
මාධ්‍යවේදීන් 'සවිඥානක මාධ්‍ය කලාවක' නිරත විය යුතුය. සවිඥානක මාධ්‍යවේදය යනු කල්පනාකාරි මාධ්‍යකරණයයි. මෙය ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ 'මයින්ඩ්ෆුල් ජර්නලිසම්' යනුවෙනි. මුද්‍රිත මාධ්‍යවේදීන් කල්පනාකාරීව තම පෑන හසුරුවයි නම්, විද්යුත් මාධ්‍යවේදීන් කල්පනාකාරීව තම වචන හසුරුවයි නම් එතැන මාධ්‍ය සදාචාරය ඉබේම රැකෙනු ඇත; ගැටුමක නිමිත්ත ඉබේ මඟහැරෙනු ඇත.
පත්තර මහගෙදරින් මාධ්‍යවේදියකු ලෙස සිය වෘත්තිය ඇරැඹූ ෂෙල්ටන් ගුණරත්න මහතා කොළඹ කේරි සහ ආනන්ද විද්‍යාලවලින් පාසල් අධ්‍යාපනය ලබා 1958 ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට සමත් වූවෙකි. 1966දී ඔරිගන් විශ්වවිද්‍යාලයට ශිෂ්‍යත්වයක් ලැබූ ඔහු 1968දී පශ්චාත් උපාධිය හිමි කරගත්තේය. මිනසෝටා විශ්වවිද්‍යාලයෙන් ජනමාධ්‍ය පිළිබඳ ආචාර්ය උපාධිය හැදෑරූ ඔහුට එහි මහාචාර්ය පදවියක්ද හිමි විය. 1972 සිට අමෙරිකාව, ඕස්ට්‍රේලියාව, චීනය සහ මැලේසියාව වැනි රටවල විශ්වවිද්‍යාලවලින් ලද ආරාධනා මත සංචාරය කරමින් ජනමාධ්‍ය විෂයය පිළිබඳ ඉගැන්වූ ඔහු ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලන්නේ අන්තර්ජාතික මාධ්‍ය, වාර්තාකරණය, ලේඛනය, මහජන සම්බන්ධතා වාර්තාකරණය, ඔන්ලයින් උසස් වාර්තාකරණය ආදි විෂයයන් පිළිබඳ මිනසෝටා ස්ටේට් යුනිවර්සිටි ඔෆ් මුවර්හෙඩ් නම් විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික මහාචාර්යවරයකු වශයෙනි. ඔස්ට්‍රේලියාවේ සෙන්ට්‍රල් යුනිවර්සිටි ඔෆ් ක්වීන්ස්ලන්ඩ්හි 1985 සිට 2007දක්වා මහාචාර්ය ධුරය දරමින් පුවත්පත් කලාව හා ජනමාධ්‍ය පිළිබඳ අංශයක් ආරම්භ කිරීමට ඔහු සමත් විය. "Mindful Journalism and Media Ethics in the Digital Era: A Buddhist Approach" ඇතුළු ජනමාධ්‍ය හා සම්බන්ධ ග්‍රන්ථ 70ට අධික සංඛ්‍යාවක් ඔහු විසින් රචනා කර තිබේ. Village Life in the Forties: Memories of a Sri Lankan Expatriate මෙරට බොහෝ ජනප්‍රිය වූ ඔහුගේ ලිපි පෙළකි. ඇමෙරිකානු පුරවැසිබව ලබා ඇති ඔහු අවසන් වරට නිරත වන ශ්‍රී ලංකා සංචාරයේදී 'සිළුමිණ' පුවත්පතේ පළ වන ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වය පිළිබඳ සංවාදයට එක් වූයේ මෙසේය.
