
සිරිපා හිමේ අසිරිය පිළිබඳ බොහෝ දෙනා උනන්දු වී කටයුතු කිරීම අපට සතුටකි. මේ කඳු ශිඛරයේ හා බෑණ සමනළ කඳු වළල්ලේ සැඟැව ගිය ගුප්ත හා සුන්දර සිදුවීම් එකින් එක පෙළ ගස්වන්නට ඔබේ අත්වැල අපට මහඟු සම්පතක් ද වෙයි.
බළන්ගොඩ නගරයට කිට්ටු තැනෙක වැඩ වෙසෙන වටද්දර ඤාණිස්සර හිමියන් අපේ මතවලට තරමක් වෙනස් මත පළ කැරිණි. ඒ ගැන සංවාදගත වන්නට මේ අවස්ථාව නොවේ.
“බුදුහාමුදුරුවො ලංකාවට වැඩියෙ මේ වගේ නිරිතදිග මෝසම් කාලේ. තම්මැන්නාවත් තියෙන්නෙ මෙහෙ. ඔය කූරගල පර්වතේට ගෞතම බුදුන් පමණක් නොවේ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන තුන් බුදුවරයන් වහන්සෙලාත් වැඩලා තියෙනවා.”
මෙවැනි මත ගැන පුරා විද්‍යාත්මක සාධක අනුව කතා කරන්නට වෙනම අවස්ථාවක් ගත යුතුය.
බුදුගල රජ මහා විහාරයේ වැඩ වසන බළන්ගොඩ කල්තොට දකුණු ඉවුර විද්‍යාලයයේ පාඨශාලාචාර්ය ධර්මාචාර්ය කල්තොට ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි බුදුගල සෝමරතන හිමියෝ ද මා සමඟ සම්මුඛ වූහ.
අරිට්ඨකීවෙන්ඩු
මං ඉතිහාසයක් එක්ක මේ ගැන කරුණු දක්වන්නට කැමැතියි. සිරිපා හිමේ මහා අඳුරු කාලයක් තිබුණා. ඒ කාලේ මේ සමන්ත කූඪයේ ශිව දේවාලයක් පවත්වලා තියෙනවා. සීතාවක රාජසිංහ රජකම් කළ කාලයේ අරිට්ඨකීවෙන්ඩු ඇමැතියාගේ කීම් බස් අනුව අපෙ හාමුදුරුවන්ට බොහෝ හිරිහැර කළ බව මේ රටේ මිනිස්සු දන්නවා. ඔහු මිථ්‍යා දෘෂ්ටියට වැටිලා මේ තරම් වටිනා පූජනීය ස්ථානයක පවා ශිව කෝවිලක් පැවැත්වුවා.
ඒ වෙලාවේ සිරිපාදය බේරගන්ඩ සිංහ ලීලාවෙන් සටනට බැස්සේ රත්නපුර පැල්මඩුල්ල පොත්ගුල් රජමහා විහාරයේ මහා නායක හාමුදුරුවෝ. සීතාවක රාජසිංහට බයේ සියලු දෙනා හැංගෙද්දී උන්වහන්සේ ශ්‍රී පාදස්ථානය බේරා ගන්න පෙරට ආවා.
සඟරජ හිමියන්ගේ ගුරු හිමි
මේ නායක හාමුදුරුවෝ ධර්මකීර්ති ශ්‍රි මඩගම්මන නමින් තමයි හැඳින්වුණේ. උන්වහන්සේ සීතාවක රාජසිංහට එරෙහිව අභීතව මේ සබරගමු සිංහලයන් සමඟ පෙරට ගිහින් මේ ශිව කෝවිල ගලවලා නියම පිරිසුදු ශ්‍රී පා පද්මය නැවත එළිපෙහෙළි කළා. උන්වහන්සේ අසරණ සරණ වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන්ගෙත් ගුරු හාමුදුරුවෝ.
