අංගොඩ ලොක්කා කොටු වූ හැටි | සිළුමිණ

අංගොඩ ලොක්කා කොටු වූ හැටි

 මීට මාස එක හමාරකට පමණ පෙර දිනක උදෑසන කළුතර බන්ධනාගාරයේ සිට බන්ධනාගාර බස් රථයක් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත යෑමට සූදානම් වූයේ පෙරවරු නවයට පමණය. ඒ බස් රථයේ සිටියේ රැඳවියන් පිරිසකි. ඒ අතර දරුණු අපරාධකරුවෙක් හා ඔහුගේ ගෝලයන් කිහිප දෙනෙක්ද වූහ. මේ දරුණු අපරාධකරුවා වූයේ වූයේ මත්ද්‍රව්‍ය, කප්පම් ගැනීම්, මිනීමරුම් ඇතුළු විවිධ අපරාවලට සම්බන්ධයැයි කියන 'සමයං' නැමති අයයි. මොහු අපරාධ රැසකට සම්බන්ධව බන්ධනාගාරගතව සි‍ට එදා කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මෙසේ ගෙන යමින් තිබිණි.

මේ බස් රථය කෙටි දුරක් ගමන් කරමින් තිබියදී එකවරම මෝටර් රථයක් පාර හරස් කර මේ බස් රථය නවත්වනු ලැබිණි. ඒ සමඟම 10 දෙනකුගෙන් පමණ සමන්විත පිරිසක් ගිනි අවි රැගෙන බස් රථය වෙත කඩා පැන බස් රථය වට කළහ. ඒ අවස්ථාවේ බස් රථයේ ආරක්ෂාවට බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනකු සිටි අතර එදින පොලිස් නිලධාරීන් එහි ආරක්ෂාවට යොදා තිබුණේ නැත.

පොලිස් ඇඳුමට සමාන ඇඳුමෙන් සැරසී සිටි මේ පිරිස එකවර බස් රථයේ දොර කඩාගෙන ඇතුළට නැඟගෙන කෙළින්ම ගොස් තිබුණේ පාතාල නායක සමයං වෙතය. ඔවුන් අත තිබූ ගිනි අවිවලින් සමයං එම ස්ථානයේදිම මිය යන තෙක් ඔවුන් වෙඩි පහර ගණනාවක් එල්ල කර, බස් රථයේ සිටි සෙසු රැඳවියන්ට හා බන්ධනාගාර නිලධාරීන්ටද වෙඩි තබා පලා ගොස් තිබිණි. ප්‍රහාරයෙන් මිය ‍ගිය ප්‍රමාණය හත් දෙනෙකි.

මේ ප්‍රහාරයෙන් අනතුරුව පොලිස් කණ්ඩායම් හතක් ඊට සම්බන්ධ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට යොදවනු ලැබිණි. හැකි ඉක්මනින් මේ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසටත්, අපරාධ සැලසුමේ සුලමුල සොයාගන්නා ලෙසටත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පොලිස් ලොක්කන් ගණනාවකටද උපදෙස් දී තිබිණි. පොලිස් අපරාධ අංශ ගණනාවක නිලධාරීන්, පොලිස් බුද්ධි අංශ නිලධාරීන්, සෝකෝ පොලිස් වි‍ශේෂ අපරාධ අංශ මෙහෙයුම් නිලධාරීන් ඇතුළු අංශ රැසකින් මේ පොලිස් කණ්ඩායම් සමන්විත විය.

මේ අපරාධය සිදු කළේ කවුරුන්ද යන්න සම්බන්ධව පොලිස් බුදධි අංශ යම් සැකයක් ඇති කරගෙන තිබිණි. එනම්: එය සිදු කරන ලද්දේ අංගොඩ ලොක්කා නමැති පාතාල නායකයා විසින් බවටත්, ඔහුගේ සැලසුම වී තිබුණේ සමයං ඝාතනය කිරීම බවටත් පොලිස් අපරාධ මෙහෙයුම් කණ්ඩායම් විසින් යම් යම් තොරතුරුවලින් අනාරණය කර ගෙන තිබිණි.

