විලේ මඳ ආලෝකය දෙස විමසිල්ලෙන් බැලීමට ඔවුන්ට හැකි වේවා..! | Page 8 | සිළුමිණ

විලේ මඳ ආලෝකය දෙස විමසිල්ලෙන් බැලීමට ඔවුන්ට හැකි වේවා..!

'විල් තෙරේදී' - බල්ගේරියානු ලේඛක ලුඩ්බොමීර් පීවෙස්කි (Lyubomir Peevaski)

සිංහල අනුවාදය
බොබී ජී. බොතේජු විසිනි

 

1 කොටස

1943 දී උපත ලැබූ මේ ලේඛකයා සොෆියා ලෙනින් විදුලි කාර්මික ආයතනයේ අධ්‍යාපනය ලැබුවේය. ඔහු සොෆියා ගුවන්විදුලියේ විනෝදාත්මක වැඩසටහන්වල නිෂ්පාදකවරයකු ලෙසද කටයුතු කළේය. ඔහුගේ නිර්මාණ රුසියන්, පෝලන්ත, චෙක්, රුමේනියානු, එස්තෝනියානු සහ ඉංග්‍රීසි භාෂාවලට පරිවර්තනය වී ඇත. අද සිට කොටස් වශයෙන් පළ වන්නේ ඔහු විසින් රචිත ‘විල් තෙරේදී‘ විද්‍යා ප්‍රබන්ධයයි.

මගේ මනසේ ඒ අමුතු තාලය තවමත් රැව්දෙයි. එහි සවරසංයෝගයෙන් ඇතිවන රිද්මයෙන් මගේ සිරුරම කිලිපොළා යයි. අසහනය, ශෝකය සමගම ප්‍රීතිය, සන්සුන් බව සම්මිශ්‍රණය වූ රිද්මයකි ඒ.

මගේ පාදයේ ඇති දරුණු වේදනාව මා අමුතු අත්දැකීමකට ඈඳාගෙන යනවායැයි මට වරෙක සිතේ. වෙනත් අවස්ථාවක නම් මට සිදු වන්නේ එවැනි සිදුවීමක් අසා සිටීමට පමණකි.

මා දෑස පියාගත් විට මේ සියල්ල මට පැහැදිලිව දර්ශනය වෙයි. මෙවැන්නක් ඇත්තටම කවදාවත් සිදු විය නොහැකි බව මට ඒත්තු ගැන්වීමට කිසිවකුට හැකි නොවනු ඇත. මම නැවතත් ඒ සියල්ල දකිමි. මගේ හිසට ඉහළින් සිහිල් ආකාශයේ තරු දිලිසෙයි. මට පෙනී ගිය හැටියට ආකාශයේ එක්තරා ස්ථානයක් දීප්තිමත්ව ඇත. එය බොහෝ ඈත සිට එන අදෘශ්‍යමාන විකිරණයක ප්‍රතිබිම්බයක් විය හැකිය...

මට සෙලවීමටවත් හැකියාවක් නැත. භයානක සිද්ධිය වූ ස්ථානයට නුදුරින් මම වැතිර සිටිමි.

“මම පිපාසයෙන් දැවෙමින් සිටිමි“ මම මගේ සටහන් පොතේ ලීවෙමි. මගේ ඉරියව් වෙනස් කිරීමට දරන සෑම උත්සාහයකදීම මම දැඩි වේදනාවට පත් වෙමි. හිල් වී ඉරී ගිය මගේ ගමන් මල්ල එය වැටුණු තැනම ඒ ආකාරයෙන්ම ඇත. ඉදිරියේදී මුහුණ දීමට සිදු විය හැකි ඛේදවාචකයට මුහුණ දීමට මම වෑයම් කරමි.

මා සොයාගනු ලැබීමට ඇති අවස්ථාව ඉතා සීමිතය. කඳුකරයේ මේ ස්ථානය පසු කර මිනිසුන් යන්නේ ඉතා කලාතුරකිනි. එහෙත් කොයි මොහොතක හෝ කෙනෙකු පැමිණේවියැයි මම අපේක්ෂා කළෙමි. එබැවින් මගේ ශක්තිය මට ඉඩ දෙන හැටියට මා දුටු දේ සටහන් පොතේ සටහන් කර තබන්නට උත්සාහ කරමි. එබැවින් මේ සිද්ධියට විද්‍යාත්මක පැහැදිලි කිරීමක් සොයන්නකුට කිසියම් ආලෝකයක් ලැබෙනු ඇත.