ඊට පසුකාලීනව මහනුවර ශ්‍රී වීර නරේන්ද්‍රසිංහ රජ්ජුරුවෝ තඹ සන්නසකින් ශ්‍රී පාදස්ථානයේ භාරකාරත්වය ඒ පරම්පරාවට ලබා දෙන්නේ ඉහත කී සිද්ධියත් සලකාගෙනයි. කිරිඇල්ලේ ඥානවිමල හිමියන්ගේ “සබරගමුවේ පැරැණි ලියකියවිලි’ කියන පොතේ ඒ ගැන සඳහන් වෙනවා.
රතු රෙදි කඩක්
එළාර රජ්ජුරුවන්ගේ යෝධයෙක් හිටියා දීඝජන්තු කියලා. එයා ක්‍රි.පූ. 161 පමණ කාලේ ශ්‍රී පාදස්ථානයට පැමිණි ජනප්‍රවාද තියෙනවා. එය ජනප්‍රවාදගත ප්‍රවෘත්තියක් පමණක් නොවේ. ‘මනෝරථපුරණිය’ හරහා තමයි මේ පුවතට පණ ලැබෙන්නේ. ඒ කාලේ ශ්‍රී පාදස්ථානය මුදුනත ආකාස චෛත්‍ය නමින් හඳුන්වා තිබෙන්නෙ. දීඝජන්තු යෝධයා රතු රෙදි කඩක් සිරිපා හිමයට පූජා කරලා තියෙනවා.
(මීට අමතරව ඉබන් බතුතා මුස්ලිම් නායකයන් ගැන ද රණශූර මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා ද ක්‍රි.පූර්ව යුගයේදි සිරිපාදය වැඳ පුදා ගත් බව ද අසන්නට තිබේ. ඒවා තවත් දවසක කතා කරමි.)
බුදුගල හිමියන්ට සමුදී අපි නැවත පුංචි දඹදිව විහාරාධිපති රත්ගඟ පන්සලේ දෙවිපහල දේවමිත්ත හිමියන්ගේ තොරතුරු කෝෂ්ඨාගාරය යළි අවදි කර ගනිමු. උන්වහන්සේ අප වෙනුවෙන් සැදී පැහැදී සිටිති.
දුම් ගස්
සමනළ කන්දේ තවත් සුවිශේෂ ප්‍රදේශයක් තිබෙනවා දුම්මලතැන්න කියලා. මේ ප්‍රදේශයේ බොහොමයක් තිබෙන්නෙ දුම්ගස්. බේබි සිඤ්ඤෝ දැන් වයසයි. එයා මේ පැත්තට ගිය කෙනෙක්. මාත් ඒ කාලෙ ගියා. මේ දුම් ගස් යාය කිලෝ මීටර 7 - 8 ක් විතර ඇති. මේ ගස්වලින් ඉටි වැක් කෙරෙනවා. මේ වැක් කෙරෙන ඉටිවලින් තමයි දුම්මල හදාගන්නේ. කෙනෙක් කියලා ගියොත් මං දුම්ගස් හොයාගෙන කම්මල් හතු හොයාගෙන නැවත එනවා කියලා එයාට මුකුත් ම ලැබෙන්නෙ නෑ, ඒක දෙවියන්ගේ මහා බලය තිබෙන පෙදෙස.
කම්මල් හතු
මේ ප්‍රදේශයෙන් තරමක් එපිට නියකඳුර ඇළින් එගොඩ කම්මල් හතු දිගට ම තියෙනවා. ඉතාම පෝෂ්‍යදායි ආහාරයක්. ඊටත් අමතරව වල් එනසාල් ඕනෑ තරම්. මිනිසුන්ගේ ආර්ථිකයට ලොකු හයියක් ෙවච්ච මේ බෝග හොයන අදහසින් ම ගියොත් ලැබෙන්නෙ නෑ. ඒත් ලැබුණොත් අරන් එන්න පුළුවන් හැඟීමෙන් ගියොත් ලාබයක් වෙයි.
