ උත්සාහයන් අඩපණ වූයේද එම ලක්ෂණය නිසාය.
මේ නිසා සිංහල ව්‍යාපාරික ප්‍රජාව තම බලය තහවුරු කරගැනීම සඳහා ඇතැම් අවස්ථාවල කෙටි මාර්ග අනුගමනය කළේය. විසකුරු ජාතිවාදී සංවිධානවලට තල්ලුව ලැබුණේ ඔවුන්ගෙනි.
බොදු බළ සේනා යනු එසේ බිහිවූ විසකුරු බලවේගයකි. සිංහල රාවය, රාවණා බළකාය හා බොදු බළ සේනා යන කල්ලි තුන දේශපාලන අනුග්‍රහයෙන් වර්ධනය වූයේ පසුගිය පාලන සමයෙහිය. මේ කණ්ඩායම් තුන ජාතිවාදී දේශපාලන පක්ෂ තුනක් තිඹිරිගෙය කරගත්තේය.
කොළඹ නගරයෙහි ව්‍යාපාරික බලය සුළු ජාතීන්ගෙන් උදුරාගෙන සිංහල ව්‍යාපාරිකයන් අතට පත් කිරීම සහ ප්‍රතිශතයක් හැටියට ගත් විට සිංහල සුළුතරය බවට පත් වූ ප්‍රදේශවල ජන සංයුතිය කෘත්‍රිමව වෙනස් කිරීම සඳහා ආණ්ඩුවලට ලණු දීම මේ කුඩා පක්ෂවල ස්වභාවයයි.
ඓතිහාසිකව සිදු වූ ආර්ථික පරිවර්තනයක් කෘත්‍රිමව වෙනස් කළ හැකි යැයි සිතීම මුළාවකි. එහි ප්‍රතිඵලය දේපළ සංහාරය හා ලේ වැගිරීම්ය.
තේරුම් ගැනීම වැදගත්
අපේ රටේ ජාතික ව්‍යාපාරය ඉන්දියාවේ මෙන් එක්සත් ව්‍යාපාරයක් නොවීමේ පසුබිම සැකසෙන්නේ ඒ අනුවය. මෙය සංකීර්ණ තත්ත්වයකි. මේ තත්ත්වය තේරුම් ගනිමින් කටයුතු කිරීමේ විභවයක් යහපාලන ආණ්ඩුව සතුව පවතී. එය අහෝසි කර නොගැනීමේ වගකීම ආණ්ඩුවට පැවරේ.
තිඹිරියාගම බණ්ඩාර
Thimbiri @ gmail.com