සාටෝ­පය පසු කර­ගෙන යෑම... | සිළුමිණ

සාටෝ­පය පසු කර­ගෙන යෑම...

මම කවුළු පියන්පත් හැර දැමීමි. පෙරදා රාත්‍රියේ වට වැස්සෙන් ප්‍රමුදිත ව ගස්, වැල්, මල් සිනාසෙමින් සිටී. දිය බී නැවුම් පුසුඹක් නිකුත් කරමින් පොළෝතලය වඩාත් සෞම්‍ය ව මගේ දෙපයට පෑගේ. අම්මා සහ මිහිකත ගද්‍ය කාව්‍යයේ එන වාරි මාර්ගයේ උසැති පස් පිඩැල්ල ඉතා ම මෘදු කොට්ටය සේ දැනුණු සුවන්කුලන්ගේ හා තල්ගනායිගේ කුඹුරේ ගෙවුණු පළමු රාත්‍රිය මට සිහිපත් වේ. මිහිකත ඔවුන් ට සුව යහනාවක් ව කිසිදු කෙඳිරියකින් තොර ව ජීවිතය විඳින්නට අවැසි අපමණ සුවදායී බව මිහිකතගේ ම දරුවන්ට දුන් බව ම සිත කොඳුරයි.

මිදුලේ කොනක සුදු පැහැති බොත්තම් වැනි යමක් තිබෙනු පෙනේ. මම එදෙසට පියමැන්නෙමි.

සොබාදහමේ විස්මය ජනක හැසිරීම! පුදුමයෙකි, මීට සති දෙකකට පමණ පෙර හිරු ගිනිගෙන දැවෙමින් දැඩි අවු රශ්මියේ පීඩාවෙන් මිහිකත හෙම්බත් කළ දිනක අප කොමඩු කා විසි කළ බීජ පළමු වැහි රැල්ලෙන් ප්‍රමුදිත ව දෙවැනි වැහිරැල්ල මිහිකත මතට වැටුණු සැණින් ප්‍රාණය ලැබ පොළොවෙන් උඩට මතුවෙන අරුමය! දිය බී ගත් විලස පොළොව හා සංයෝග වන බීජය පස ඇතුළට කිමිදෙමින් මිහිකත හා ගොඩනඟන අපූර්ව බැඳීම සදිසි නිර්මාණකරණය පිළිබඳ උපන් සිතිවිලි ධාරාවෝ ම සිත අරක් ගති.

කාලය, පරිසරය, ආදරය නිර්මාණකරණයට කොතෙක් බලපෑම් කරන්නේද? කාලයාගේ විනිශ්චය තරම් නිර්මාණයකට ලැබෙන අව්‍යාජ විනිශ්චයක් තවත් නැත. ගම්පෙරළිය, චරිත තුනක්, තුංමංහන්දිය, සෙදෝනා මතු නොව මනමේ, නරිබෑනා, දුන්න දුනු ගමුවේ වැනි නාට්‍ය පවා කාලයේ ඉක්ම යෑමත් සමඟ සර්වකාලීන විශිෂ්ටත්වය උදාකර ගෙන ඇත්තේය. වත්මනෙහි සම්මාන ලබන කෘති ද, නාට්‍ය ද අව්‍යාජ විනිශ්චයකට ලක්වන්නේ කාලය නමැති නිවැරදි මිනුම් දඬුව මත බව ඒ ඉතිහාසය අපට නැවත නැවත සිහිපත් කර දෙයි.

නිර්ව්‍යාජ සාහිත්‍යය හමුවේ කාලය අසරණ ය. සැල්ටියකොව් ෂෙඩ්රින් පවසන්නේ සාහිත්‍ය, මරණයේ නියාම ධර්මයන්ට හසු නොවනා බව ය. මගේ ආත්මය අලළමින් නැඟෙන වීණා නාදය මගේ සම්, මස්, ඇට,නහර අබිබවා ජීවත් ව මරණය පරාජය කරනු ඇති බව පුෂ්කින් පැවසූ බව සිහිපත් වේ. සැබෑ නිර්ව්‍යාජ සාහිත්‍යයක්, සාහිත්‍ය යැයි පවසමින් මිනිස් ජීවය අඩපණ කරන නීරස කැළිකසලත් අතර ඇති මහත් පරතරය පිළිබඳ අප සවිඥානක විය යුතුව ඇත. කොමඩු බීජය මිහිකත මත තම ජීවය සනිටුහන් කරන්නට වැසි වැටෙනා තෙක් නිහඬ ව, ඉවසිල්ලෙන් බලා සිටියා සේ නිර්මාණකරුවෝ ද තම නිර්මාණයට අවැසි ශක්තිය‍, පරිසරය උත්පාදනය වනතෙක් නිහඬ ව ඉවසිල්ලෙන් සිටිය යුතු වෙති.

