අපට නොවටින ඉන්දියාවට වටින මහේල | සිළුමිණ

අපට නොවටින ඉන්දියාවට වටින මහේල

 මෙවර අයි.පී.එල්. අවසන් තරගයේදී මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම ලකුණු 128ක් වැනි අඩු සංඛ්‍යාවකට ඉනිම අවසන් කර තිබූ මොහොතක මහේල දුන් දේශනය ගැන සචින් පසුව හෙළිදරව්වක් කළේය. මුම්බායි කණ්ඩායම අවසන් තරගය ජයග්‍රාහීව නිම කළ පසුව එහි උපදේශකයකු ලෙස ක්‍රියා කරන සචින් මාධ්‍යයට පවසා තිබුණේ, “විවේක සමයේදී මහේල දුන් දේශනය විශිෂ්ටයි‍. ඒකෙන් අපේ ක්‍රීඩකයන්ගේ ආත්ම විශ්වාසය ගොඩනැඟුණා. මොකද ඔවුන් අඩු ලකුණු ගණනකට ඉනිම අවසන් කළ නිසා කරන්නෙ කුමක්ද කියා හිතාගන්න බැරිව සිටියේ.”යනුවෙනි.

ඒ මෙවර අයි.පී.එල්. තරගාවලියේ ජයග්‍රාහී මුම්බායි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරමින් මහේල රඟපෑ නව භූමිකාවෙන් කළ-කී දෑ ගැන ඉන්දියාව බිහිකළ සුපිරි පිතිකරුවකු වන සචින් තෙන්ඩුල්කාර් කළ පුංචි හෙළිදරව්වකි.

නිමාවූ 2017 අයි.පී.එල්. තරගාවලියේදී ගියවර පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවත්වූ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම ශූරතාව දිනාගත්තේ විශිෂ්ට දස්කම් පෙන්වමිනි. ක්‍රීඩකයන්ගේ එම දක්ෂතා ඔපමට්ටම් කිරීමට තිරය පිටුපස සිට මහේල කළ අතිවිශිෂ්ට නිහඬ සේවය සචින්ගේ කෙටි වදන් කීපයෙන් ලොවටම දැනගැනීමට හැකි විය.

මෙවර අයි.පී.එල්. තරගාවලියේදී පුහුණුකාර රංගනයෙන් කරළියට ආ මහේල එම රංගනය නිසා මීට පෙර තමා අයි.පී.එල්. ක්‍රීඩා කළ අවස්ථා කීපයේදීම ලබා නොගත් විශේෂ ආකර්ෂණයක් සැමගෙන්ම ලබා ගැනීමට සමත් විය. මේ අවස්ථාවට පෙර කිසිදු විටෙක කණ්ඩායමක ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රියා කර නැති මහේල කෙරෙහි මුම්බායි කණ්ඩායමේ හිමිකරුවන් වන අම්බානි පවුල ඇතුළු මුම්බායි ප්‍රේක්ෂකයන් තැබු විශ්වාසයට නියම සාධාරණයක් ඉටුකළ ඔහු තමා මෙතෙක් ක්‍රිකට්වලින් උකහා ගත් දැනුම් සම්භාරය නව භූමිකාවේදී ‘තිත’ට ප්‍රදර්ශනය කළේය.

දැන් මෙරට ක්‍රිකට් බලධරයින්ටත් අපේ රටේ සම්පත් ගැන ඇස් ඇර බැලීමට කාලය පැමිණ ඇති වගක් මහේලගේ නව භූමිකාවෙන් පෙන්නුම් කෙරේ. ප්‍රධාන පුහුණුකාර තනතුරක කිසිඳු අත්දැකීමක් නොමැති මහේල වැනි කෙනෙක් පිළිබඳ ඉන්දියානුවන් විශ්වාසය තබද්දී අපේ රටේ බලධරයින් මෙරට ප්‍රවීණයන්-දක්ෂයන් නොසලකා පිටරැටියන්ට ආවැඩීමෙන් මෑත කාලයේ අපට ලැබුණු දායාද මොනවාදැයි ප්‍රශ්නාර්ථයකි.

