ගැබිනි මවුවරුන් බේරාගත් මෙහෙයුම් | Page 6 | සිළුමිණ

ගැබිනි මවුවරුන් බේරාගත් මෙහෙයුම්

 කාලාන්තරයක් තිස්සේ දිවයින වසාගෙන සිටි නියඟය නිමා කරමින් වර්ෂාව ආරම්භ වූයේ මීට සති දෙකකට පමණ පෙරදීය. වැස්ස පැමිණීමත් සමඟ බොහෝ දෙනා සතුටින් ඉපිළ ගියහ. කලකින් ලැබුණු මේ වැසි දායාදය ඔවුහු සතුටින් වැලඳගත්හ. එහෙත් ඒ වැසි දෙවියන් හරහා මහ පොළොවෙන් සතුරන් බිහි වනු ඇතැයි අපේ රටේ ජනතාව මොහොතකට හෝ නොසිතන්නට ඇත. වැසි සතුට දුකට හැරීමට ගත වූයේ දින කිහිපයක් පමණි. බස්නාහිර, සබරගමුව, දකුණ ප්‍රමුඛව රටේ දිස්ත්‍රික්ක 8කම වැසි රකුසා සමඟ දිගින් දිගටම ජල රකුසා ජනතාව හඹා ආවේය. එයින් නොනැවතුණු සොබාදහම ඔස්සේ අපේ රටේ සිරියාව වැඩි කළ අලංකාර කඳු ශිඛරයන්ද සතුරන් බවට පත් වූයේ ක්ෂණිකවමය.

ජනතාවට උන් හිටි තැන් අහිමි විය. 'මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පවතී' යනුවෙන් දැක්වුණත් මේ අවස්ථාවේදී ජල මිතුරා ජල රකුසකු බවට පත් විය.

'මේ අනපේක්ෂිත ව්‍යසනය තව ටික වේලාවකින් අවසන් වේ!' යනුවෙන්, එසේත් නැත්නම් 'හෙට දිනයේ අවසන් වේ!' යනුවෙන් සිතා සිටි ජනතාවෝ කබලෙන් ළිපට වැටුණාහ. එන්න එන්නම සොබාදහම් මිතුරා රකුසකු බවට දෑත් විදහා ලන්නට විය.

වැහි වතුර එන්න එන්නම වැඩි වන විට ගංගා පිටාර ගලා පහත් බිම් යට වන්නට විය. කඳු කඩා වැටී ගමන් මාර්ග අවහිර විය. අවසානයේ බොහෝ ගම්බිම්වලට කිසිදු ආකාරයකින් ගොඩබිමින් ළඟා විය ‍නොහැකි ලෙසින් කොටු විය.

මේ තත්ත්වය දුටු විගස ත්‍රිවිද හමුදාවම විපතට පත් ජනයා බේරා ගැනීමටත් සහන සැලසීමටත් කටයුතු කෙළේය. පසුගිය 19 වැනිදා සිකුරාදා වන විට 1000කින් සමන්විත හමුදා බළඇණි මේ සඳහා යොදවා තිබිණි. එහෙත් ක්‍රමයෙන් ගංවතුර තත්ත්වය හා නායයෑම් දරුණු වන විට මේ ‍සහන සේවා කණ්ඩායම් ප්‍රමාණවත් නොවුණු හෙයින් සහන කණ්ඩායම් සංඛ්‍යාව වේගයෙන් දෙගුණ තෙගුණ වී ගියේය.

මෙහිදී විශේෂයෙන්ම අවශ්‍ය වූයේ ජීවිතයත් මරණයත් අතර සිටි ජනතාව බේරාගැනීමයි. ඒ සඳහා ත්‍රිවිධ හමුදාව එක්ව මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලදි.

මේ ක්‍රියාන්විතයන් අතුරින් විශේෂිතම ක්‍රියාන්විතයන් බවට පත් වූයේ ගුවනින් ගොස් කොටු වී ජීවිතයත් මරණයත් අතර සිර වී සිටි දහස් ගණනක පිරිස් බේරාගැනීමයි.

ඒ අවස්ථාවලදී දරුවන් බිහි කිරීමට ආසන්නව සිටි ගැබිනි මවුවරුන් මෙන්ම ඉතා අසාධ්‍ය තත්ත්වයේ සිටි හෘදය රෝගීන් ඇතුළු පිරිස්ද සිටියහ.

