මැයි දින පණිවිඩ | සිළුමිණ

මැයි දින පණිවිඩ

කම්කරු අයිතීන් වෙනුවෙන් දිවි දුන් හැමට ගෞරවය - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 

 රටේ සමස්ත ආර්ථික ක්‍රියාවලිය වෙත මෙන්ම නව ලෝක ප්‍රවණතා වෙත ද සංවේදී වෙමින් වඩාත් වගකීම්සහගත සමාජ බලවේගයක් ලෙස වැඩ කරන ජනතාව ක්‍රියා කරනු ඇතැයි මැයි දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

ජනාධිපති තම මැයි දිනය වෙනුවෙන් කම්කරු ජනතාවට සිය උත්තමාචාරය දක්වමින් ඉදිරිපත් කළ මැයි දින පණිවිඩයේ මෙසේ ද දැක්වේ:

මිනිස් ශ්‍රමය ගොඩනැංවූ ශිෂ්ටාචාරයේ උපරිම ව්‍යූහය, මිනිස් ශ්‍රමයේ අභිමානවත් උත්තුංග බව ඉදිරියේ දණ නැවූ ඓතිහාසික සංසිද්ධිය සිහි කරමින් සැමරෙන අන්තර්ජාතික කම්කරු දිනය වෙනුවෙන් මේ පණිවිඩය නිකුත් කරනුයේ, මැයි දිනය සමරන ලොව පුරා සහෝදර කම්කරු ජනතාව වෙත ආචාරයද පළ කරමිනි.

මිනිසුන් යදමින් බැඳ, ඔවුන් තම දේපොළක් ලෙස සලකා හාම්පුතුන් කටයුතු කළ අතීතයක සිට වෘත්තීය අයිතීන් වෙනුවෙන් එක් වටමේසයක සිට හාම්පුතුන් සමඟ කේවල් කරන වර්තමානයක් දක්වා කම්කරුවා පැමිණි මාවත, ලෙයින්ද දහඩියෙන්ද කඳුළින්ද ඉදි වූවක් බව සිහි කැඳවාගන්නට අන්තර්ජාතික කම්කරු දිනය ශ්‍රී ලංකාවේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ තැන් සිට ශ්‍රී ලාංකික කම්කරු ජනතාව දිනාගත් ජයග්‍රහණ අවලෝකනයටද මැයි දිනය නිමිත සපයයි.

ඒ දිගුකාලීන අරගල මාවතෙන් පන්නරය ලැබ, නූතන ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ව්‍යූහයේ තීරණාත්මක බලවේගය ලෙස කටයුතු කරන වැඩ කරන ජනතාව, ශ්‍රී ලංකාව වෙත ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීමේ අරගලයේද තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ බව සිහිපත් කරනු කැමැත්තෙමි. රට තුළ සංහිඳියාව ස්ථාපනය කිරීමේ සහ ආර්ථික සමෘද්ධිය අත්කරගැනීමේ අරගලය ඇතුළු ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අභියෝගයන් ජයග්‍රහණය කිරීම වෙනුවෙන්ද ලංකාවේ වැඩ කරන ජනතාව වෙත පැවරී ඇති වගකීම අත්හළ නොහැකි එකකි.

1917 ශ්‍රේෂ්ඨ රුසියානු විප්ලවය ජයග්‍රහණය කොට වසර සියයක් සම්පූර්ණ වන මේ වසරේදී සැමරෙන මැයි දිනය, වඩාත් ජවසම්පන්න ආවේශයක් අප සැම වෙත ලබා දී ඇත. එම උණුසුම් ජවයෙන් අද මැයි දිනය සමරන ලොව පුරා වැඩ කරන ජනතාව සමග මා ද එක් වන අතර, ඈත අතීතයේ සිට මිනිස් නිදහස සහ කම්කරු අයිතිය වෙනුවෙන් දිවි දුන්, මොර දුන්, දහදිය කඳුළු දුන් ලොව පුරා සියලු කම්කරු සහෝදරයන් වෙත ගෞරවාචාරය පළ කරමි. 


වැඩ කරන ජනතාවගේ ශ්‍රමයට වටිනාකමක් දෙමු - අගමැති රනිල් වික්‍රමසිංහ

 වැඩ කරන ජනතාවගේ ශ්‍රමයට නිසි වටිනාකමක් ලැබෙන යහපත් අනාගතයක් වෙනුවෙන් සංවාදමය සම්මුතිගත මැදිහත් වීමට මෙවර මැයි දිනය අවස්ථාවක් කරගැනීමට අදිටන් කරගනිමු යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය මැයි දින පණිවිඩය මඟින් පවසා සිටී.

