ආලේපන විස වුණොත් තිබුණු රූපෙත් සුං | සිළුමිණ

ආලේපන විස වුණොත් තිබුණු රූපෙත් සුං

රූපලාවණ්‍ය ආලේපන ඔබේ රුව වඩනවා මෙන් ම ඇතැම්විට රුව නසන්නටත් ඉඩ තිබෙනවා. ඇතැම් රූපලාවණ්‍ය ද්‍රව්‍යවලින් අසාත්මිකතා ඇතිවෙන අවස්ථා තිබෙනවා. එවැනි අසාත්මිකතාවලින් මිදෙන්නට ගත හැකි සරල පියවර කිහිපයක් මේ.

ආලේප ගල්වන්නට පෙර හැම විටම දෑත් සහ මුහුණු හොඳින් සෝදාගන්න.

කිසිවිටෙක අන්‍යන්ගේ ආලේපන භාවිතා නොකරන්න. රූපලාවණ්‍ය ද්‍රව්‍ය හුවමාරු කර ගැනීම යනු විෂ බීජ හුවමාරු කර ගැනීමකි. ඒවා ඔබේ ම සො‍හොයුරිය ගේ යෙහෙළියගේ හෝ රූපලාවණ්‍යාගාරයේ ආලේප කර බැලීම සඳහා තබන ලද ඒවා වෙන්නට පුළුවන්. ඒත් ඒවා බෙදා හදා ගන්නට එපා. විෂබීජ වලට අයිතිකරුවන් නැත.

ඇස්වල කිසියම් අපහසුතාවක් (කඳුළු ගැලීම, රතු වීම හෝ දැවිල්ල වැනි) ඇති අවස්ථාවකදී ඇස් අඳුන් ගල්වන්න එපා. (පැරැණි කල්ගිය ආලේපන ලෝබ නැතිව විසි කරන්න. ඔබ ආලේපන අසුරණයක් විවෘත කරන හැම විටම අවට වාතයේ තිබෙන දූවිලි අංශු මෙන්ම විෂ බීජද එතුළට ඇතුල්වීමට ඉඩ තිබේ. බොහෝ ආලේපන වසරක් පමණ කලක් යනතුරු ආරක්ෂිතයි. වසර ගණන් පැරැණි යල් පිනූ ආලේපන ඔබේ සම ලෙඩ කරයි.

කිසියම් ආලේපයක් පළමුව ගැල්වීමට පෙර අතෙහි මැණික්කටුව මත හෝ සම මතුපිට ස්වල්පයක් ගල්වා බලන්න. දැවිල්ලක් කැසීමක් රතු වීමක් හෝ පළු දැමීමක් වුවහොත් එය අසාත්මිකතාවක් විය හැකිය. වහාම ආලේප කිරීම නවතා වෛද්‍ය උපදෙස් පැතීම සුදුසුය.

ඇස් අඳුන් ගැල්වීමේදී ප්‍රවේශම් වන්න. ඇහි පිහාටුවල ඇසට 1/3 පමණ පිටතින් මස්කරා ගැල්වීම සුදුසුය. ඇස්තුළට ආලේප යන පරිදි ඇස් යට හෝ පිය යට පාට නොකළ යුතුය. භාවිතා කරන්නේ නම් ඇස් අඳුන් භාවිතා නොකළ යුතුය.

ස්වභාවික ශාක සාර හෝ ස්වභාවිකයැයි කියූ පමණින් එම අලේප ඔබේ සමට අහිතකර නම් ගැල්වීමෙන් වැළකිය යුතුය. ස්වභාවික වූ පමණින් සියල්ල ගැළපෙන්නේ නැත. ඔබේ සමෙහි ස්වභාවය සහ එහි ඇති අසාත්මිකතා හඳුනා ගන්න. වෛද්‍ය උපදෙස් හෝ සුදුසුකම් ලත් රූපලාවණ්‍ය ශිල්පියකුගේ උපදෙස්වලින් තොරව ආලේප ගැල්වීම නුවණට හුරු නැත.

(ද ඩයිජස්ට් ඇසුරිනි) 

Comments