
මුළු මිහිකත ම දාහයෙන් ගිනියම් කළ ඉඩෝරය මියැදී වැහි බින්දු එකින් එක මහපොළොවට ඇද වැටෙයි. මහ පොළොව ඒ වැහි බිඳු එකක්වත් මඟ නොහරින්නේ, මහත් පිපාසයෙන් යුතු ව අන්තිම බින්දුව දක්වා ම උරා ගනී. ඉදින් කුඩා වැහි රැලි ඇද වැටුණත්, ඒ වැහි බිඳු මහ පොළොවට නොවැටුණා තරමට මහ පොළොව සා පිපාසාවෙන් පීඩිත ව ඇති සෙයක් පෙනේ. ඉදහිට වැහි රැල්ලක් ඇද වැටුණත් මහ පොළොවේ සාරයෙන් මේ මිහිකත සුන්දර කරන නෙක වෘක්ෂලතාවන්ට නම් ඒ වැහි රැල්ල ගැන ගානක්වත් නැත.
මහ පොළොවේ ගිනියම් බව ගැන වූ කණගාටුවකින් සිත පිරී ගොස් ඇති නිමේෂයකදී දිය බිඳු වල සුන්දරත්වය ගැන අප්‍රමාණ සිතිවිලි සිතෙහි ගොනු වූ විටෙක ගස් අතරින් ක්‍රියාත්මක ව ඇති වතුර මලක් මම දුටුවෙමි. ඒ වතුර මල සිහින් පොද වැස්සක් සදිසි ව කොළ පැහැති පත්‍ර මත විසිරී යන අයුරු ම සිත කුල්මත් කළේ ය. ගොම්මන් අඳුර හාත්පස වෙළා ගෙන අපූර්ව ගුප්ත බවකින් පරිසරය නිහඩ ව තිබිණි. ලේක්හවුසිය ඉදිරිපිට වවා ඇති පිච්ච වැල් ගොන්න අතරින් උදෑසන විකසිත වීමට පෙරුම් පුරන පිච්ච පොහොට්ටු තෙමමින් විසිරී වැටෙන පිනිබිදු වතුර මල් දෙස මම බලාගෙන සිටියෙමි. ඒවා එක ම රිද්මයකට විදුලි ආලෝකයේ දුබල කිරණ වැටී දිලිසෙමින් අමුතු ම චමත්කාරයක් මවා තිබිණි. පත්‍ර මත ඇති වතුර බිඳු මතට වැටි ආලෝක කිරණ දුබල එළියකින් හාත්පස ආලෝකවත් කළේ ය. ඇත්තෙන් ම ඒ නම් මනරම් දසුනකි. අල්ප වූ වැස්සෙන් දැඩි ව පීඩා විදි පිච්ච වැල් රාත්‍රියේ ප්‍රාණවත් ව දිලිසෙමින් තිබිණි. පසුදා උදෑසන ඒ පිච්ච වැල් පුරා පිපෙන මල් ඒ අවට පරිසරය ම සුගන්ධවත් කරන්නේ එක දිගට පිපී ඇති ඇසළ මල් යායට ද අභියෝග කරමිනි.
සුන්දරත්වය යනු කුමක්ද? මා ඔබට පෙර කී මා දුටු වැනි දේ ද? එසේත් නැතිනම් ඔබ නොයෙක වාරයන්හි දකින කුමක් හෝ වෙනසක් සහිත දෙයක් ද?
එසේත් නැතිනම් සුන්දර මැටි බඳුනක, සුන්දර ලියකම් වැලක එසේත් නැතිනම් මයිකල් ආන්ජලෝගේ හෝ ලියනාඩෝ ඩාවින්සිගේ සිතුවමක ආදී නිර්මාණවලද? කුමක්ද සුන්දරත්වය යනුවෙන් ඔබ අදහස් කරන්නේ. සුන්දරත්වය තිබෙන්නේ අප ඇස ඇතුළත යැයි මා කිවහොත්... කුමක්ද ඔබ ඒ ගැන සිතන්නේ. ඔබ දකින දේ ඔබේ හැගීම්වලට, නිර්ණායකවලට අනුව සුන්දරත්වයේ කෝණය සැකසෙන්නේ යැයි මා කිවහොත්...
මා පෙර කී වතුර මල් දෙනෝදහක් දෙන දකින්නට ඇත. ඒ වතුර බිදු පිනි බිඳු සදිසි ව කොළපාට පත්‍ර මත වැටී ආලෝක කිරණවලින් ද ඔපවත් ව අනන්තවත් තිබෙන්නට ඇත. එහෙත් ඒ සුන්දර දසුන දකින්නට ඇත්තේ කීයෙන් කී දෙනාද? ඔබ සුන්දරත්වය දකින්නට ඔබේ සිතට පෙලඹවීමක් ඇති කරන ඇසිල්ලේ සිත සුන්දරත්වය සොය සොයා යන්නේ ය. සුන්දරත්වය වුව දකින්නට ඇස, මනස පුහුණු කළ යුතුය.
ම සිත මෙවැනි පැනයක් නගයි. සුන්දරත්වය තිබෙන්නේ අප ඇස ඇතුළත ද නැතිනම් වෙනත් පිටස්තර දෙයක ද? ලස්සන ඕනෑම දෙයක්, අලංකාර ගෘහ නිර්මාණයක්, අලංකාර ලෙස නිමැවූ පන්සලක්, සුන්දර ගෙවත්තක් විවිධ තැන්වල ඇතැයි අපි කියමු. එහෙත් ඒ සියල්ල සාපේක්ෂ ය. අපට ලස්සන දේ තව කෙනකුට ලස්සන නොවිය හැකිය. එසේ නම් ලස්සන හා අප අතර වන සම්බන්ධය බාහිර සම්බන්ධයක් ද?
එහෙත් නියමාකාර සුන්දරත්වය තිබෙන්නේ ඔබේ මේ මැනීම්, බැලීම් ආදී සියල්ලට එපිටින් යැයි මා කිවහොත් ඔබ එකඟ ද? ඔබ සෑම විට ම මේ සියල්ලට ම අර්ථකථන දෙන්නේ ය; ඒවා පිළිබද විශ්ලේෂණය කරන්නේ ය. ඒවා ට විවිධ අරුත් සපයන්නේ ඔබ ය. ඕනෑම දෙයකට අර්ථකථන දී ඒවා ලස්සන ද, නැති ද කියා සසඳන්නේ අපේ මිනුම් අනුව ය. අප දකින දෙයින් අපේ සිත තෘප්තිමත් වූ විට එය සුන්දර යැයි අපි කියමු. එයින් කරන්නේ අපි අපේ සිත තෘප්තිමත් කර ගැනීමකි. එහෙත් නියමාකාර සුන්දරත්වයේදී ඔබට එය ප්‍රකාශ කළ නොහැකිය. සැසඳීම් ඇති මනුෂ්‍යයන් ලෙසින් අප නැති තැන, මම නැති තැන සුන්දරත්වය උපදින්නේ යැයි සිතෙන්නේ එබැවිනි.
අප සෑම විට ම උත්සාහ කළ යුත්තේ අප, අප කෙරෙහි ඇති මේ ලෝභ සහගත සිතිවිල්ල නැති කර ගැනීමට නොවේද?