බෑණ සමනළට පහළින් පිහිටි ගැරුම් දෙණිය තවත් විස්මිත තැනක්. මේ ප්‍රදේශයේ හරියට මැණික් ගල් තියෙනවා. ඒවා පැරැන්නො පවා දන්නවා.
විශාල පිරිසක් මේ තැන බලන්න යන එනවා වුණත් නියම තැන් වනයේ තියෙන්ෙන. මේ තැන්වල මැණික් ගරන්න කාටවත් බලපත්‍ර නෑ.
ඒත් මිනිස්සු වන වදුලේ ඈත තැන්වලට ගිහින් සමන් දෙවියන්ට බාර හාර වෙලා කනිපින්දම් කියලා මැණික් ගරනවා.
තිරුවානා ගල්
ඒ පහළ ගල් ලෙන්වල ඒ අය නවතින්නෙ. කම්මල් හතු එක්ක බත් උයාගෙන කාලා දවස් 4 - 5 නවතිනවා. පුදුමය කියන්නෙ මෙහිදි හමුවන මැණික් විශේෂ හරිම වටිනවා. නිල් හා රතු කැට වශයෙන් හමුවන මැණික් දවස් 5 ක් ඇතුළත පහළට ගෙනෙන්න ඕනෑ. නැත්නම් මේ මැණික් නිකම් ම නිකම් තිරුවානා කැට බවට පත්වෙනවා. මෙය අත්දුටුවයි සත්තයි කියලා ගැරුම්දෙණියේ ගැරුම්කරුවො කියන්නෙ. මේ ප්‍රදේශය අක්කර 15 - 16 ක් විතර විශාලයි.
අපේ ගමේ බේබි සිඤ්ඤෝ කියලා මහත්මයෙක් කට්ටියක් එක්ක ඔය කියන ගමන් ගිහින් තිබෙනවා. මේගොල්ලො නවතින්නෙ ‘කුරුඳු තළාපු ගල්ලෙන’ කියලා තැනෙක. මෙයා ගල්ලෙන කිට්ටුව මහා විශාල වළක් හාරලා කට්ටියත් එක්ක ගැරුම් කටයුතු කරන්න. හිටි ගමන් මහා වර්ෂාවක් ඇවිත් ඒ හරියෙ තිබෙන දඹ ගස් පේළියෙන් මහා දැවැන්ත ගසක් අර වළ උඩට වැටිලා සම්පූර්ණයෙන් ම වළ වැහිලා. මේ අය තමන්ගෙන් වූ වරදට සමාව ඉල්ලාගෙන යම්තම් පහළට ආවෙ.
සුදු හඳුන් සුවඳ
අනෙක මේ මායිමේ ඉරරාජ, සඳරාජ, වනරාජ වගේ ඖෂධ හැමතැන ම තියෙනවා. ගැරුම්දෙණිය අවට මේ ගස් හැමතැන ම. රාත්‍රියට අර කුරුඳු තළාපුගල්ලෙන පැත්තට පුදුමාකාර සුවඳක් දැනෙනවා. සුදු හඳුන් සුවඳක්. කෙම්මුර දවස්වලට තමයි මේ සුවඳ එන්නේ. මේ පළාතේවත් සුදු හඳුන් ගස් නෑ. එහෙම වෙද්දි මේ සුවඳ එන්නේ මළුවට වඩින දේවතාවන්ගෙන් කියලා තමයි බොහෝ අයගේ මතය. සුදු හඳුන් ගස් නැතිව සුදු හඳුන් සුවඳ හමන්නෙ කොහොමදැයි මේවා බොරුය කියන කාටවත් ඔප්පු කරන්න බෑ.
අලියා වැටුණු පේළිය
තවත් තැනෙක මීදුම් කැටියට නිතර වැහෙන අලියා වැටුණුපේළිය කියලා කඳු වළල්ලක් තියෙනවා.
මේ කඳු වළල්ලේ මැදින් එක්තරා ඇල්ලක් පහළට වැටෙනවා. රිදී දිය පාට වතුර හොඳට පැහැදිලි දවසක දකින්න පුළුවන්. මේ ඇල්ල ළඟින් පල්ලෙහා තරමක හෙළක්.
