ඔබ සත්පුරුෂයෙක්ද? දැන ගන්න කියවන්න | සිළුමිණ

ඔබ සත්පුරුෂයෙක්ද? දැන ගන්න කියවන්න

සමස්ත යෝග බල අතරින් කැපීපෙනෙන ශුභපල අත්කර දෙන යෝගයක් ලෙස ධර්මකර්මාධිපති යෝගය හඳුනාගත හැකිවේ. මේ යෝගය ලබා උත්පත්තිය ලබන අයට උපන් අවස්ථාවේදී ගෙවීමට සිදුවන ජීවිතයට බොහෝ සේ වෙනස් වූත් උසස්වූත් ජීවිතයක් අනාගතයේදී ගතකිරීමට වාසනාව හිමිවේ.

මේ යෝගය පස්වැන්නේ හෝ නවවැන්නේ යෙදීමෙන් තමා අදහන්නා වූ ආගමට කුඩා කළ සිටම බොහෝ සේ නැඹුරු වෙමින් ධාර්මික ජීවිතයක් ගතකිරීමටත් සමහර විට ගිහි ජීවිතය අතහැර දමා මහණ දම් පිරීමටත් කැමැති වෙයි. සමහර විට නායක ස්වාමීන්වහන්සේ නමක් වීමටද හැක. ‍රටේ නායකයන්ට උපදෙස් දෙන්නාවූ අයෙකු වේ. තමා යටතේ අනුගාමිකයන් පිරිසක්ද නිතැතින්ම බිහි වේ.

ධර්මය වෙනුවෙන් ඉතා උසස් කැපවීමක් සිදු කරන පිහිටීමකි. ඉතා ධර්මානුකූලව අසරණයන්ට පිහිට වෙමින් තම ජීවිත කාලය ගත කරයි. මරණින් පසුද තම නාමය අමරණීයත්වයට පත්වන අයකු වේ. ඉතා දුප්පත් පැල්පතක උත්පත්තිය ලබා ධර්මකර්මාධිපති යෝගය ශුභව යෙදී තිබුණහොත් සමාජයට අවශ්‍ය වන්නාවූ පුද්ගලයකු ලෙස උගත්කමින්ද බුද්ධියෙන්ද යුක්තව හැදෙන අතර රටෙහි ප්‍රධානීන්ගෙන් ගෞරවයටත් ගරු බුහුමනටත් ලක්වනු ඇත. රටේ ප්‍රසිද්ධ චරිතයක් බවට පත්වේ.

මේ යෝග සහිතව උත්පත්තිය ලැබීමෙන් ලෞකික වශයෙන් මෙන්ම ලෝකෝත්තර වශයෙන් ද දියුණුවක් ලබයි. මෙම යෝගය කේන්ද්‍රස්ථාන වන ලග්නය හතර වැන්න දසවැන්න යන භාවයන්හි යෙදීමෙන් වඩා ශුභ පල අත්වේ.

ධර්මකර්මාධිපති යෝගබලයෙන් යුක්තව උපන් අයකු දේශපාලනයට යොමු වුවහොත් එම තැනැත්තා නායකත්වයට පත්වී රට දැය වෙනුවෙන් උතුම් සේවාවක් ඉටු කරන මහජන නියෝජිතයෙකු වනු ඇත.

ධර්මකර්මාධිපති යෝගය යෙදුණු පමණීන් සෑම දෙනාටම යො‍්ගයේ නියම පල අත් නොවනු ඇත. යම් හෙයකින් පාපග්‍රහයින් සමඟ යෝග වුවුහොත් හෝ පාපග්‍රහ දෘෂ්ටියක් එල්ල වුවහොත් මේ යෝගයේ පල නොලැබී යනු ඇත. නමුත් පාපග්‍රහ දෘෂ්ටි හෝ පාපග්‍රහයින් සමඟ යෝග වී යෝගය යෙදුණත් එම තැනැත්තා යම්කිසි අයුරකින් උසස් තත්ත්වය‍ට පත්වන අතර යෝගයේ නියම පලය උපරිමයට නොලබනු ඇත.

ධර්මකර්මාධිපති යෝගය ලග්න අනුව යෙදෙන ආකාරය

 මේෂ ලග්නයෙන් උපන් අයකු නම් බ්‍රහස්පති සෙනසුරු ග්‍රහයන් එකම රාශියක තැන්පත් වීම.

 මිථුන ලග්නයෙන් උපන් අයකු නම් බ්‍රහස්පති සෙනසුරු එක්ව එකම රාශියක තැන්පත් වීම.

 කටක ලග්නයෙන් උපන් අයකු නම් බ්‍රහස්පති අඟහරු එකම රාශියක තැන්පත් වීම.

 සිංහයෙන් උපන් අයකු නම් අඟහරු සිකුරු එක්ව එකම රාශියක තැන්පත් වීම.

 කන්‍යාවෙන් උපන් අයකු නම් සිකුරු බුධ එක්ව එකම රාශියක තැන්පත් වීම.

 තුලා ලග්නයෙන් උපන් අයකු නම් බුධ, සඳු දෙදෙනා එකම රාශියක තැන්පත්ව සිටීම.

 වෘශ්චික ලග්නයෙන් උපන් අයකු නම් සඳු, රවි එකම රාශියක තැන්පත් වීම.

 ධනු ලග්නයෙන් උපන් අයකු නම් රවි, බුධ ග්‍රහයාත් එකට එක්ව එකම රාශියක තැන්පත් වීම.

 මකර ලග්නයෙන් උපන් අයකු නම් බුධ ග්‍රහයාත්, සිකුරු ග්‍රහයාත් එකට එක්ව එකම රාශියක තැන්පත් වීම.

 කුම්භ ලග්නයෙන් උපන් අයකු නම් සිකුරු, අඟහරු එකම රාශියක තැන්පත් වීම.

 මීන ලග්නයෙන් උපන් අයකු නම් අඟහරු, බ්‍රහස්පති එකම රාශියක තැන්පත් වීම.

 

වෘෂභ ලග්නයෙන් උපන් අයට හැර අනිත් ලග්නවලින් උපදින සියලු දෙනාටම ධර්මකර්මාධිපති යෝග බලය හිමි වීමේ වරම් තිබේ. නමුත් එම යෝග බලයට ඉවහල් වන්නාවූ ග්‍රහ යුග්මය යෝග වී අදාළ රාශියක තැන්පත් විය යුතුවේ. එවිට ඉහත දැක්වූ අයුරින් මේ යෝගය ඇති වන්නේය.

 

Comments