අපේ රටේ යහපත් අනාගතයක් වෙනුවෙන් සංවාදමය සම්මුතිගත මැදිහත් වීමක් සඳහා මෙවර මැයි දිනය අවස්ථාවක් කරගත යුතු බවද අගමැතිවරයා එම පණිවිඩයෙන් පවසා තිබේ. අගමැතිවරයා මැයි දිනය වෙනුවෙන් නිකුත් කරන ලද මැයි දින පණිවිඩයේ මෙසේද සඳහන් වේ:

සමස්ත ලෝකය රඳා පවතින්නේ වැඩ කරන ජනතාවගේ දහඩිය, ශ්‍රමය මතය. ඉතිහාසය පුරා ඔවුන් ස්වකීය අයිතිවාසිකම් වෙනුවෙන් කළ නොනවතින අරගලයක, කැප කිරීමක ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ අවධානය කම්කරු ජනතාව වෙත යොමු කරමින් අන්තර්ජාතික මට්ටමින් මැයි දිනය සැමරීම ආරම්භ වී ඇත. වර්තමානය වන විට වැඩ කරන ජනතාව යන්න වඩාත් පුළුල් අර්ථයක් ගෙන තිබේ. එය තවදුරටත් කම්හලේ, ගොවිපළේ ශ්‍රමය වගුරුවන පිරිසට පමණක් සීමා වන්නේ නැත. නූතන තාක්ෂණික ලොව තුළ මානව ශ්‍රමයට පුළුල් අවකාශයක්, අවස්ථා රැසක් බිහි වී ඇත්තාක් මෙන් ම ඒ අනුව වැඩ කරන ජනතාව මුහුණ දෙන අභියෝග සහ ගැටලු ද දිනෙන් දින වෙනස් වෙමින් පවතී.

සාම්ප්‍රදායික මැයි දින සැමරුමට සීමා නොවී මේ නූතන ප්‍රවණතා සහ අභියෝග හඳුනාගනිමින් වැඩ කරන ජනතාවගේ හිමිකම් දිනා දීමටත් ඔවුන්ගේ සුබ සාධනය සම්බන්ධයෙන් කටයුතු කිරීමටත් කම්කරු ජනතාව සහ රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයද එක්ව සාකච්ඡා කිරීම, පුළුල් වැඩපිළිවෙළක් සැකසීම අත්‍යවශ්‍ය වේ. නවීන තාක්ෂණික ලෝකයේ, කාලීන සමාජ, දේශපාලන අභියෝග මැද කම්කරු ජනතාවට නිසි ගරුත්වය ලැබෙන දේශයේ අභිවෘද්ධිය උදෙසා ස්වකීය කාර්යභාරය ඉටු කිරීමට අවශ්‍ය පසුබිම සැකසෙන, ඔවුන්ගේ ශ්‍රමයට නිසි වටිනාකමක් ලැබෙන යහපත් අනාගතයක් වෙනුවෙන් සංවාදමය සම්මුතිගත මැදිහත් වීමකට මෙවර මැයි දිනය අවස්ථාවක් කර ගනිමු.


දිවි පිදූ කම්කරුවන්ට උපහාර දක්වමු - විපක්ෂ නායක ආර්. සම්පන්දන්

 ජාත්‍යන්තර කම්කරු දිනය යනු වැඩ කරන පන්තියේ ජනතාවගේ ජයග්‍රහණවලට පිළිගැනීමක් ලබාදීමටත් ලොව පුරා ජනතාවගේ ආර්ථික හා සමාජ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දිවි පිදූ කම්කරුවන්ට උපහාර දැක්වීමටත් ඇති අවස්ථාවකි.

වර්තමාන තත්ත්වයට ශ්‍රී ලංකාව ගෙන ඒම සඳහා වසර ගණනාවක සිට කම්කරු පන්තිය විසින් ඉතා වැදගත් මෙහෙවරක් ඉටු කර ඇත. එහෙයින් අපේ රටේ උන්නතිය හා සංවර්ධනය කෙරෙහි ස්වකීය ශක්තිය වැය කරමින් දායකත්වය දැක්වූ කම්කරු ජනතාව වෙත මගේ කෘතඥතාව පළ කිරීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි.

අපගේ ජාතිය එළඹ සිටින්නේ ඉතිහාසයට එක්වන තීරණාත්මක සන්ධිස්ථානයකට ය. එහෙයින් ජාතික සමෘද්ධිය සඳහා බලවත් පරිශ්‍රමයකින් යුතුව වැඩ කරමින්, ජාති සමගිය හා ප්‍රතිසන්ධානය ළඟා කර ගැනීම වෙනුවෙන්, සංවේදීව හා කැපවීමෙන් කටයුතු කරන ලෙස කම්කරු ප්‍රජාවගෙන් ඉල්ලා සිටීමට මම කැමැත්තෙමි. මෙම දිනයේදී කම්කරු ජනතාවගේ අරගල, ජයග්‍රහණ හා ඔවුන් මුහුණ පා සිටින අභියෝග ආවර්ජනය කරමින්, කම්කරු ප්‍රජාවගේ ගැටලු වෙනුවෙන් පෙනී සිටීමේ වේදිකාවක් වශයෙන් තම මැයි දින සැමරුම යොදා ගන්නා ලෙසත්, කම්කරු ප්‍රයත්නයන් සැමරීම සඳහා එය අවස්ථාවක් කර ගන්නා ලෙසත් සියලු ම දේශපාලන පක්ෂවලින් මම ඉල්ලා සිටිමි.

 

Comments