පුවත්පත් කලාවෙන් ඇරැඹුණු වර්තමාන මාධ්‍ය ලෝකය මේ වන විට ලොව පුරා අමුතුම ගමන්මඟක් ගෙන තිබේ. බටහිර මාධ්‍යවේදීන් බොහෝ දුරට මුල් තැන දෙන්නේ ගැටුම් හා සමීපත්වය මුල් කරගත් පුවත් සඳහාය. එයින් ගැටුම නාටකීය ස්වරූපයකින් ඉදිරිපත් කිරීම, ගැටුම උපකාරි කරගෙන කතාව නිර්මාණය කිරීම, අලුත්ම ප්‍රවණතාව බවට පත්ව තිබේ. මේ නිසා බොහෝ විට සිදු වන්නේ මිනිසුන්ගේ හැඟීම් ඇවිස්සීමයි.
එහෙත් සැබැවින්ම මාධ්‍යයක වගකීම වන්නේ හෝ මාධ්‍ය ක්‍රියාකාරිත්වය සඳහා අවශ්‍ය වන්නේ ගැටුම් නොවේ. සාමාන්‍ය පුවත් ගැටුම් ඇති වන ස්වරූපයෙන් ඉදිරිපත් කිරීම යනු සමාජයට කරන අනවශ්‍ය බලපෑමකි. රටක ප්‍රවෘත්ති සැපැයෙන්නේ ගැටුම් නිසා නොවේ. එසේ වන්නේ යැයි සිතන්නේ නම් එය වැරැදි වැටහීමකි. සත්‍ය තත්ත්වය පුවත් සඳහා ගැටුම් අවශ්‍ය නැත යන්නය. ගැටුම් නිසා මිනිස්සු බෙදී යති. නිදසුනක් ලෙස ගත හොත් සිංහල සහ දෙමළ අය අතර ගැටුමක් ඇති වූ විට එය වාර්තා කෙරේ. එයට මාධ්‍ය ඉතා උනන්දුය.
එහෙත් ඔවුන්ගේ සමගිය පිළිබඳ ඇති ප්‍රවෘත්ති පළ කිරීමට ඒ උනන්දුව මාධ්‍ය දක්වන්නේ නැත. මෙයින් බෙදීමකට මිස සමගියකට සමාජය යොමු නොවේ. සැබැවින්ම ජනමාධ්‍යයට අවශ්‍ය නම් මේ රටේ මිනිසුන් අතර සමගිය වර්ධනය වන ආකාරයේ ප්‍රවෘත්ති පළ කිරීමට හැකිය. නිදසුනක් ලෙස හින්දු සහ බෞද්ධ ධර්මයන්ගේ සමානත්වය, සම්බන්ධතාව ඉස්මතු වන පුවත් කිසිම පුවත්පතක හෝ වෙනත් විද්යුත් මාධ්‍යයක ප්‍රචාරය වන්නේ නැත. භගවත් ගීතාව හා ධම්මපදය අතර ඇති සබඳතාව කිසිවෙක් කතා නොකරති. එහෙත් යාපනේ මිනිසුන් වැඩ වර්ජනයක් කිරීම හෝ දකුණේ මතු වන සුළු සිදුවීමක් ජනමාධ්‍යවල විශාල කතාවක් බවට පත් වේ.
මේ රටේ එක පුවත්පතක් එක මඟක යද්දී තවත් පුවත්පතක් ගමන් කරන්නේ තවත් මඟකය. එක රූපවාහිනී නාළිකාවක් යම් දෙයක් පිළිබඳ පවසන මතයට වඩා වෙනස් මතයක් ගොඩනැඟෙන අයුරින් අනෙක් නාළිකාව ඒ පුවතම වාර්තා කරයි. මේ මාධ්‍ය ආයතනවල භේදය මුදල් උපයාගැනීම සඳහාය. වෙළෙඳ දැන්වීම් ජනමාධ්‍යයකට වැදගත් බව සැබෑය.