මගේ ශක්තිය කොතෙක් වේලා පවතීදැයි මම නොදනිමි. මගේ සටහන් කියවන අයට මා ආයාචනා කරන්නේ තණබිම ඉතා ඕනෑකමින් පරීක්ෂා කරන ලෙසත්, විලේ ඉහළ කොටසේ ඇති මඳ ආලෝකය දෙස විමසිල්ලෙන් බලන ලෙසත්ය.

මේ ස්ථානයේ ඇති පසෙහිත් විල් ජලයෙහිත් දැවී ගිය පයින් ගසෙහි සහ කඳු ගැටයේ කැබලි වූ කොටස්වලත් ආදර්ශ රැගෙන ඒවා දෙස පරීක්ෂාවෙන් බැලීමට ඔවුන්ට හැකි වේවා! මගේ ගමන් මල්ලේ සමහරවිට ඉතිරිව ඇති කඳු කැටයෙන් එක් කරගත් සාම්පල පරීක්ෂා කිරීම සඳහා ඔවුහු යොමු වෙත්වා.

මට සිදු වූ දෙය පිළිබඳව මා ශෝක නොවන බව මගේ කිට්ටු ඥාතීන්ට කරුණාකර කියන්න. මම ඔවුන්ගෙන් ඉක්මන් පිළිතුරක් අපේක්ෂා කරමි. එහෙත් නැවතත් මට සිහි නැතිවන්ට යන බව හැඟේ. මට යළිත් සිහිය ලැබුණහොත් හා ලැබූ අත්දැකීම් පිළිබඳව සවිස්තරාත්මක කියන්නම්...

• • • •

මා ඇස් අරින විට හිරු ඉහළ අහසේ පායා තිබිණ. මා කොපමණ වේලා එහි වැතිර සිටියේද? මා එහි කුමක් කළේද? ඔව්. මීට දෙවසරකට පෙර භූ ගර්භ විද්‍යා ආයතනයෙන් උපාධිය ලැබීමෙන් පසු මාව මේ ස්ථානයට එවනු ලැබීය. මින් සතියකට පෙර මම කඳුකරයේ මේ කොටස් කටයුතු ආරම්භ කළෙමි. එම කොටසේ පැවතියේයැයි විශ්වාස කරන රෝමන් අශුද්ධ ලෝහ නිධිවලින් ආදර්ශ සාම්පල රැගෙන ඒම මට පැවරුණ කාර්යය විය. ප්‍රතිඵල දිරිගන්වනසුලු විය. මට කොතරම් පොහොසත් ඉල්ලමක් ලැබුණේද යත් මගේ සගයන් මවිතයට පත් වනු ඇත. මම මගේ පෞද්ගලික එකතුව සඳහා ගමන් මල්ල ආදර්ශවලින් පුරවාගෙන නගරය බලා ඒමට පිටත් වීමි. මා ගමන් කරමින් සිටි කඳුකර ප්‍රදේශය මට නුහුරුය. එහෙත් මා අතරමංවේයැයි බියක් නැත. මට පැය හතරකින් නිවෙසට පැමිණිය හැකිය. වළාකුළු පහතින් ගමන් කරයි. බාගවිට වැසි ඇදහැලෙන්නට ඉඩ ඇත. එහෙත් මම ඒ පිළිබඳ කරදර නොවීමි. මම කුඩා පයින් ගස් කැලෑවක් පසු කොට කඳු බෑවුම තරණයට සූදානම් වීමි.

එක්වරම මගේ අවධානය යොමු වූයේ අහසේ උතුරු පැත්තට වන්නට දක්නට ලැබුණු දීප්තිමත් ආලෝක පැල්ලමටයි. එය ක්‍රමයෙන් විශාල වූ අතර ඒ පසුපම දීප්තිමත් වලිගයක් දක්නට ලැබිණ.

මේ දර්ශනය නිරීක්ෂණය කිරීමට සූදානමින් මම ගමන් මල්ලේ වූ දූරේක්ෂය පිටතට ගතිමි. මිනිත්තු පහකට හෝ හයකට පමණ පසු එම ආලෝක පැල්ලම එය පැමිණි ආකාරයෙන්ම එක්වරම අතුරුදන් විය. එම ස්ථානයේ කුඩා වලාකුළක් දක්නට ලැබුණු අතර එය ක්‍රමයෙන් විශාල වන්නට විය.