ඇල්ල ළඟින් දෝතළු ගහක් තිබෙනවා අතු පතර විහිදුණු. කුරු ඇතෙකු ඇවිදින් අර දෝතළු ගහේ අතු කඩන්න. ඌ ඇදගෙන වැටුණලු පහළට.
එදා ඉඳන් තමයි ඇතා වැටුණු පේළිය කියලා මේ හරියට කියන්නේ. දවසක් දඩයක්කරුවෙක් ඒ පල්ලෙහා හෙළ මායිමේ ඇවිදිනකොට ගල් පොත්තක් දැකලා විඩාවට තරමක් නැවතුණාලු. නිල මැස්සන් පිරිලා ශබ්දය. බලනකොට එයා වාඩිවෙලා ඉඳලා තියෙන්නෙ අර අලි මළකුණ උඩයි. එයා තමයි අලියා ඇල්ල ළඟින් පහළට රූටා ගිය බව තේරුම් ගත්තේ.
මුළාවැන්න
මේත් අමුතු ම හරියක්. මං මුළාවැල් කීවා ම කවුරුත් මේවා දැකලා නෑ. ඒත් මේ හරියට කවුරුහරි ගියොත් දැක ගන්න පුළුවන්. හැබැයි! මේ වැල් පෑගුණොත් ඉතින්! දෙයියන්ගෙම පිහිටයි. දවස් ගණනක් ගෙදර එන්න පාර හොයාගන්න බැරිව හිමේ කරක් ගහන්නට පුළුවන්. අපේ බේබි සිඤ්ඤෝ වරක් මංමුළාවැල් පෑගිලා දවස් ගණනක් කරකැවිලා දේව වරමින් නැවත ආවෙ.
නාගයෙක්ගේ බියකරු හඬ
කුරුඳු තළාපු ගල්ලෙන අවට අපූරු දේ සිදුවෙනවා. මිනිස්සු කියනවා රාත්‍රියට මෙහි නවාතැන් ගන්නා අයට සමහර කෙම්මුර දවස්වලට නාගයෙකුගේ බියකරු හඬක් ඇහෙනවා කියලා. සාමාන්‍යයෙන් නාගයකු හඬන්නේ සල්ලි බිම වැටෙන හඬින්. ඒත් මේ හඬ බියකරුයි.
වසර 20 ක පමණ පෙර මේ අත්දැකීම අපේ ලොකු හාමුදුරුවොත් ලැබුවා. මේ නාගයාගේ විශාලත්වය ඒ හඬින් තේරෙනවාලු. අපි බෞද්ධ සාහිත්‍යයේ අහලා තියෙනවා නේද? මහාකෙළ නාගරාජයා ගැනත්. ඊටත් අමතරව විෂ්ණු නිදාගන්නෙ ඒ නාග දරණයේ කියලත් අහපු මිනිස්සු.
ඉතින් ඒ වගේ දැවැන්ත නයෙක් වෙන්නැති. හැබැයි! මෙහෙම කෑ ගහපු දාට පහුවෙනිදා පහළ ගමේ ඉලව් ගෙයක් වෙනවාමයි කියලා ගමේ මතයක් තියෙනවා. පහළ ගම් තමයි කුඩාව, නිල්වල හා ඉඹුලකන්ද වගේ තැන්.
තරුණිය අතුරුදන්
අලියා වැටුණු ඇල්ල හා පේළිය ළඟ අපේ බේබි සිඤ්ඤෝ ගල්ලෙනක නැවතුණා. මිනිහා තනිකඩයා. ඒ කාලේ හරි ම විසේකාර තරුණයා. මහ රාත්‍රිය සඳ එළිය වනාන්තරේ ගහකොළට වැටිලා වැටුණු වැටුණු තැන්වල එක එක පාට අල්ලි.
