අපට දැනෙන හැඟීම් ප්‍රකාශ කරන්න කිසිම බාධාවක් නැහැ | සිළුමිණ

අපට දැනෙන හැඟීම් ප්‍රකාශ කරන්න කිසිම බාධාවක් නැහැ

බෞද්ධ ගීත සාහිත්‍යයේ නිම් වළලු පුළුල් කරමින් ගීතයට නව අරුතක් සම්පාදනය කළ රඹුකන සිද්ධාර්ථ හිමියෝ ගීතය භික්ෂූන් වහන්සේට අකැප නොවන බව මේ සංලාපයෙන් අවධාරණය කරති.

• ඔබ වහන්සේ ගීත රචනා සාහිත්‍යයට ප්‍රවේශවීම කවරාකාරයෙන් ද සිදුවන්නේ.?

අපි පුංචි කාලයේ, අපේ ගම්වල බෙ‍ෟද්ධ ආගමික පරිසරයක් තිබුණා. ඒ කාලයේ රූපවාහිනිය තිබු‍ණේ නැහැ. යශෝදරාවතේ කවි, ජාතක කතා පොත, තුන්්සරණේ වැනි කවි ආච්චිලට සීයලට අසාගෙන සිටීමට කියවන්න සිදුවුණා. ඔවුන් එම කාව්‍ය, සාහිත්‍ය ඉතාම ආශාවෙන් ශ්‍රවණය කරමින් රසවින්දා වගේ ම ඒ බෞද්ධ පරිසරයත් සමඟ සාහිත්‍යයක් අපේ මනසෙහි ගොඩනැඟුණා. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ගිහිගෙය හැරයෑමෙන් පසු රාහුල කුමරාත් යශෝදරා දේවියත් තනිවීම පිළිබඳ සිදුවීම සංසාර ප්‍රවෘත්තිය යශෝදරාවතෙන් පැහැදිලි කර තිබෙනවා.

කැලේ තිබෙන කොයි දේවත් රසවේවා
මලේ බඹරු මෙන් පිරිවර වැඩිවේවා
අව්වේ තිබෙන රැස් මාලා අඩුවේවා
ග‍ව්වෙන් ගව්ව දිව මාලිග ස‍ෑදේවා

කියමින් යශෝදරාව සිද්ධාර්ථ කුමරාගේ අභිනිෂ්ක්‍රමණය යහපතක් වන ලෙස ප්‍රාර්ථනා කළා‍. රම්‍ය, සුරම්‍ය, සුභ යන මාලිගා තුනක ජීවත්වූ රජෙක් වනගතව යුක්තිය සොයාගෙන යන ගමනක්. ඒ යන ගමනට යශෝදරාව ආශිර්වාද කළා. සිදුහත් කුමරා කෙරෙහි යශෝදරාවගේ තිබුණ අකලංක ප්‍රේමය, සංසාරික ආදරය, දයාව වැනි කාරණ ඒ කවි පන්ති මඟින් ම‍ූර්තිමත් වුණා. ඒවා කියැවීමෙන් ම අපේ රසවින්දන හැකියාව, රසඥතාව තවදුරටත් ඉහළට ඉස්මතු වුණා.

හිමයේ ගොසින් මල් යහනක නිදනව ද
කොමළ අනගි සිරිපා දෙක රිදෙනව ද
‍ඉගේ නැතිව දෙවියෝ මුර කරනව ද
මගේ ඇත් රජුනි නුඹ අද කොතැනක ද

වශයෙන් ආදරය ප්‍රකාශ කළ හැකි ඉහළම ස්ථානය වන ඇත් රජුනි යන ප්‍රකාශය ජනකවියා සටහන් කරනවා. යශෝදරාව තනිවීම නිසා ඇතිවන්නා වූ දුක,

කාරණාව බුදු වෙනවා ලකුණු දැනේ
නෑර කැටුව ආවා මම සරණ ගෙනේ
භාවනාව තොර නොකරමි සිතින් අනේ
මාලිගාව අද අඳුරුයි ස්වාමිනී

ආදී වශයෙන් තමා තුළ පැවතුණ ආදරය සෙනෙහස දයාව ප්‍රකාශ කර ඇති වටිනා ග්‍රන්ථයක් ව‍ූ යශෝදරාවත වැනි පොත් පත් කියවීමෙන් ගීතයට කවියට ලොකු ඇල්මක් ඇතිවුණා. එය ක්‍රියාත්මක කළ හැකි වූයේ විශ්වවිද්‍යාල සමයේදී යි.