එහෙත් ශ්‍රී ලංකාවේ ඒ සඳහා ගැතිකම වැඩි බවක් පෙනේ. ඇතැම් දැන්වීම්කරුවන් නිසා සත්‍යය හෙළි කිරීමට නොහැකි තත්ත්වයකට ඇතැම් මාධ්‍ය පත්ව තිබේ. පුවත්පතක යමක් ලියනවා නම් හෝ විද්යුත් මාධ්‍යයක යමක් පළ කරනවා නම් එය ග්‍රාහකයාට පැහැදිලි වන අයුරින් ඉදිරිපත් කිරීම මාධ්‍යකරුවාගේ වගකීමයි. තමන්ට වැඩිම පාඨක, ප්‍රේක්ෂක පිරිසක් රඳවාගන්නේ කෙසේද යන්න මිස, සාධාරණ මාධ්‍යකරණයකට යොමු වන්නේ කෙසේද යන්න පිළිබඳ බොහෝ මාධ්‍යවේදීන්ගේ අවධානය යොමු වී නැත.
අන්තර්ජාලය අද ඕනෑම කෙනකුට අදහස් ඉදිරිපත් කිරීමේ මාධ්‍යයක් ලෙස විවෘත වී ඇති බැවින් කිසිදු සීමාවකින් තොරව තම අදහස් එහි පළ කිරීමට බොහෝ දෙන සූදානම් වී සිටිති. මෙය නිදහසයැයි ඇතැමුන් සිතුවද, එය ප්‍රවෘත්ති පළ කිරීමේ නිදහස යනු එය නොවේ. බුදුන් වහන්සේ දේශනා කළ පරිදි සුදුසු දේ තෝරා-බේරා සුදුසු අයුරින් ඉදිරිපත් කිරීම ඒ පුද්ගලයා සතු දැනුම හා ඥානය හඳුනාගැනීමේ මඟකි.
අනෙක් කරුණ නම්: අන්තර්ජාතික මාධ්‍ය හා සසඳන විට අපේ රටේ මාධ්‍ය නිදහස පිළිබඳ බොහෝ හඬනැඟීම්, උද්ඝෝෂණ ඇති බව පෙනේ. එහෙත් එයින් පුවත්පත් හෝ විද්යුත් මාධ්‍යවලට අදාළ කාරණා ප්‍රතිඵල ලෙස ලැබෙන බවක් නැත. මගේ මතය අනුව නම්: ජනමාධ්‍ය සඳහා වෙනම සැකැසූ විශේෂ ආචාරධර්ම පද්ධතියක් අවශ්‍ය නොවේ. කල්පනාකාරීව තමන්ගේ වෘත්තිය ඉටු කරන්නේ නම් මාධ්‍ය සදාචාරය නිතැතින්ම රැකෙනු ඇත. තමන් ලියන දෙය නිසා සිදු වන්නේ කුමක්ද යන්න නොසොයා නොබලා කටයුතු කිරීම නිසා බොහෝ අවස්ථාවල ගැටලු මතු වේ. එහෙත් යහපත් සිහියෙන්, යහපත් දැක්මකින් යුතුව මේ යහපත් ලෙස මාධ්‍යවේදීන් තම වෘත්තියේ යෙදෙන්නේ නම් ඕපාදූප වැනි ප්‍රවෘත්ති පළ වීමෙන් ගැටලු ඇති වන්නේ නැත.
එයින් පෙනී යන එක් කරුණක් තිබේ. එනම් මාධ්‍යවේදීන් 'සවිඥානක මාධ්‍ය කලාවක' නිරත විය යුතු බවය. සවිඥානක මාධ්‍යවේදය යනු කල්පනාකාරී මාධ්‍යකරණයයි. මෙය ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ 'මයින්ඩ්ෆුල් ජර්නලිසම්' යනුවෙනි. මුද්‍රිත මාධ්‍යවේදීන් කල්පනාකාරීව තම පෑන හසුරුවයි නම්, විද්යුත් මාධ්‍යවේදීන් කල්පනාකාරීව තම වචන හසුරුවයි නම් එතැන මාධ්‍ය සදාචාරය ඉබේම රැකෙනු ඇත; ගැටුමක නිමිත්ත ඉබේ මඟහැරෙනු ඇත. ජනතාවට තණ්හාව, උපාදානය ඇති කරන පරිදි ආවේගශීලි වන පරිදි පුවත් සැකැසීම හා ඉදිරිපත් කිරීම මාධ්‍යවේදය හෝ මාධ්‍ය ආයතනයක වගකීම හෝ නොවේ.