විශේෂයෙන්ම වර්ෂාවද අධිකව පැවති කලවාන ප්‍රදේශයේ පසුගිය 29 වැනිදා වාර්තා වූ සිදුවීම් දෙකක් ගැන මෙහිලා සඳහන් කිරීම වටනේය. එහෙත් එයින් ඉස්මතු වූයේ එක් සිදුවීමක් පමණි. එදින උදෑසන කලවාන දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරන ලද එම්අයි17 හෙලිකොප්ටර් යානයකට කලවානේදී පවුල් සෞඛ්‍ය සේවිකාවන් දෙදෙනකු විසින් ගැබිනි මවක් රැගෙන විත් ඇය දරුවා බිහි කරන්නට අසාධ්‍ය තත්ත්වයේ සිටි බව දැන්විමෙන් පසුව ගුවන් හමුදා‍ මෙහෙයුම් මැදිරියේ අවසරය පරිදි එහි නියමුවා ඇතුළු පිරිස පවුල් සෞඛ්‍ය සේවිකාවන් දෙදෙනාත් ගැබිනි මවත් රැගෙන රත්නපුර රෝහල වෙත ගෙන යෑමට කටයුතු කර ඇතත් ඇය අතරමඟදී දරුවා බිහි කර ඇත. රත්නපුර සීවලී ක්‍රීඩාංගණයට යානය ගොඩ බස්වා ඇති අතර, ඒ වන විටත් පැමිණ තිබූ ගිලන්රියෙන් ඇය හා දරුවා රෝහල්ගත කළද දරුවා මිය ගිය බව රත්නපුර රෝහලෙන් වාර්තා විය. බොහෝ මාධ්‍ය වාර්තා කරන ලද්දේ ගැබිනි මවගේ මේ දරුවාගේ මිය යෑම පමණි. එම දරුවා මිය ගොස් තිබුණේ අඩු මාසයකින් දරුවා බිහි කිරීම නිසා බවද අපට දැනගන්නට ලැබිණි.

එහෙත් එම ගමනින් පසුව යළිත් රත්නපුර සිට කලවානට භාණ්ඩ රැගෙන ගිය හෙලිකොප්ටර් යානයට දරුවකු ප්‍රසූත කිරීමට ආසන්නව සිටි තවත් කාන්තාවක රැගෙන විත් ඇත. ඒද පවුල් සෞඛ්‍ය සේවිකාවන් විසිනි‍. තපස්සර කන්ද ප්‍රදේශයේ පදිංචි මාතාවක වන ඇය දරුවකු ප්‍රසූත කිරීමට ආසන්න තත්ත්වයෙන් ගුවන් යානය වෙත ගෙනැවිත් තිබුණි. එම අවස්ථාවේදීද ගුවන් නියමුවා ප්‍රධාන පාලකවරුන්ගෙන් ලබාගත් අවසරය මත එම ගැබිනි බවද ආරක්ෂිතව රත්නපුර දක්වා ගෙන යෑමට හෙලිකොප්ටර් යානයට නංවාගෙන තිබුණු බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ග්රූප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා පැවසීය.

සාමාන්‍යයෙන් කලවානේ සිට රත්නපුර සීවලී ක්‍රීඩාංගණය වෙත ඒමට විනාඩි 15ක පමණ කාලයක් ගත වන බව පැවසූ මාධ්‍ය ප්‍රකාශකවරයා ගමනේ විනාඩි 8ක් පමණ හෙලිකොප්ටර් යානය ගමන් කළ පසු ගැබිනි මවට ප්‍රසූත වේදනා දැනී ඇතැයිද ඇය ඒ බව පවුල් සෞඛ්‍ය සේවිකාවට දන්වා ඇතැයිද ඔහු කීය.

'අනේ මට අමාරුයි...'

