බෞද්ධ ධජයේ සැබෑ නිර්මාතෘ | සිළුමිණ

බෞද්ධ ධජයේ සැබෑ නිර්මාතෘ

 ලංකාව යටත් කරගත් සුදු ජාතිකයන් යටතේ බෞද්ධයන්ට අහිමි වූ ශාසනික අයිතිවාසිකම් යළි දිනා ගැනීම උදෙසා අප විසින් කුමක් කටයුතු දැයි පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් ප්‍රමුඛ පැවිදි ගිහි බෞද්ධ නායකයන් පිරිසගේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ. මේ සඳහා කළ යුතු ප්‍රධාන කටයුත්ත නම් එංගලන්තතයේ යටත් විජිත ලේකම්වරයාට නිසි ලෙස සකස් කරන ලද පෙත්සමක් මාර්ගයෙන් මෙම කටයුතු දන්වා යවා ඉල්ලීමක් කිරීම බව පළ විණ.

මෙකල ඇමෙරිකාවේ සිට ලංකාවට පැමිණ සිටි සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කොට් තුමා එංගලන්තයට යවා මේ කටයුත්ත ඉටු කරවා ගැනීමට තීරණය කෙරිණි. ඒ සඳහා විද්වත් පැවිදි ගිහි කමිටුවක් මගින් ලිපිය සම්පාදනය කෙරිණි. ඉන්පසුව එය සෙන්පති ඕල්කොට් තුමා වෙත ඉදිරිපත් කෙරිණ. එය කියවා බැලූ එතුමෝ තම නීතිඥ දැනුම ද අනුව එහි ඡේද කිහිපයක් ම සකස් කර එම පිටපත් එංගලන්තයේ යටත් විජිත ලේකම්වරයා වෙත ඉදිරිපත් කිරීමේ වගකීම බාරගත්හ.

ගමනට සූදානම් වූ ඕල්කොට් තුමෝ සුමංගල නාහිමියන් ප්‍රමුඛ ‘බෞද්ධාරක්ෂක සභාවේ කමිටු සාමාජිකයන් අමතා තවත් අදහසක් ඉදිරිපත් කළහ. එය නම් බෞද්ධාගමේ සංකේතයක් වශයෙන් කිසියම් ධජයක් කොඩියක් තිබිය යුතු බව ය‍. ඒ නිසා සියල්ලන්ම එක්ව බුද්ධ රෂ්මිය මූර්තිමත් වන ලෙස තමන් ආපසු එන්නට පෙර කොඩියක් සකස්කර තැබිය යුතු බවය. ඔවුහු එය සමාදරයෙන් පිළිගත්හ.

ඒ සමඟම එතුමෝ එංගලන්තයේදී කිසියම් විද්වතෙකුට බෞද්ධයකු වන්නට කැමැති නම් තමන් විසින් එතුමාට තිසරණ සරණ පන්සිල් දී බෞද්ධයකු කර ගැනීමේ අවසරයක් ලිඛිතව දිය හැකි දැයි විමසා සිටියහ.

හික්කඩුවේ නාහිමි ප්‍රමුඛ මහාසංඝරත්නය එතුමාගේ එම අදහස ගැන ද අතිශයින් ම සතුටට පත්වූහ. ඉන්පසු සිංහල, පාලි, හා ඉංග්‍රීසි භාෂාවලින් යුතු ලේඛනයක් සකස් කොට සුමංගල නාහිමි ප්‍රධාන නාහිමියන් වහන්සේ සත්නමක් අත්සන් කර එය ඕල්කොට් සෙන්පතිතුමාට පිරිනැමූහ. එංගලන්තයේ යටත් විජිත ලේකම් චර්බි සාමිවරයා වෙත ඉදිරිපත් කරන ලද එතුමාගේ බෞද්ධ ඉල්ලීම් උදෙසා වූ පෙත්සමට සාර්ථක ප්‍රතිචාර ලැබිණි. වෙසක් දිනය ලංකාවේ රජයේ සේවකයන්ට පඩි සහිත නිවාඩු දිනයක් ද අනුමත වූ එය වර්ෂ 1885 සිට නීතිගත කෙරිණි.

සෙන්පති ඕල්කොට් තුමන් එම ජයග්‍රහණය ද ලබාගෙන යළිත් දිවයිනට සැපත් වූ අවස්ථාවේදී එතුමාට ‘බෞද්ධාරක්ෂක සභාවේ’ කරෝලිස් පූජිත ගුණවර්ධන මහතා විසින් සකස්කර තිබූ නීල, පීත, ලෝහිත, ඕදාත, මාංජෙස්ට, ප්‍රභාස්වර වර්ණයන්ගෙන් යුත් බෞද්ධ කොඩිය දක්නට ලැබිණි. එය දුටු සෙන්පති ඕල්කොට් තුමන්ට තමන්ගේ අදහස ඔවුන් නියමාකාරයෙන් ම සිතට ගෙන කටයුතු කර තිබෙන බව පෙනිණ. එහෙත් එම වර්ණ හයෙන් යුතු කොඩිය ප්‍රමාණයේ දිගින් වැඩිවිය. එහෙයින් එතුමෝ එය නිසි ප්‍රමිතියට අනුව සකස් කළා. දැන් මේ ‘බෞද්ධ කොඩිය’ වශයෙන් අප භාවිතා කරන්නේ එදා ඕල්කොට් සෙන්පතිතුමන් විසින් ප්‍රමිතියට සකස් කරන ලද බෞද්ධ කොඩියයි.

ඉන් පසු වසරේ ජපානයට ගිය ඕල්කොට් සෙන්පතිතුමෝ බෞද්ධ කොඩිය එහි ව‍ූ අහස් වෙඩි ශිල්පීන්ට දී ඉන් අහස් වෙඩිල්ලක් නිර්මාණය කරන්නැයි පැවරූහ. ඔවුහු එය එසේ කර අහසේ එම බෞද්ධ කොඩිය විනාඩි ගණනාවක් තිස්සේ රැඳී රැස් විහිදුවමින් දිස්වන්නට සැලැස්වූ විට ඉන් අතිශයින් සතුටට පත් ඕල්කොට්තුමෝ “මේ බෞද්ධ ‍ධජය ඉදිරියට ලෝකයේ බෞද්ධ ධජය වශයෙන් බැබළෙනවා ඇතැ” යි පළ කළහ.

සෝමසිරි කස්තුරිආරච්චි 

 

Comments