එසේම වෙළෙඳ දැන්වීම් හෝ ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතාව මත කටයුතු කිරීම නිසා ග්‍රාහක සිත් තුළ අනවශ්‍ය අවශ්‍යතා ඇති කිරීමේ වගකීමද බාර ගත යුත්තේ මාධ්‍ය ආයතනයි. අප මේ කටයුතු කරන්නේ සදාකාලිකව ජීවත්වන්නවුන් මෙන් සිතාගෙනය. එහෙත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන කරුණු අවබෝධ කරගත් විට මේ සියල්ල ආත්මයකින් තොර වන බව අපට වැටහෙනු ඇත.
එනිසා වෙනස් වීම යනු සැමට පොදු නියමයකි. මාධ්‍යද මේ එකම අයුරකින් සදාකාලිකව නොපවතිනු ඇත. එසේම එය තේරුම් නොගැනීම නිසා ජනමාධ්‍යයට පැවැත්මක්ද නැති වේ. ජනමාධ්‍යයද අනිත්‍ය දෙයකි.
ජනමාධ්‍ය මඟින් නිරන්තර සෘණාකල්ප වර්ධනය වන ලෙස පුවත් ප්‍රචාරය කිරීම නිසා එය ග්‍රාහකයන්ට මේ සංසාරය පිළිබඳ අවබෝධ කරගැනීමට හොඳ මඟක්යැයි වරෙක සිතිය හැකිය. එහෙත් එය නිවැරැදිව අවබෝධ නොකරගන්නා ඒ තොරතුරු නිසා අසහනයට පත් වේ. එය දුක්ඛයයි. එය සංසාරය පුරා ඉවත් කළ නොහැකිය. එයින් ගැලවිය හැක්කේ නිර්වාණාවබෝධයෙන් පමණි.
මෙය යම් තාක් දුරකට මැඬ ලිය හැක්කේ ආර්ය අෂ්ටාගික මාර්ගය අනුගමනය කරන මාධ්‍ය කලාවකින් පමණි. එයින්ද ශීලය නිවැරැදිව පුහුණු කිරීමට මාධ්‍යවේදීන් හා ආයතන කටයුතු කරන්නේ නම් ජනතාවට නිවැරැදි තොරතුරු සපයන යහපත් මාධ්‍ය කලාවක්, මාධ්‍ය සංස්කෘතියක් ඉන් බිහි කළ හැකිය.
අප එතරම් අවධානය යොමු නොකළ කරුණක් වන්නේ බුදුන්ගේ යුගයේ ග්‍රීසියේ පවා බිහි වූ දාර්ශනිකයන් සිතුවේ එකම අයුරකිනි. ඔවුන් සියලුදෙනා පිළිගත්තේ අපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාස නම් වූ පංච මහා භූතයන්ගෙන් පරිසරයේ අප දකින කියන දේ නිර්මාණය වී ඇති බවයි. බුදුන් මෙන්ම ග්‍රීසියේ හෙරක්ලීටස්, ලාඔසයේ කොන්ෆියුසියස් එක යුගයේ එකම අයුරකින් සිතූ දාර්ශනිකයෝය. ඔවුන් එසේ කළේ ටෙලිපති මඟින්යැයි විශ්වාසයක් තිබේ.
එහෙත් එය විද්‍යාවෙන් ඔප්පු කර නැත. කෙසේ වුවද මෙයින් අවබෝධ කරගත හැකි කරුණ නම් යම් යුගයක ලොව පුරා සිටින මිනිසුන්ගේ සිතුම් පැතුම්වල ඒකාකාරිත්වයක් ඇති බවයි.