ක්‍රිකට් කෝඩුකාරයන් වන බංග්ලාදේශය ‘ගෙදරට ඇවිත් ගහලා යන්න’ පාවිච්චි කළෙත් අපේ රටේම සම්පත්ය. මෙරට ප්‍රවීණයන් රැසකගේම ගුරු-හරුකම් තුළින් බංග්ලාදේශ ක්‍රිකට් පිල අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම්හිදී වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ද පසුපසට ඇද දමමින් ඉදිරියට ගොස් ඇත.

එවන් වටපිටාවක් නිර්මාණය වෙද්දී අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟ සිටින පරිවාර සේවක පිරිස අතර ශ්‍රී ලාංකිකයෝ සිටින්නේ කීයෙන් කී දෙනා ද? ප්‍රධාන පුහුණුකරු දකුණු අප්‍රිකා ජාතික ග්‍රැහැම් පෝඩ්ගෙන් පටන්ගත් විට එංගලන්ත ජාතික සයිමන් විල්ස්, දකුණු අප්‍රිකා ජාතික නික් පෝතාස්, එංගලන්ත ජාතික නික් ලී, ඕස්ට්‍රේලියා ජාතික ස්ටිව් මවුන්ට්, ඉන්දීය ජාතික රාම් සහ නවතම වේග පන්දු පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකා ජාතික ඇලන් ඩොනල්ඩ් යන ‘මහත්වරු’ යහමින් වැජඹි සිටිති. මෙරටින් ජාතික කණ්ඩායමට දිරියක් දීමට සහාය වන්නෙ රංජිත් ප්‍රනාන්දු, අසංක ගුරුසිංහ සහ ලෙස පියල් විජේතුංගයි.

මේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිල වටා සිටින විදේශිකයන් පිරිස ගතහොත් ඔවුන් වෙනුවෙන් වැය කරන ධනස්කන්ධය සහ ඉඳුම්-හිටුම් ඇතුළුව අනෙකුත් පහසුකම් කෙතෙක් වේද? එහෙත් සිදුවී ඇති සේවය කුමක් ද? සංවර්ධිත රටක් ලෙස අප රටට දියුණු රටවල තාක්ෂණික ඥානය, භෞත චිකිත්සක සහාය වැනි සේවාවන්ට අදාළ අවැසි සම්පත් ලබාගත්තාට කිසිදු වරදක් නොමැත. එහෙත් ක්‍රීඩකයන් පුහුණුකිරිමේ භූමිකාවට විදෙස් සම්පත් වර්තමානයේ අවැසි නොවන වග දැන් අපේ රටෙන් බිහිවූ ක්‍රීඩකයන් රඟ දක්වන පුහුණුකාර භූමිකාවලින් ගම්‍ය වේ.

එදා 1996 ලෝක කුසලානය ජයග්‍රහණයට ඩෙව් වට්මෝර්, ඇලෙක්ස් කොන්ටෝරි වැනි විදේශිකයන්ගේ ආගමනය මහත් සේ පිටිවහලක් වූ බව නොරහසකි. එදා විදේශිකයන්ගේ සහාය අවැසි වූයේ එසමයේ අපේ ක්‍රිකට් තිබුණු තැන අනුව අපිට එයින් ගොඩ ඒමට විදෙස් ඥානය සහ තාක්ෂණය අත්‍යවශ්‍ය වූ නිසාය. මෙරටින් බිහිවූ සුපිරි පිතිකරුවකු වන අරවින්ද වරක් අප සමඟ සම්මුඛ වීමකදී පැවැසුවේ ඇලෙක්ස් සහ වට්මෝර් පැමිණ අපි එතෙක් කරගෙන ආ පුහුණු ක්‍රම සහ ශාරීරික යෝග්‍යතා විධි සියල්ල කනපිට පෙරළු බවයි. ඉන්පසුව අවශ්‍ය ක්‍රියාකාරකම් සහ දැනුම මනාව ලබා දුන් බවයි. ඒ එදා අපේ රටේ ක්‍රිකට් එතරම් දියුණු තත්ත්වයක නොතිබුණු බැවින් අපට නැඟිටීමට විදෙස් සහාය අත්‍යවශ්‍ය වූ මොහොතක් නිසයි. එනිසා එදා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිව සිටි ආනා පුංචිහේවා මහතා ගත් ඉතාම කාලෝචිත සහ නිවැරැදිම ක්‍රියාමාර්ගයක් ලෙස එය සැලැකේ.

