අවසානයේ සොහොන් ගෙයද ගිලී ගියේය | සිළුමිණ

අවසානයේ සොහොන් ගෙයද ගිලී ගියේය

 ලෝකය සොඳුරුය. ඒ සුන්දරත්වය තුළ සියල්ල සැඟැවී තිබේ. තිත්ත බෙහෙතක් මී පැණියෙහි ලා වළඳන්නා සේ ලෝ වැස්සෝ ඒ මියුරු බවෙහි ගිලී රස විඳිති. ඒ රස ගුලාවෙහි අයුරු මේ යැයි කියමින් නිල් අහස අඳුර වෙලා ගනිමින් ගුගුරා වැටිණ. ඒ දියෙන් පොළොව තෙමී නැහැවී ගියේ ය. ගංගාවෝ උතුරා ගැලූහ. කඳු වැටි කඩා හැලිණ.

දනෝ වේදනාවට ද, පීඩාවට ද, මරණයට ද පත්වූහ. තමන් ගේ යැයි රැස් කරගත් සියල්ල බොර දියෙහි සැඟැව ගියේ ය. ඇඳි වත පමණක් ඉතිරි වූවෝ හඬා වැටුණහ.

තණ්හාවෙන් ආශාවෙන් පීඩිත ලෝකයට මේ පොසොන් සමයේ බුදු බණ සිහිකර දීමට ස්වභාව ධර්මය කටයුතු යෙදුවේ එසේය.“අහෝ මගේ සබ්බ සකල මනාවම වතුරෙහි ගියේය.”, “අහෝ මට අහිමිව ගියේ මගේ දරුවාය, මගේ සැමියා ය, මවය,“යැයි කියමින් හඬන්න පිරිස්ය.

මේ මහ පොළොවෙන් තමන්ට හිමිව ඇති සිව් රියනද කැලණි ගඟ ගිල ගනිද්දී නිසලව නිදා සිටින්නේ මේ මිහිතලය තමන්ගේ යැයි උරුම කම් කී මිනිසුන්මය. පොළොව කඩා බිඳ දමමින් ගලා ආ කැලණි ගඟ මේ නිදා සිටින මිනිසුන්ගේ උරුමය ද උදුරා ගනිමින් තිබිණ. ඒ සොහොන් බිමෙහි සොහොන් ගෙය ද ගලා ආ ජලයේ ගිලෙමින් තිබිණි.

ඒ සොහොන් ගෙය තුළ ඒ මේ අත සක්මන් කරමින් සිටින වයෝවෘද්ධ මිනිසෙකි. සොහොන් ගෙය ජලයෙන් පිරීගිය කල කොහි නිදන්නේ දැයි ඔහු සිතමින් සක්මන් කරන්නට ඇත. එය කමටහනක් වූවා නම්...

ඔහුගේ සක්මන නවතා ලූයේ ගංදියෙහි ගිලි යමින් තිබුණු සොහොන් බිම මැදින් සොහොන් ගෙය වෙත දිව ගිය මගී කාන්තාවකි. ඇය මිනිසා උස් බිමක් වූ මාවත වෙතට කැඳවා ආවේ ය.“සීයේ මේ හරියටත් ගංවතුර එනවා. රටේ හැම තැනම යට වෙලා පන්සලට යන්න” යි කීවේ ය. වියපත් මිනිසා ගිලී ගිය දුක්බර දෑසින් ඇය දෙස බලා සිටියේ ය.“මම මගේ සරම අරගෙන එන්නම්” වෙව්ලන හඬින් කීවේය. “මොන සරම් ද ඒක ගන්න වෙලාවක් නැහැ.” ඇය අණ කළාය. ඔහුගේ දිවි බේරා දුන්නද ඇය ඔහුට තිබූ එකම වත්කම වු සරම අහිමි කළාය. ධනවතකුගේ සියලු වත්කම් තරාදියක එක් පසෙකටත් ඔහුට හිමිව තිබු එකම සරම අනෙක් පසටත් දැමු කල බර සමානය. තරාදිය නිශ්චල වේ.

ලොව එදා මෙදා තුර පහළ වු ධනවත් ම මිනිසා සුදස්සන රජතුමාය. එතුමාට අසූ හාරදහසක් රන්ය. අසූ හාරදහසක් අසුන්ය, එපමණට ඇතුන්ය, එපමණටම රථය. එපමණක් නොව අසූ හාර දහසක් බිසොවරුය. අසූ හාරදහසක් ධනයය... එවන් වූ සුදස්සන රජුගේ ද ධන ධාන්‍ය සම්පත් ඔහුට අහිමි වී ගියේ ය. මෙලොව හිමිවන සියල්ල අතපත් ගොම බිඳක් සේ දියැවී වියැකී යන්නේ යැයි යැයි බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන්ට දෙසූහ.

ඒ වියපත් මිනිසාට එසේ කියන්නට කෙනෙක් සිටියේ නැත. තමන්ට රැකවරණය දුන් සොහොන් ගෙය දෙස කෘතවේදිව බලා සුසුමක් හෙළා ඔහු බිම බලාගෙන යන්න ගියේ ය. මෙතෙක් කල් අවු වැසි සුළං පීඩාවන්ගෙන් තමන්ට රැකවරණය දුන් සොහොන්ගෙය තමන්ට ඉතිරිව තිබූ එකම වත්කම ද සුරක්ෂිත කරනු ඇතැයි සිතමින් ඔහු යන්නට ඇත.

එහෙත් එසේ වූයේ නැත. සොහොන් බිම ද සොහොන් ගෙය ද සැනෙකින් ගලා ආ ගංදියෙහි ගිලී ගියේ ය. අප සියල්ලන්ට මෙන් ඒ වියපත් අසරණ මිනිසාට ද සියල්ල අහිමි වී ගියේය.

සේයාරූ - සුදම් ගුණසිංහ
ටෙක්ලා පද්මිණී කාරියවසම්

Comments