ළමා වියේදී අප දකින ලොව තරුණ වියේදී දකින්නේ වෙනත් අයුරකිනි. එය පරිණත මහලු වියේදී වෙනත් ම වෙසක් ගනු ඇත. ළමා වියේදී දකින සියල්ල ආශ්චර්යයන් සේ පෙනෙන්නේ ය. ගසක මලක් හට ගත්ත ද, ඵලයක් හට ගත්ත ද ළමා වියේදී එය ආශ්චර්යයකි. බල්ලාගේ බිරීමත්, කුරුලු කූජනයත් ඒ සා වෙනස් ස්වරූපයක් ගැනීම ළමා වියේදී විස්මයකි. ලෝකය ආලෝකනය කොට එහි මනහර බවෙන් ආලෝලනය වීමේ ගුණය අපි ළමා වියේදී ලබා ගන්නෙමු. මේ ගුණය තරුණ වියේදීත් රැකගත හැකි පුද්ගලයා ලෝකය වෙනස් දකින කවියකු හෝ ලේඛකයකු වන්නේ ය.

තරුණ විය සාටෝපයෙන් බර ය. මම ගාල්ලේ රිපන් බාලිකාවේ ගත කළ ළමා වියට වඩා උසස් පෙළ හදාරණ තරුණ විය අබියස වෙනස් බාලිකාවක වීමි. එකල මට රිච්මන්ඩ් කන්ද දෙපස තිබූ සුදු අරලියා, ඇහැළ හා මැයි මල් පෙනුණේ වෙනස් ලොවක් මෙනි. සිත චමත්කාරයෙන්, ප්‍රහර්ශයෙන් පිරී තිබිණි.

දකින දකින දේ පෙනුණේ අමුතු ම චමත්කාර ලෙසකිනි. එතනින් නික්ම කැලණිය සරසවියේ කන්ද නඟිද්දී ඇහැළ මල් මා හිස සිඹ දෙකොපුලේ දැවෙටෙමින් මඳ සුළගේ සැලෙද්දී මම ඒ මල් පිළිබඳ අනන්ත අප්‍රමාණ කවි පබැඳුවෙමි. එකල මා අතින් වැඩිපුර ම ලියැවුණේ පුස්තකාලයට යන මාවතේ වූ ඇහැළ හා මැයි මල් පිළිබඳ සුන්දරත්වයෙන් වශීකෘත වූ හුදු සාටෝප ලියැවිලි ය; කවි ය.

විශ්වවිද්‍යාල දිවිය නිමාකර ලේක්හවුසියට එන මඟ දිගට පිපි ඇහැළ මල් දෙස මම අද මොහොතක් නැවතී බලන්නේ එදා සේ චමත්කාරය, සුන්දරත්වය විසින් මුළු මහත් සිත ම වශීකෘත ව පාවෙන්නක් මෙන් සැහැල්ලුවෙන් නොවේ. විටෙක මම නැවතී ඒ සුමුදු මල් පෙති අල්ලා බලන්නෙමි. එහි මුදු සුමුදු බව විඳින්නෙමි. එහෙත් අද ඒ සුන්දරත්වයේ වෙනත් අරුතක් පෙනේ. හෙට එය තවත් පුළුල් වෙසකින් මට පෙනෙනු ඇත. ජීවිතය අපට ලබාදෙන කාලයේ නිර්ව්‍යාජ පරිණත බව අදාළ වන්නේ ජීවත්වීම සඳහා පමණක් ම නොවේ. නිර්මාණකරුවකු පරිණත වන්නේ කාලය ලබා දෙන ඒ ඉඩ හසර මතින් අවබෝධය හා නිර්මාණාත්මක චින්තනයේ ද පරිණත විමකිනි.

කාලය සාමාන්‍ය දෙයෙහි අසාමාන්‍ය බවකුත්, අසාමාන්‍ය දෙයෙහි සාමාන්‍ය බවකුත් ඇති කිරීමේ ලා සමත් විය යුතුය. එවිට ලේඛකයා, නිර්මාණකරුවකු වශයෙන් කාලයත් සමඟ පරිණත වන්නේ ය. එවිට එය හුදු වයසට යෑමක් පමණක් නොවන්නේ ය.

කොමඩු බීජය සති දෙකක් තිස්සේ නිහඬ ව සිටියේ ය. වැසි වැටුණු විගස තෙත උරා ප්‍රාණවත් වී මිහිකතගේ ඇකයේ දරුවකු ව වැඩෙන්නට පටන් ගත්තේ ය. නිර්මාණකරුවා ද එසේ ම ය. ඔහු කල්ගත යුත්තේ පරිණත බවින් ආඩ්‍ය වී සිය මව්බිමට කෘතඥතාව දක්වනු වස් මේ මිහිකත මත දයාර්ද්‍රබවේ ප්‍රභාව විහිදුවාලන්නට ය. ඒ ප්‍රභාව විහිදුවාලන ආකස්මික බවේ කිරණින් මේ ලොව වඩාත් සුන්දර නිවහනක් වනු නිසැක ය.

sumudu.chathurani@lakehouse.lk

Comments