
ජීඑස්පී ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට ලැබීමත් සමඟ ඇඟලුම් අපනයනයට සහ අලුත් ආයෝජන සඳහා වැඩි ඉඩක් ලැබෙන බව වාර්තා වේ. එමඟින් ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී ආර්ථික වාසි රැසකට මඟ පෑදෙන බවද පැවසේ.
මේ යටතේ භාණ්ඩ 6600කට ආසන්න ප්‍රමාණයක් යුරෝපා සංගමයට අයත් රටවලට තීරුබදු රහිතව අපනයනය කිරීමට හැකියාව ලැබෙන බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ජීඑස්පී+ සහනය ලබාගැනීමේ ජයග්‍රහණය පක්ෂ භේදයෙන් තොරව රටම සතුටු විය හැකි ජයග්‍රහණයක් ලෙස පෙන්වාදුන් ඇමැතිවරයා පසුගිය කාලයේ ජීඑස්පී+ තහනමත් සමඟ ශ්‍රී ලංකාවට ඇඟලුම්වලින් පමණක් යූරෝ මිලියන 150ක පමණ පාඩුවක් සිදු වූ බවද, මත්ස්‍ය තහනම නිසාද එවැනිම පාඩුවක් සිදු වූ බවද හෙතෙම පෙන්වා දුන්නේය.
තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ජීඑස්පී+ සහනය මැයි 15 වැනිදා පමණ වන විට මෙරටට ලැබෙනු ඇතැයිද විශ්වාසය පළ කළේය.
ජීඑස්පී+ සහනය නැවත ලැබීම කෙරෙහි ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට, නීතිය හා සාමය රැකගැනීමට සහ යහපාලනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළද බලපා ඇත.