• ලංකාවේ ගීතවල ඔබ වහන්සේ පෙර කී සාහිත්‍යමය ගුණය සුරක්ෂිත ද?

හැත්තෑව අසූව දශකය වන විට සුභාවිත ගීතය ඉතාම ඉහළ මට්ටමක පැවතුණා. ආචාර්ය ප්‍රේමසිරි කේමදාස වැනි සංගීතඥයන්, අමරදේව, නන්දාමාලනී, සනත් නන්දසිරි යන ප්‍රබුද්ධ ප්‍රවීණ ගායක ‍පරපුරක් සමඟම ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මහගමසේකර, ඩෝල්ටන් අල්විස් ආදී ප්‍රවීණ ගීත රචක පරපුරක් සිටි නිසා ම පාසල්වල විශ්වවිද්‍යාලවල ජන සමාජයෙහිත් සුභාවිත ගීතයට ඉතාම ඉහළ ස්ථානයක් සෑම පැත්තකින් ම හිමිවෙලා තිබුණා.

වර්තමානය වන විට පද රචනාව, සංගීතය, ගායනය යන සියලු අංශවල ඉතාම දුර්වල තත්ත්වයක් පෙන්නුම් කරනවා බොළඳ අරුත් සුන් දේවල් ශ්‍රවණය කිරීමට ලැබීම නිසාම මිනිසුන්ගේ ජන ජීවිතය ප්‍රබුද්ධ ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ගුවන් විදුලියෙන්, රූපවාහිනියෙන් අරුත් සුන්, බොළඳ ප්‍රේමාලාප අසන්නට ලැබෙනවා. එකල සිටි ගීත රචකයන්, සංග‍ීතඥයන් සහ ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ ආභාසය නිසා හොඳ ගීත පද රචනා කිරීමට අපටත් ප‍‍‍ූර්වාදර්ශය සැපයුවා.

• ඔබ වහන්සේ විසින් රචනා කළ ‘කඳුළු සලා නෑඹිලියට සහල් ගරන අම්මා’ අව්වට වැස්සට හුරු මිනිසුන්නේ යන ගීත අමුතුම ආරක් ගෙන තිබෙනවා.

අපේ ගම්වල සිටි වැඩිහිටි පරම්පරාව, බොහො­් ගොවියන් සහ කම්කරුවන් ලෝකය පුරාම රටක් රැකෙන්නේ ආරක්ෂාවන්නේත් ගොවියන් සහ කම්කරුවන්ගේ ශ්‍රමයෙන්. පන්සල්, පල්ලි, කෝවිල් යනාදිය නිර්මාණශීලී කම්කරුවන් විසින් නිර්මාණ කළ ඒවා අවුකන බුද්ධ ප්‍රතිමාව, සමාධි බුද්ධ ප්‍රතිමාව, රුවන්මැලි මහා සෑය යන සෑයවල් ද, කලා වැව, තිසාවැව යන මහා වැව් දාගැබ් යන සියල්ලමෙහි ගොවියන්ගේ සහ කම්කරුවන්ගේ ශක්තිය ගැබ්වෙලා තිබෙනවා. එවැනි පිරිසට උදවු කිරීමක් වශයෙන්

අව්වට, වැස්සට හුරු මිනිසුන්නේ
දෑතේ වීරියෙහි රටවල් රැකුණේ
ඒ මිනිසුන්නේ මළගම වෙනුවෙන්
මොන රජ මැඳුරෙද සුදුකොඩි රැඳු‍ෙණ්

යනුවෙන් මැයි දිනය වෙනුවෙන් රචනා කළ ගීතයට ආචාර්ය පේමසිරි කේමදාසයන් විසින් සංගීතය නිර්මාණය කළා. ටී.එම්. ජයරත්න, අයිවෝ ඩෙනිස්, මාලනී බුලත්සිංහල මේ ගීතය ගායනා කළා.