ගුටෙන්බර්ග් මුද්‍රණශිල්පය සොයාගැනීමත් සමඟ පුවත්පත් කලාව බිහි වූ බව අප පුවත්පත් කලාව පිළිබඳ ඉතිහාසයට හැදෑරුවද මුල්ම කොළ නිෂ්පාදනය කර තිබුණේ චීන ජාතිකයන්ය. අශෝක රජුගේ යුගයේ පවා ආගම දහම, ආණ්ඩුකරණය පිළිබඳ සෙල්ලිපි ලියා පණිවිඩ දී තිබිණි. ඒ යුගයේ බුදුදහම ප්‍රචාරය කළේ සේද මාවත ඔස්සේය. එය අයත් වන්නේ මාධ්‍ය කලාවට බව අපි අමතක කර ඇත්තෙමු. දැන් අප පිළිපදින්නේ යුරෝපයේ හා ඇමෙරිකාවේ මාධ්‍ය කලාවය.
මිනිසුන්ගේ අසහනය වර්ධනයට මූලික හේතුව ආසියාතික අපේ ක්‍රමවේදවලින් මිදී, බටහිර පන්නයේ මාධ්‍ය ක්‍රියාකාරීත්වයකට හුරු වීමය. රටකට හොඳ දේ වෙනුවට හානි වන අන්දමේ ප්‍රවෘත්ති පළ කිරීම බටහිර පුවත් කලාවේ එක් අංගයකි. අප ජීවත් වන්නේ ස්වාධීනව නොවන බව ඇත්තකි. රට රටවල් එකිනෙකා මත යැපෙන බව සැබෑය. ඒවායේ බලපෑම අපට ඇති බව නොරහසකි. එහෙත් අප බුද්ධිමත්ව රට දියුණු කිරීම සඳහා කටයුතු නොකළ හොත්, මාධ්‍ය හැසිරවීම නොකළ හොත් එය මහත් හානියක් සිදු කරනු ඇත.
සෑම මිනිසකුම සැකැසී අැත්තේ කොටස් ගණනාවක් එක් වූ පද්ධතියක් ලෙසිනි. එහි එක් කොටසකට තනිව කටයුතු කළ නොහැකිය. එසේම මාධ්‍යයද පද්ධතියකි. එයින් අපට මිදීමට නොහැකිය. එහෙත් යහපත් පැවැත්ම ඇති කරගැනීම මේ සියල්ලේ අරමුණ විය යුතුය. යහපත් මාධ්‍යකරණය යනු යහපත් වාර්තාකරණයයි. ඒ සඳහා මාධ්‍යවේදියකු හැකි නම් දිනකට විනාඩි 5ක් සිත එක් අරමුණක පවත්වාගැනීම සඳහා භාවනා වැනි පුහුණුවක යෙදෙන්නේ නම් ඉතා වටින්නේය. නොසැලකිලිමත්කම වැරැදි මාධ්‍ය භාවිතයේ ආරම්භයයි.
යමකුගේ සිත නොරිදෙන අයුරින් තම වෘත්තියේ නිරත වන්නේ කෙසේද යන්න මාධ්‍යවේදීන්ට අවබෝධ කරගත හැකි හොඳම ක්‍රමය ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුව කටයුතු කිරීමය. ඕස්ට්‍රේලියාව, තායිලන්තය වැනි ලොව ඇතැම් රටවල් විශ්වවිද්‍යාලවල මාධ්‍ය අධ්‍යාපනය සඳහා මේ ක්‍රමය දැන් ඉගැන්වීම අරඹා ඇත. අඩුම තරමේ බෞද්ධ රටවල මාධ්‍යවේදීන් හෝ මේ ක්‍රමය අනුගමනය කළ යුතුය යන්න මගේ යෝජනාවයි.
ජනමාධ්‍යයේ අරමුණ විය යුත්තේ අලෙවිය නොව ජනතා යහපතයි. එවිට ජනතාව ජනමාධ්‍ය සමඟ ඒකාත්මික වනු ඇත.