හානි වූ නිවාසවලට ලක්ෂ 25ක වන්දි | සිළුමිණ

හානි වූ නිවාසවලට ලක්ෂ 25ක වන්දි

ගංවතුරෙන් හා නාය යෑම්වලින් විපතට පත් ජනතාවගේ නිවාසවලට රුපියල් ලක්ෂ 25ක් දක්වා වන්දි මුදල් ගෙවීමට කටයුතු කරන බව ජාතික රක්ෂණ භාර අරමුදලේ සභාපති මංජුල ද සිල්වා මහතා පවසයි. පසුගිය වසරේ ඇති වූ මෙවන් ගංවතුර හා නාය යෑම් නිසා විපතට පත් වූවන්ගේ නිවාස වෙනුවෙන් රුපියල් කෝටි 300ක වන්දි මුදල් ගෙවා ඇති බවත්, එහි අවසන් අදියරේ වන්දි ගෙවීම් මේ වන විට සිදු කෙරෙන බවත් ඔහු කීය.

මෙවර ගංවතුර හා නාය යෑම්වලින් නිවාස 7000ත් 8000ත් අතර ප්‍රමාණයකට හානි සිදුව ඇති බවද, මේ සංඛ්‍යාව 10000ක් පමණ දක්වා වැඩි විය හැකි බවද ඒ මහතා කීය. සම්පූර්ණයෙන්ම හානි සිදු වූ නිවාස සංඛ්‍යාව 700ක් පමණ බවද ඔහු පැවසීය. නිවාස හානි තක්සේරුව අනුව නිවෙසකට උපරිම වශයෙන් ලක්ෂ 25ක මුදලක් ලබා දෙන බවත්, විනාශ වූ භාණ්ඩ වෙනුවෙන් උපරිම රුපියල් 25000ක් දක්වා වන්දි මුදලක් ගෙවනු ලබන බවත් ඒ මහතා කීය.

එමෙන්ම මිය ගිය අයකු වෙනුවෙන් පවුලේ යැපෙන්නන්ට රුපියල් ලක්ෂයක මුදලක් ජාතික රක්ෂණ භාර අරමුදලෙන් ලබා දෙන බවත් ඒ මහතා පැවසීය.

එසේම අවතැන් වූවන්ට සහන සැලසීම සඳහා මේ වන විට ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට රුපියල් මිලියන 125ක් ‍මේ වන විට ලබා දී ඇතැයිද ඒ මහතා කියා සිටියේය.

ජාතික රක්ෂණ භාර අරමුදල විදේශීය සමාගම්හි ප්‍රතිරක්ෂණය වී ඇති හෙයින් අරමුදලට රක්ෂණ වන්දි ගෙවීම් සම්බන්ධව කිසිදු ගැටලුවක් නොමැති බවද සභාපතිවරයා කීය. 

Comments