පන්සලේ පල්ලියේ
දහදියෙන් අපි තැනූ
පිළිම දා ගැබ් පෙනේ
ලෝකයක් දණ නැම‍ූ

යන ගීත කම්කරු ජනතාවට උපහාර පිණිස රචනා කළා. කිසිම කෙනෙක් සොයා නොබලන ‍ඔවුන් දෙස අපගේ දයාව, කරුණාව හැම විටම යොමු වුණා.

• මහ සඟරුවන සාහිත්‍ය කලාවට යොමුවීමෙන් සාහිත්‍යයට සදාචාරාත්මක බවක් එකතු වුණා යැයි සිතෙනවා.

අනුරාධපුර යුගයේ සිටම භාෂා සාහිත්‍යයේ දියුණුව සුරක්ෂිතව රැ‍කගත්තේ ස්වාමීන් වහන්සේලා සහ ගිහි උගතුන්. ඒ කාල වකවානුයේ අධ්‍යාපනය ලබන ප්‍රධානම ආයතනය පිරිවෙන් වූ නිසා ම එය ආශ්‍රයෙන් ධර්ම ශාස්ත්‍රීය සේවාව සිදුවුණා. පසුකාලීනව අනුරාධපුර, පොලොන්නරු, දඹදෙණි යන නොයෙක් යුගවල භාෂා සාහිත්‍යයේ පෝෂණය සඳහා භික්ෂුන් වහන්සේ දායකත්වය ඉහළින් ලැබී තිබෙනවා. පිරිවෙන් රැකබලාගෙන, සිංහල, පාලි, සංස්කෘත වැනි භාෂා සාහිත්‍ය පිළිබඳව රට පුරාම ප්‍රබෝධයක් ඇති කරනු ලැබුවෙත් ස්වාමීන් වහන්සේලාමයි. උන්වහන්සේලාගේ සහභාගිත්වය නිසා බෞද්ධ සාහිත්‍යයෙහි විශාල පිබිදීමක් ඇති වුණා. ඒ ආයතනවල අධ්‍යාපනය ලැබූ නිර්මාණශීලී ගිහි ප්‍රබුද්ධ ජනතාවගෙන් විශාල සේවයක් ඉටු වුණා. බුත්සරණ, අමාවතුර, පූජාවලිය යන ග්‍රන්ථ රාශියක් බෞද්ධ සාහිත්‍යයට එකතු වුණා.

අපගේ දුක්ඛ, දෝමනස්සයන් හෝ සතුට, සොම්නස කියා පාන්න පුළුවන් සූක්ෂ්ම කලාවක් ලෙස ගීතය හැඳින්විය හැකියි. ලොවුතුරා බුදුරජාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරල බුද්ධත්වය අවබෝධ කරගත් වෙලාවෙහි උන්වහන්සේගේ සිතට ඇතිවුණ සතුට නිම් හිම් නැති ප්‍රීතිය, ගීතයෙන් ප්‍රකාශ කළා.

