නෙදර්ලන්ත නැව්වලට නාවික හමුදා ආරක්ෂාව | සිළුමිණ

නෙදර්ලන්ත නැව්වලට නාවික හමුදා ආරක්ෂාව

 ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර සමුද්‍රීය ආරක්ෂණ කටයුතු සඳහා ගිවිසුමකට අස්සන් කර ඇත. ශ්‍රී ලංකා රජය විසින්, වි‍දේශීය රාජ්‍යයක් සමග සමුද්‍රීය ආරක්ෂණ රාජකාරි සඳහා පහසුකම් සැපයීම් සම්බන්ධයෙන් ඇති කරගත් ප්‍රථම අවබෝධතා ගිවිසුම මෙය වේ. මේ ගිවිසුම මඟින් ඉන්දීය සාගරය ආශ්‍රිතව යාත්‍රා කරන නෙදර්ලන්ත වෙළෙඳ නෞකා සඳහා ආරක්ෂක පහසුකම් සැපයීම ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පැවරෙනු ඇත.

ඉන්දීය සාගරයේ යාත්‍රා කරන නෙදර්ලන්ත නෞකාවන්ට ආරක්ෂාව සපයමින් ගමන් කරන මැරීන් භටයන් ගාල්ල වරායේ ගොඩබැස්සවීමට සහ ඔවුන් සතු සැහැල්ලු අවි ආරක්ෂිතව ගබඩා කර දෙන ලෙස නෙදර්ලන්ත රාජකීය නාවික හමුදාපති, වයිස් අද්මිරාල් රොබ් වර්කට් මහතා විසින් රජයෙන් ඉල්ලීමක්ද කර තිබේ. සමුද්‍රීය ආරක්ෂණ රාජකාරි පහසුකම් සැපයීමේ කණ්ඩායම්, අන්තරාදායක මුහුදු කලාපයන්හි යාත්‍රා කරන නෞකා සහ යාත්‍රාවන්ට අවශ්‍ය ආරක්ෂක පහසුකම් සැපයීමේ පුහුණුව, උපදෙස් සහ ආරක්ෂක සැලසුම් සපයන විශේෂ ආරක්ෂක කණ්ඩායමක් ලෙස හඳුන්වා දී තිබේ.

ගිවිසුමට නෙදර්ලන්ත රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි, ‍ජොඈන් ඩූන්වර්ඩ් මැතිනිය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආරක්ෂක ලේකම්, ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අස්සන් තබන ලදි. 

Comments