කෙසේ වුවද අංගොඩ ලොක්කා සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක වෙද්දී ඔහුට හෝ ඔහුගේ ‍ගෝලයන්ට මෙරටින් පැනගැනීමට නොහැකි වන ආකාරයට ආරක්ෂිත වැටවල්ද බැඳිණි. මේ අතර අංගොඩ ලොක්කාගේ මේ සමයං ඝාතන මෙහෙයුමට තවත් ප්‍රබල පාතාල අපරාධකරුවකු සම්බන්ධ බවටද පොලිස් පරීක්ෂණ අංශවලට තොරතුරු ලැබෙමින් පැවතිණි. ඒ අනුව දකුණේ ප්‍රබල පාතාල නායකයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුද වූ මධූෂ් නමැති අයද ඔවුගේ ගෝලයෝද සමයං ඝාතන මෙහෙයුමට සම්බන්ධ වි තිබිණි. මධූෂ් නමැත්තා දකුණේ දේශපාලනඥයකු ඝාතනය කිරීමේ සිද්ධියකින් පසු විදෙස් රටකට පැන ගොස් තිබීමෙන් අනතුරුව ඔහු මෙවැනි බරපතළ අපරාධයකට සමබන්ධ වූ බවට වාර්තා වූ ප්‍රථම අවස්ථාවද එය විය.

කෙසේ වුවද මධූෂ් සහ අංගොඩ ලොක්කා සොයා මෙසේ මෙහෙයුම් ක්‍රියාත්මක වන අතරතුර ඔවුන්ගේ ගෝලයන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට හැකි විය. මෙහිදී ප්‍රථමයෙන්ම අත්අඩංගුවට පත් වූයේ මේ වෙඩි ප්‍රහාරය එල්ල කර පලා යමින් සිටි සැකකරුවන් පිරිසකට නවාතැන් දුන් කාන්තාවක ඇතුළු සැකකරුවන්ට නවාතැන් දුන් කාන්තාවක ඇතුළු තිදෙනෙකි. මොවුන් යම් තරමකට මේ අපරාධය කලින් දැන සිටි බවටද තොරතුරු අනාවරණය වී තිබිණි. මේ ආකාරයෙන් මෙම සිද්ධිය හා සම්බන්ධ පරීක්ෂණ සිදු වෙද්දී එම ඝාතනයට සම්බන්ධව සැකකරුවන් හය දෙනකුම අත්අඩංගුවට ගැනීමට හැකි වූ අතර, ඒ සෑම සැකකරුවකුගේම ප්‍රකාශවලින් අනාවරණය කරගැනීමට හැකි වූයේ මේ සමයං ඝාතන අපාරාධය අංගොඩ ලොක්කාගේ වැඩක් බවයි. අංගොඩ ලොක්කා සහ සමයං අතර කාලයක සිට වෛරයක් පැවතී ඇත. මොවුන් දෙදෙනාගේ දෙපාර්ශ්වයේම ‍ගෝලබාලයන් මේ වෛරය නිසාම එකිනෙකා මරාගත් අවස්ථා ගණනාවක් විය.

ඒ අතර සමයං ඝාතනය කර අවසන් කිරීමට අංගොඩ ‍ලොක්කා තීරණය කර තිබුණේ අනෙක් අතට සමයංද අංගොඩ ලොක්කා ඝාතනය කිරීමට ඝාතන සැලසුමක් සකස් කර තිබියදී බවටද තොරතුරු හෙළි වී ඇත.

අංගොඩ ලොක්කා සහ මධූෂ් සොයා මේ ආකාරයෙන් මෙහෙයුම් සිදු වන අතරතුර ඔවුන් දෙදෙනා හොර මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට පලා ගොස් ඇති බවට යම් තරමකට පොලීසියට තොරතුරු ලැබී තිබිණි. ඒ සමඟම පොලීසිය මේ ගැන අන්තර්ජාතික පොලීසියටද දන්වා මෙහෙයුම් පුළුල් කර තිබිණි.