‘අනේකජාති සංසාරං
සන්ධා විස්සං අනිබ්බිසං‍’

යන ගීතයෙන් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සතුට ප්‍රකාශ කළා. බුද්ධත්වය ලබා සුද්ධෝදන රජතුමාගේ ආරාධනා පිළිගෙන කිඹුල්වතට වැඩ සිටින විට කාළුදායි ඇමැතියා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කර සිටියේ පරිසර වර්ණනාවක් ද සමඟයි. කිඹුල්වත් නුවර පාර දෙපස මල් පිපී මල් බිමට හැලෙමින් පාවඩ අතුරමින් ඔබ වහන්සේ වඩින තුරු බලාගෙන සිටිනවා. වෘක්ෂ ලතා උඩුවියන් බඳිමින් ඔබ වහන්සේ වඩින තුරු බලාගෙන සිටිනවා. වන රොදෙහි කුරුල්ලන් ඔවුන්ගේ නොයෙක් ආකාරයේ ගීතිකා ගායනා කරන්නේ ඔබ වහන්සේ වඩින සන්තෝෂයටයි වැනි පරිසර වර්ණනාවන් කරමින් කළ ආරාධනාව බුදුරජාණන් වහන්සේ විසින් පිළිගනු ලැබුවා. ලෝකයේ පහළ වුණ විශිෂ්ටතම සෞන්දර්යවාදියා බුදුරජාණන් වහන්සේයි. ජීවිතය කළ කිරීමෙන් පැවිදි වූ තෙරුන් වහන්සේලා සහ තෙරණින් වහන්සේලා තුමන්ගේ සිතෙහි ඇතිවුණ සතුට ගීතයෙන් ප්‍රකාශ කළා. අපේ කාලයෙහි අපට දැනෙන හැ‍ඟෙන සිතිවිලි ගීතය හරහා ප්‍රකාශ කිරීමට කිසිම බාධාවක් තිබුණේ නැහැ.

“බුදු හාමුදුරු‍ෙවා අපිත් දකිනේනැති
බණත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට පින් මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ”
“හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන්
දනට පිනට දුන්නේ මම සිතේ මනාපෙන්”
“බුදු බණ කිව්වත් නිරන්තරේ
බුදු බණ ඇසුවත් නිරන්තරේ
ගතිගුණ අතින් අපි තවමත්
වනන්තරේ”

යනාදී වශයෙන් බුදුගුණ, මවු ගුණ ගීත, ගුරුවරුන්, සමාජය පිළිබඳ අනන්ත අප්‍රමාණ දේවල් ලිවීමට බෞද්ධ සාහිත්‍යයෙන් තේමාවන් සැපයූ නිසාම ‍බෞද්ධ ගීතයෙහි දියුණුවට විශාල මෙහෙවරක් භික්ෂුන් වහන්සේලාගෙන් වගේ ම ගිහියන්ගෙන්ද ඉටුවෙලා තිබෙනවා.

• ලංකාවේ පැවැත්වෙන අන්තර්ජාතික වෙසක් උත්සවය පිළිබඳ ඔබ වහන්සේ‍ෙග් අදහස කුමක්ද?

වෙසක් දිනය අන්තර්ජාතික වෙසක් දිනයක් බවට පත්කිරීමේ මහා ගෞරවය හිටපු විදේශ ඇමැති ලක්ෂ්මන් කදිරගාමර් ඇමැතිතුමාට හිමිවිය යුතුයි. එතුමා ද්‍රවිඩ ජාතිකයෙක් වුණත් ලෝකය දෙස ආගම්වාදීව ජාතිවාදීව බැලුවෙ නැහැ. යහපත් දේ තෝරා බේරාගන්න මනා සැලැස්මක් තිබුණා. බුදුන් වහන්සේගේ ධර්මය පිළිබඳ එතුමාට විශාල දැනුමක් වගේ ම පැහැදීමක් තිබුණා. ඒ අනුව එතුමාගේ උත්සාහය නිසා මේ වෙසක් උත්සවය අන්තර්ජාතික වෙසක් දිනයක් බවට පත් කර ගැනීමට හේතු වුණා. අද දවසේ පළමු වතාවට අන්තර්ජාතික වෙසක් උත්සවය ලංකාවේ පැවැත්වෙන විට ලෝකයේ තිබෙන බෞද්ධ රාජ්‍යයක් සහභාගි වීම නිසා ලෝකය තුළ ලංකාවට කීර්තියක් සහ ශාන්තියක් අත්වන බව අප විශ්වාස කරනවා.

Comments