එසේ වුවද වර්තමානයේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් චිත්‍රයක් මවා තිබේ. මේ වන විට මෙරටින් ලෝක පූජිත ක්‍රීඩකයන් රැසක්ම බිහිකර හමාරය. ඉන් සමහරෙක් විදෙස් රටවල ජාතික කණ්ඩායමේ සිට විවිධ තරාතිරමේ කණ්ඩායම්වලට අවැසි සහාය දෙමින් සිටිති. එහෙත් අපේ රට ඔවුන් ගැන තඹ දොයිතුවකට මායිම් නොකරන වගක් සිදුවන සිදුවීම්වලින් පෙ‍නේ. එම නිසා වසර ගණනාවක් එක දිගට අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ රැ‍ඳෙමින් මෙරට විශිෂ්ටයන් ලබාගත් දැනුම සේම තාක්ෂණය අපේ රටේ ක්‍රිකට් නැංවීම සඳහා ලබාගැනීමට මේ හොඳම කාලය බව අපට හැ‍ඟේ.

පිටරැටියන් අපේ කණ්ඩායමේ සේවකයන් ලෙස ගෙන ඔවුන්ට ගෙවන ලක්ෂ ගණනින් යුත් පඩි-නඩි සහ අනෙකුත් යටිතල සේවා වෙනුවෙන් කරන වියදම් නිරපරාද වියදම් බව වර්තමානයේ අපේ ක්‍රිකට්වලට අත්වී තිබෙන ඉරණම අනුව පෙනේ.

එම නිසාවෙන් අප පවසනුයේ දැන් අපේ කණ්ඩායම පුහුණු කිරීමට විදෙස් සේවය පැතීම නිෂ්ඵල දෙයක් බවයි. මන්ද එම අතිවිශාල ධනස්කන්ධය මෙරට ගම්බද ක්‍රිකට් දියුණු කිරීමට, පාසල් සහ ක්‍රීඩා සමාජ ක්‍රිකට් දියුණු කිරීමට යොදාගතහොත් ඉදිරි වසර කීපයේදී හෝ අපට නැවතත් අන්තර්ජාතික කරළිය දිග්විජය කරන ක්‍රීඩකයන් බිහි කළ හැකි බවය.

එසේම මෙරට ක්‍රීඩකයන්ද එම තනතුරුවලට පැමිණෙන්නේනම් ඔවුන් ද කළ යුතු නිශ්චිත වැඩ කොටසක් ඇත. විශේෂයෙන්ම තම පාසලට, ක්‍රීඩා සමාජයට හෝ යාළු-මිත්‍රකමට තැන නොදී සුදුස්සාට සුදුසු තැන දී කණ්ඩායම්-පිල් නොබෙදී එකා මෙන් රටට සේවය කිරීමයි.

මහේලගේ නව භූමිකාවත් සමඟ රටේ ක්‍රිකට් නැංවීමට අපේ සම්පත් ගැන අවධානය යොමු කිරීමට ක්‍රිකට් පරිපාලකයන්ට වඩාත් සුදුසු කාලය දැන් එළැඹ ඇති බව පෙන්නුම් කෙරේ.

අමිල මලවිසූරිය 

Comments