අනතුරුව ඈත පිපිරීමක් ඇසුණ අතර ඉන් පසු මේඝ ගර්ජනාවක ශබ්දයක් ඇසිණ. එම මේඝ ගර්ජනාවේ ශබ්දය මැකී යත්ම තවත් ශබ්දයක් ඇසිණ. මුලදී එය සුළඟක ශබ්දයක් මෙන් විය. අනතුරුව ක්‍රමයෙන් ශබ්දය වැඩි වන්නට වූ අතර කැලෑ තාරාවන් විශාල සංඛ්‍යාවක් අත්තටු සලමින් වේගයෙන් පියාසර කරන ශබ්දය වැනි හඬක් ඇසිණ.

ශබ්දය වැඩිවත්ම මම ක්ෂණයකින් කැලෑ වැදුනෙමි. මා පසුපස ලුහුබැඳගෙන එනවායැයි මට සිතිණි. කැලැවේ කෙළවරට ඇතුළුවීමට පෙරම මගේ වම් පාදය පඳුරක පටලැවී ඇද වැටිණ. මගේ වම් දණහිස කිසියම් තද දෙයක වැදුණ අතර තියුණු කැපීමකින් ඇති වන වේදනාව මගේ ශරීරය පුරා පැතිර ගියේය. ඒ මොහොතේම මට පිටුපසින් තවත් පිපිරුම් ශබ්දයක් ඇසුණ අතර ඉන් අනතුරුව ශබ්දයක් ඇසිණ. එම ශබ්දය දිග හූ හඬක් ලෙස විස්තර කළ හැකිය.

හිස හරවා බැලූ විට පෙනී ගියේ මොහොතකට පෙර මා පලා ආ තැනින් දූවිලි වලාවක් පැන නගින අයුරුය. පිලිස්සෙන ගඳක් දැනුණ අතර, මම නැගිටීමට උත්සාහ කළෙමි. එහෙත් මට නැගිටීමට නොහැකි බව වැටහිණ. මම මගේ වම් කකුලට අත තබා බැලුවෙමි. එය ඉදිමී ඇති අතර සෙලවෙන විට මට දරාගත නොහැකි වේදනාවක් ඇති විය. දැඩි උත්සාහයකින් පසු මම මගේ ගමන් මල්ල මගේ පසුපසට ගතිමි.

ගොළුබෙලි ගමනින් මම පඳුරු අල්ලාගෙන ඇදුණෙමි. මට වාඩි වී සිටීමට හැකියාව ලැබිණ. මගේ කලිසම දණහිස අසලින් ඉරී ඇති අතර දණ හිසෙන් ලේ වැගිරෙයි. මගේ වම් දණහිට ඉදිමෙන්නට වූ අතර වේදනාවද වැඩි විය. දැන් වලාකුළු ඝන වූ අතර පොද වැසි වැටෙන්නට විය.

මගේ තත්ත්වය මා තුළ වූ බලාපොරොත්තු සුන් කළේය. මගේ තුවාල කකුල මට එකම පියවරක්වත් තැබීමට ඉඩ නොදුන්නේය. එම ස්ථානය පසු කර යන කෙනකුගේ පැමිණීමට ඇති අවස්ථා ඉතා සීමිතය. එහෙත් බලා සිටිනවා හැරෙන්නට මට කළ හැකි වෙන කිසිවක් නැත. වෙනත් දෙයක් ගැන කල්පනා කළොත් වේදනාව අඩු වේයැයි මම සිතුවෙමි. මගේ ගමන් මල්ලෙන් වෙළුම් පටියක් ගත් මම දණහිස වෙළාගතිමි.

පොද වැස්ස මහ වැස්සක් බවට පත් විය. මම මගේ සුළං ආවරණය ගෙන එයින් හිස වසා ගෙන පසෙකට වී බලා සිටියෙමි. තෙහෙට්ටුව නිසාද එසේ නැති නම් කොළ අතුවලින් වැටෙන වැහි බින්දු නිසාද යන්න මම නොදත්තෙමි. එහෙත් මම නිදිකිරන්නට වීමි.

Comments