කසළ ධනය කරන ක්‍රම | Page 7 | සිළුමිණ

කසළ ධනය කරන ක්‍රම

රටම කතා කරමින් සිටින්නේ කසළ ගැනය. ව්‍යසනයක කෙළවර මේයැයි බොහෝ මුවින් පිට වනු ඇසේ. එහෙත් සැබවින්ම ව්‍යසනයක් තිබේද? නැත. ව්‍යසනයක් හෝ ගැටලුවක් සැබවින්ම පවතින්නේ නැත. ඇත්තේ අප විසින්ම ඇති කර ගත් ගැටලුවකි.

කසළ ගැටලුවක් නොවේ. සැබවින්ම කසළ යනු ධනයයි. කසළ නිපදවන්නේ මිනිසාය. මිනිසා සිටින ඕනෑම ස්ථානයක කිසිදු ආයාසයකින් තොරව කසළ බිහි වන්නේය. මේ කසළ ගැටලුවක් බවට පත් කරගන්නේද මිනිසාමය. මේ කසළ ධනය බවට පත් කරගන්නේද මිනිසාමය. ඒ සඳහා අවශ්‍ය වන්නේ දැනුම්වත් භාවය පමණකි.

අතීතයේදී මිනිසුන්ට කසළ ගොඩගැසීම හෝ බැහැර කිරීම ගැටලුවක් වූයේ නැත. එහෙත් කල් යත්ම ජනගහනයට සාපේක්ෂව ගොඩගැසෙන කසළ ප්‍රමාණයද වර්ධනය වීමෙන් මේ කසළ බැහැර කිරීම අදාළ කරගනිමින් නොයෙක් ගැටලුවලට මුහුණ දීමට මිනිසාට සිදු විය. මෙහිදී අමෙරිකාව ඇතුළු දියුණු රටවල් ප්‍රථමයෙන් සොයාගත් පිළියම වූයේ මේ කසළ එක් කර. නැව් මඟින් ගෙන ගොස් සාගරයට අතැර දැමීමය. එහෙත් කල් යත්ම ගොඩබිම මෙන්ම සාගරයද එක සේ දූෂණය වන බවත්, එක සේ රැකගත යුතු බවත් වටහාගැනීමෙන් පසු සාගරයට කසළ බැහැර කිරීමේ ක්‍රමවේදය අත්හළ මේ රටවල් කසළ ගැටලුවට වෙනත් පිළියම් සෙවීමට කටයුතු කළහ.

කසළ මගින් ධනය ඉපයීමේ මාර්ග උත්පාදනය වන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

සැබවින්ම කසළ යනු සියල්ලන්ටම පිළිකුල් උපදවන්නා වූ දෙයකි. කසළ නිපදවුණු සැණින් මිනිසා සරන පරිසරයෙන් ඉවත් කළ යුතුය. එහෙත් ඒවා ගොඩගසා පවතින්නට හැරීම තවත් ව්‍යසන රැසකටම මුල පුරන ක්‍රියාවකි. අද දවසේ අප රට මුහුණ දී සිටින්නේ ඒ හේතුවෙන් මතු වූ එකිනෙක බැඳුණු ගැටලු රාශියකටය. එහෙත් නිසි පරිදි කළමනාකරණය කරගන්නා කසළ මතු කර දෙන්නේ ධන නිධානයකි.

කසළ ධනය බවට පත් කරගත හැකි ක්‍රම කිහිපයකි. ජීව ඉන්ධන නිපදවාගැනීම ඒ අතරින් එක් ක්‍රමයකි. ජීව ඉන්ධන හෙවත් 'බයෝ ගෑස්' යනු කසළ දිරාපත් වීමේදී උත්පාදනය වන්නා වූ වායූන්වල එකතුවකි. මේ වායු භාවිත කරමින් ගෘහස්ථ බලශක්තිය - එනම්: කුස්සියේ කෑම පිසීමේ සිට යන්ත්‍රාගාරවල කටයුතු නිම කිරීම දක්වා අවශ්‍ය බලශක්තිය - උපදවාගත හැකිය. ඒ සඳහා කළ යුත්තේ කසළ දිරාපත් වීමට අවශ්‍ය පරිසරය සහ ඒ ඔස්සේ නිපදවෙන්නා වූ වායු එක්රැස් කිරීමට අවශ්‍ය පහසුකම් ඉදි කරගැනීම පමණි. මෙසේ කොට වායුව නිපදවාගත් පසු ඒ වායුව අලෙවි කිරීමෙන් වැයට වඩා බෙහෙවින් වැඩි ආදායමක් උපයාගැනීමට හැකිය.

භූමිය යනු සීමිත සම්පතකි. අපේ පෘථිවි තලයේ ඇති ගොඩබිම්වලින් මිනිස් වාසයට සුදුසු මට්ටමේ පවතින්නේ ඉතා සීමිත ගොඩබිම් ප්‍රමාණයකි. ගොඩබිම වර්ධනය කරගැනීමට නොහැකියැයි මිනිසා එදා සිතා සිටියද, අද එසේ නොවේ. නොයෙක් ක්‍රම මඟින් ගොඩබිම වර්ධනය කරගත හැකි අතර, වගුරුබිම් හෝ මුහුද ආශ්‍රිත බිම් පිරවීම එහි එක් ක්‍රමවේදයකි. මෙකී පිරවීම් කටයුතු සඳහා ඉතා පහසුවෙන් යොදාගත හැකි දෙයකි කසළ. පස් හෝ ගල් යොදා භූමිය පිරවීම යනු තවත් ස්ථානයක භූමිය අහිමි කිරීමකි. එහෙත් කසළ යොදා භූමිය පිරවීම එසේ නොවේ. එයින් කසළ බැහැර කිරීම පදනම් කරගනිමින් ඇති වන ගැටලුවලට හොඳ පිළිතුරක්ද ලැබෙන අතර, අවශ්‍යතාවද සාර්ථකව ඉටු වේ. එමෙන්ම කිසිදු අවස්ථාවක කසළ සම්පාදනයේ අඩුවක්ද ඇති නොවන බැවින් කසළ යොදාගනිමින් භූමිය ගොඩ කිරීම සහ පසුකාලීනව එම භූමිය මිනිස් වාසයට සුදුසු සේ සකස් කිරීම මගින් ධන උල්පතක් පාදාගත හැකිය.