හරිම චමත්කාරයි. මිනිහා මේ දිහා බලා ඉන්නකොට ඉතා ම මිහිරි බටනළා වාදනයක් ඇහිලා. එයා කල්පනා කළා දැන් කිලෝ මීටර 5 - 6 ක් උඩ තමා ඉන්නෙ. මේ මහා වනාන්තරේ මෙතරම් මිහිරි බටනළා වැයුමක් කොහෙන්ද එන්නෙ. මේක නම් බලන්නම වැඩක් කියලා මිහිනා හිමිහිට ගල්ලෙනෙන් ඉවතට එනකොට මේ හඬ එන්නෙ ගල්ලෙන උඩින් ම බව වැටහුණා.
වස්දඬු රාවය
එයා තව ටිකක් ළංවුණා. බලනෙකාට ඉතා ම සුන්දර තරුණියක් ගල්ලෙන උඩ වාඩිවෙලා බටනළාව වයනවා. මේ වස්දඬු රාවය මොන තරම් මෝහනීයද කියලා කියන්නෙ බේබි සිඤ්ඤෝ හෙමිහිට ගල්ලෙනෙටත් නැඟුණා. තරුණිය ළඟට කිට්ටු කළා. එයා ළඟට ම යනකොට ඇය එකවර ම අතුරුදන් වුණා. මේ ගැන තවමත් එයාට හිතාගන්න බෑ. කතා කරන කොටත් මිනිහා බයෙන් වගේ.
පුංචි දඹදිව හිමියන්ගේ තවත් විස්මිත තොරතුරු අතර මා බුදුගල හිමියන් කියූ අපූරු හාස්කම් කතාවකින් අදට නතර වෙමි.
එක් වතාවක් මුල්ගම කියන පළාතේ කට්ටියක් ශ්‍රි පාද වන්දනාවේ යන්න සූදානම් වුණා. බස් එකේ ආසන ප්‍රමාණයට කට්ටිය සංවිධානය කරලා ඒ අයට පමණයි සහභාගී වෙන්න සංවිධායකයින් ආරාධනා කරලා තිබුණෙ. ඒත් උදේ 5 ට විතර මේ කට්ටිය බසය ළඟට එක්රැස් වන විට එක කාන්තාවක් තමන්ගෙ අම්මත් සමඟ වන්දනාවේ යන්න ඇවිත්. දැන් මේ අම්මට ආසනයක් ලබා දෙන එක ප්‍රශ්නයක්.
හරියට ම ආසන ගණනට ආරාධනා කැර තිබුණෙ. එක් සංවිධායකයෙක් අර කාන්තාවට කීවා අපි කීවනෙ එක් අයකුට පමණයි ආසනය තියෙන්නෙ කියලා. දැන් කෙනෙකුට හිටගෙන යන්න වෙනවා නේද? කියලා. අර තරුණිය කේන්තියෙන් කීවලු. ‘අනේ, රෙද්ද ඕක මොකක්ද? අපෙ අම්මා ගිජ්ජකූඪ පර්වතේ පවා ගියානේ කියලා සමච්චලයට කතා කළාලු. මේ කතාබස් අතරේ එක්තරා තරුණයෙක් නැඟිටලා තමන්ගෙ ආසනය පිරිනමලා ප්‍රශ්නය විසඳවාලු. අර තරුණිය කීවෙ ගිජ්ජකූඨ පර්වතේ ගිය අම්මට සමනළකන්දෙ යන්න නැතිවුණාට මොකෝ? වගෙ කතාවක්.
සාම චෛත්‍යය පෙනි පෙනී
අර අම්මා සිරිපා නඟිද්දි සාම චෛත්‍යය පෙනි පෙනී හිටිගමන් කකුල පැටලිලා වැටුණා. ආයෙත් අම්මව කෙළින් කරලා හිටවලා ගෙනියගන්න බැරි වුණා. අම්මටයි දුවටයි සිද්ධ වුණේ සාම චෛත්‍ය ළඟ ඉඳල් මළුව වඳින්නයි.
තවත් රසබර කොටසක් ලබන සතියේ