මෙරටට හොර මුහුදු මාර්ග ඔස්සේ මත්ද්‍රව්‍ය ගෙන එන බෝට්ටු සේවා මඟින් මේ පාතාල නායකයන් දෙදෙනා මෙරටින් ඉන්දියාවට පැනගෙන ඇත. මධූෂ් නමැත්තා කාලයක් තිස්සේ විදෙස් රටකට පැනගෙන සිටියත් සමයං ඝාතන සැලසුම ක්‍රියාත්මක කිරීමට අංගොඩ ලොක්කාට සහාය වීම සඳහා මෙරටට පැමිණ සිට, සමයං ඝාතනයෙන් පසු නැවත පලා ගොස් ඇත්තේද මුහුදු මාර්ග ඔස්සේය. ඒ ආකාරයෙන්ම අංගොඩ ලොක්කාද මෙරටින් ඉන්දියාවට පලාගොස්, ‘ලඩියා‘ නමැති පාතාල නායකයාද සමඟ මාසයක පමණ කාලයක් එහි සැඟවී සිට ඇත.

ඒ අතර ඔවුන් ඉන්දියාවේ සැඟවී සිටින බවට මෙරට පොලිස් මෙහෙයුම් අංශවලටද දැනගැනීමට හැකි වී තිබිණි. ඒ අනුව මොවුන් කොටු කරගැනීමට පොලීසිය ඉන්දීය පොලීසියේ උදවු ඉල්ලා සිටි අතර‍‍, පාතාල නායකයන්ද පොලීසිය තමන් කොටු කරගැනීමට ඉන්දියාවේ දැල එළාගෙන යන බව ඔත්තුකරුවන් මඟින් දැනගෙන ඇත. ඒ සමඟම අංගොඩ ලොක්කා සහ ඔහුගේ ගෝලයා වූ ලඩියා ඉන්දියාවෙන් මලයාසියාවට පැනගැනීම සඳහා ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර සකස් කරගෙන තිබිණි. ඒ අතර පොලීසියද ඉන්දීය පොලීසිය දැනුවත් කර තිබුණේ මොවුන් වැඩි කාලයක් ඉන්දියාවේ නොරැඳෙන අතර, කොයි මොහොතේ හෝ වෙනත් රටකට පලා යා හැකි බවයි. මේ නිසා ඔවුන්ගේ තොරතුරු සියල්ලක්ම මෙරට පොලීසිය මඟින් එරටට ලබා දී තිබිණි.

පොලීසිය සැක කළ ආකාරයටම පසුගිය සතියේ දිනක අංගොඩ ලොක්කා සහ ලඩියා ඉන්දියාවෙන් පලා යෑමට එරට ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේ එරට ආරක්ෂක අංශවලට ඔවුන්ගේ ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර හසු විය. පසුව පරීක්ෂා කිරීමේදී අංගොඩ ලොක්කා පිළිබඳ මෙරට පොලීසිය ලබාදී තොරතුරු තිබුණු සැකකරුවන්ගේ තොරතුරුවලට සමාන බව පෙනී ගියේය. ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කරන අතරතුර මොවුන්ගේ ඡායාරූප ඒ අවස්ථාවේම මෙරට පොලීසියට එවා ඇත. ඒවා නිරීක්ෂණය කිරීමේදී ඔහු අංගොඩ ලොක්කා බව තහවුරු විය.

කාලයක් තිස්සේ විවිධ අපරාධ කරමින් පොලිස් අත්අඩංගුවට පත් වෙමින් නැවත නිදහස ලබමින් සිටි අංගොඩ ලොක්කා සත් දෙනකු ඝාතනය කිරීමේ මෙහෙයුමක් දියත් කර එම අපරාධය ඔහුගේ කණ්ඩායම යොදා සිදු කිරීම සම්බන්ධයෙන් නැවතත් අත්අඩංගුවට පත් වූයේ එලෙසිනි. අද හෙටම ඔහු මෙරටට ගෙන ඒමට නියමිතව ඇත.

විජයානි එදිරිසිංහ

Comments