දරුවා ප්‍රසූත කිරීමේ ක්‍රියාවලියට අවතීර්ණ වූ බව ගැබිනි මව පැවසීමෙන් පසුව ඇයට අවශ්‍ය පහසුකම් හැකි පමණ යානය තුළ ලබා දෙන්නට ගුවන් හමුදා කාර්යමණ්ඩලය කටයුතු කළහ. ඒ බව නියමුවාට දැන්වීමෙන් පසුව ගමනේ ඉතිරි දුර ප්‍රමාණය හැකි ඉක්මනින් ගෙන යෑමට නියමුවා කටයුතු කර ති‍‍බේ. නියමිත වේලාවට පෙර හෙලිකොප්ටර් යානය ගොඩ බැස්වීමට ඔහු සමත්ව ඇත්තේ ඒ අනුවය. එසේම මේ මවට අපහසුවක් නොවන අයුරින් යානය ගොඩ බැස්සවීමේදී පරීක්ෂාකාරී වීමටද නියමුවා කටයුතු කර තිබේ. දරු ප්‍රසූතිය ආරම්භ කළ කාන්තාව ඒ සමඟම ගිලන්රියකින් රෝහල වෙත රැගෙන ගිය අතර, ඇය රෝහලට ඇතුළු කරනවාත් සමඟම සූතිකාගාරයට ඇතුළු කර ඇති අතර එම මවට පිරිමි දරුවකු ලැබී ඇත. තමාත් තම දරුවාගේ ජීවිතයත් බේරාගැනීම ගැන ඇය එම අවස්ථාවේදී පින් ලබා දී ඇත. තම ඥාතීන් පවා සොයාගැනීමට නොහැකි වූ අවස්ථායකදී තමන්ට සිදු වූ මේ අපහසුතාවයේදී පිහිට වූ සියලු දෙනා දෙවිවරුන් බව ඇය ප්‍රකාශ කර ඇත.

ගැබිනි මවට අපහසු බව දැනුණු අවස්ථාවේදී වේලාව අවේලාව කාලගුණය නොබලා කටයුතු කළ ගුවන් හමුදා නිලධාරීන්ටත් රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්යමණ්ඩලයටත් ඇය ප්‍රශංසාත්මකව පින් ලබා දී ඇත. ඇය බිහි කළ පිරිමි දරුවා මේ වන විට සුවදායක තත්ත්වයෙන් සිටින බවත් ගිහාන් සෙනෙවිරත්න මහතා පැවසීය. මේ කාර්යය එදා පවුල් සෞඛ්‍ය සේවිකාවන් ගුවන් හමුදා කාර්යමණ්ඩලය හා රත්නපුර රෝහල් කාර්යමණ්ඩලය යුහුසුලුව සිදු නොකෙරේ නම් මවගේ ජීවිතයත් දරුවාගේ ජීවිතයත් අපට අහිමි වන්නට තිබිණි.

එකම දිනයේ එකම යානයක එකම නියමුවකු විසින් මේ මාතාවන් හා දරුවන් බේරාගැනීමට ප්‍රයත්න දැරුවේ ඒ අයුරින්ය.

මාධ්‍යයට වාර්තා නොවූ මෙවන් සිදුවීම් රැසක්ම සිදුව තිබෙන බව රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර මහතා පෙන්වා දුන්නේය.  ගුවන් හමුදාව ඇතුළු හමුදා මෙහෙයුම් මගින් රත්නපුර රෝහලට පමණක් ප්‍රසූතියට ආසන්න ගැබිනි මාතාවන් 10කට වැඩි පිරිසක් රැගෙන ආ බවත්, අවාසනාවකට රෝහලට රැගන එන විටත් එක් මවක බිහි කළ දරුවකු මියගොස් සිටි බවත්, එම දරුවාද අඩු මාසයකින් බිහිව තිබෙන බවත් අධ්‍යක්ෂවරයා කීය.

එපමණක් නොව, මේ මෙහෙයුම් මඟින් හෘදය රෝගීන් රැසකගේ දිවි බේරා දීමට ගුවන් හමුදාව කටයුතු කර තිබුණු බවද අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය.

2009 වසරේ ත්‍රිවිධ හමුදාවම එක්ව මානුෂීය මෙහෙයුම් සිදු කළ අයුරින්ම මේ මෙහෙයුම් ක්‍රියාත්මක කෙළේය. එහෙත් මෙහිදී 2009 වසරට වඩා බරපතළ ප්‍රශ්නයක් වූයේ වර්ෂාව හා ජල ගැල්මයි. ගුවන් යානයක් පවා ගොඩ බැස්වීමට නොහැකි කාලගුණයක් සහිත තත්ත්වයක හා කඳු කඩාවැටීම් සහිත බරපතළ කාලගුණ තත්ත්වයක් යටතේ මේ ක්‍රියාදාමයට අවතීර්ණ වීමට සිදුව තිබිණි.

එවන් තත්ත්වයක් යටතේ සිදු කරන ලද මේ මෙහෙයුම් නිසා ජන ජීවිත දසදහස් ගණනක් බේරා ගැනිමට ත්‍රිවිධ හමුදාවට හැකි විය. හමුදාවේ මේ ක්‍රියාන්විතය නොවන්නට මිය ගිය සංඛ්‍යාව දහස ඉක්මවනු නිසැකය.

අයහපත් කාලගුණික තත්ත්වය ආරම්භ වූ පළමු දින දෙක තුළ පමණක් 3600කගේ දිවි බේරාගැන්මට හමුදාවට හැකි වූ බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පැවසීය.