කෘත්‍රිම පොහොර යෙදීම මඟින් පසට විෂ එක් වන බවට දැන් ඇති වී තිබෙන්නේ මහත් ආන්දෝලනයකි. කාබනික පොහොර යෙදීමෙන් වගා කටයුතු කිරීම මේ සඳහා ඇති එකම පිළිතුර බව කියවේ. කසළ යනු කාබනික පොහ‍ොරවලට තවත් නමකි. කසළ මඟින් පොහොර සකසාගැනීම ගෘහස්ථ ප්‍රමාණයේ සිට මහා පරිමාණය දක්වා සිදු කළ හැකිය. තමන්ගේ නිවෙසේ බැහැර වන කුණු අතරින් දිරා පත් වන ද්‍රව්‍ය වෙන් කර, ඒවා මඳක් දිරා යෑමට සලස්වා ගෙවත්තේ ගස්වලට යෙදීමෙන් ගෙවත්තට අවශ්‍ය කාබනික පොහොර නිපදවාගත හැකි අතර, කෘත්‍රිම පොහොර මිල දී ගැනීමට යෙදවූ මුදල් ඉතිරි කරගත හැකිය. මේ ක්‍රියාව මහා පරිමාණව කළ විට රටකට අවශ්‍ය පොහොර නිපදවාගත හැකි අතර කෘත්‍රිම පොහොර භාවිතයෙන් පසට වන හානියද වළක්වාගත හැකිය.

කසළ දහනය කිරීමෙන් ගෑස් නිපදවාගැනීම බටහිර රටවල කසළ භාවිතයට ගන්නා තවත් ක්‍රමවේදයකි. මේ සඳහා කසළ ලෙස පවතින ඝන ද්‍රව්‍ය මෙන්ම ද්‍රවද භාවිත කරනු ලැබේ. පරිසරයට අහිතකර වායු මෝචනය කරන්නා වූ කසළ මෙහිදී ඉවත් කළ යුතු වන අතර, සෙසු කසළ දහනයෙන් බලය උපදවාගත හැකි වායු උත්පාදනය කරගත හැකිය.

කසළ යළි භාවිතයේ ජනප්‍රියම ක්‍රමවේදය වන්නේ ප්‍රතිචක්‍රීකරණයයි. මෙහිදී කසළ වර්ගීකරණය කළ යුතු අතර, ඉන් පසු එක් එක් වර්ග වෙන වෙනම ප්‍රතිචක්‍රීකරණය කරනු ලැබේ. කසළවල අන්තර්ගත ලෝහ, කඩදාසි, වීදුරු, ප්ලාස්ටික් සහ කාඩ්බෝඩ් මෙලෙස ප්‍රතිචක්‍රීකරණය කළ හැකිය. දැනට ලෝකයේ මේ ප්‍රතිචක්‍රීකරණය මහා පරිමාණව සිදු කෙරෙන ලාභදායි ව්‍යාපාරයක් බවට පත්ව තිබේ. යුරෝපා රටවල කසළ වර්ගීකරණය කිරීමෙන් පසු කෙන්යාව, මොසැම්බික් වැනි අප්‍රිකානු රටවලට නැව් මඟින් ගෙන එනු ලබන අතර, එහිදී එම කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් පසු නැවත භාවිතයට යළි යුරෝපා රටවල් කරා රැගෙන යනු ලැබේ. අපේ රටේ කසළවලටද මෙවැනි ප්‍රතිචක්‍රීකරණ කටයුතු සඳහා ඉල්ලුමක් පවතින බව සඳහන් කළ යුතුය. එහෙත් නොයෙක් අක්‍රමිකතා හේතුවෙන් අපේ රටේ කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීමට බාධා එල්ල වූ බවද සිහිපත් කළ යුතුය. අපේ රටේ තවමත් නාගරික ප්‍රදේශවල කසළ කඳු පැවතීමට සහ මහාමාර්ග අයිනේ බැහැර කරන ලද කසළ සුලබ දසුනක් වීමට හේතුවක් ලෙස කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීමට පියවර නොගැනීම දැක්විය හැකිය.

සැබවින්ම කසළ යනු සම්පතකි. එය පොළොවෙන් ලැබෙන්නා වූ මැණික් සේම අගනේය. මැණිකක් වුව අතට ලැබුණු පමණින් එහි වටිනාකම ඉස්මතු වන්නේ නැත. ඒ සඳහා මැණික කපා ඔප දැමිය යුතුය. එහි නියම වටිනාකම ලැබෙන්නේ ඉන් පසුවය. කසළ වුවද එසේය. කසළ හුදෙක් කසළ ලෙස තිබූ පමණින් එහි වටිනාකමක් නැත. එහෙත් එහි වටිනාකම ඉස්මතු කරගැනීමට කටයුතු කළ යුතුය. ඒ සඳහා අවශ්‍ය වන්නේ තාක්ෂණික කටයුතු සඳහා වන වැය සහ ආකල්පමය වෙනසක් පමණි.

ඒ වෙනස අපේ රටේ ඇති කිරීමට කාලය පැමිණ තිබේ.

 

Comments