යුද හමුදාවේ පමණක් 5085ක නිලධාරීන් සහ සෙබළුන් මේ කාර්යයයේ නියැළෙමින් සිටි බවත්, මේ වන විටත් එම පිරිස් සේවයේ යෙදී සිටින බවත් ඒ මහතා පැවසීය. දියගොඩ දෙකෙහිම යා හැකි යුද හමුදා රථ ඇතුළු විශේෂ රථ 57ක් මේ කාර්යය සඳහා යොදා ගෙන ඇති බවත් බ්‍රිගේඩියර්වරයා පැවසීය. එක දිගටම මේ නිලධාරීන් සහ සෙබළුන් සේවයේ යෙදී සිටින්නේ පුදුමාකාර කැප වීමකිනි.

අවුව වැස්ස රෑ දහවල් වෙනසක් නැතිව රට රැකගැනීමට වෙහෙසුණා සේ තමන් නොකා නොබී තමන් උදෙසා පිසින ලද බත් පත අසරණ වූවන්ට ලබා දී ඔවුන්ගේ කුසගින්න නිවන්නට තරම් මේ හමුදා පිරිස් කෘතඥ වූහ. යුද හමුදා පිරිස් මේ වන විට ගංවතුර නාය යෑම් හා ගස් කඩාවැටීම් ඇතුළු ආපදාවන්ගෙන් අවහිර වූ මාර්ගවලින් 95%ක් පමණ බාධා ඉවත් කර ඇති බවද බ්‍රිගේඩියර්වරයා කීය. මේ වන විට මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු මාර්ග සම්බන්ධ ආයතන වෙත එම මාර්ග අලුත්වැඩියාව පිණිස ඉඩ සලසා ඇති බවත් මෙ වන විට හමුදාව නිරතව සිටින්නේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කර ගැනීමට අවශ්‍ය සුද්ධ පවිත්‍ර කිරීම් ඇතුළු කටයුතු සඳහා බවත් ඔහු පැවසුවේය. එසේම ළිං සුද්ධ කිරීමට හා රෝහල් ඇතුළු රාජ්‍ය අත්‍යවශ්‍ය ආයතන යථා තත්ත්වයට පත් කිරීමට මේ වන විට යුද හමුදාව කටයුතු කරන්නේ ඉමහත් පරිශ්‍රමයක් දරමිනි.

එසේම නාවික හමුදාවද යාත්‍රා 169ක් සමඟ නාවික හමුදා නිලධාරීන් හා නාවික සෙබළුන් 1000කට වැඩි සංඛ්‍යාවක් මේ සහන සේවාවන්ට යොදා ඇති බවත් බ්‍රිගේඩියර්වරයා කීය.

එසේම ගුවන් හමුදාව විසින්ද හෙලිකොප්ටර් යානා 11ක්ද වයි12 යානා 2ක්ද තවත් මඟී ප්‍රවාහන යානාවක්ද මේ සහන කටයුතු සඳහා යොදා තිබුණු බවද අවාසනාවකට එක් ගුවන් හමුදා සෙබළකු ගංවතුරින් අවතැන් වූවන් බේරාගැනීමට ගොස් මිය ගිය බවද ඒ මහතා කීය.

ඉදිරි සතිය වන විට මේ සහන කටයුතු සේවා බොහෝ දුරට නිමා වනු ඇත. ඒ යළිත් වර්ෂාව හානි නොකළොත්ය. ඒත් ජනතාවට යළිත් සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ එයින් පසුවය. විශේෂයෙන්ම ඩෙංගු රෝගය මෙන්ම වසංගත රෝග පැතිරයෑමේ අවදානමක් මේ සමඟම ඇතිවීමට ඉඩ ඇති බව මේ වන විට සෞඛ්‍ය අංශ මඟින්ද අනතුරු අඟවා ඇත. හමුදාවට සියල්ල සිදු කළ නොහැකිය. අපේ පිරිසිදුකම අප විසින්ම සකස් කර ගත යුතු වේ. තම තමන්ගේ නිවාසවලට ගිය වහාම පවිත්‍ර කර ගැනීමෙන්ම සිදු කර ගත යුතු වේ. එසේ නොකළහොත් මීට වඩා ජීවිත හානි සිදු විය හැකිය. 

තාරක වික්‍රමසේකර
සේයාරූ - ගුවන් හමුදා හා යුද හමුදා මාධ්‍ය ඒකක 

Comments

පිටු