අපි දැන් වෙනස් | සිළුමිණ

අපි දැන් වෙනස්

“අපෙ රටේ ටෙලිවිෂන් මාධ්‍ය තුළ ජාතික අන්‍යතාවකින් යුතු නාළිකාව වන්නේ ජාතික රූපවාහිනියයි. එදා මෙදාතුර දශක ගණනාවක් තිස්සේ විවිධ වූ හරවත් වැඩසටහන් ප්‍රේක්ෂක ඔබට තිළිණ කරමින් තමන්ටම අනන්‍යවූ ගමනක් පැමිණි ජාතික නාළිකාව මේවනවිට සුවිශේෂී වෙනස්කම් වලට ලක්වෙමින් පවතී.

විශේෂයෙන් රාත්‍රී 7.00 - 8.00 යන අතිශය වැදගත් වූ ප්‍රධාන ගුවන් කාලය තුළ මෙතෙක් විකාශනය වූ වැඩසටහන් වෙනසකට ලක් කරමින් සැලළිහිණියා අලුත් ගමනක ඇරැඹුමකට සූදානම් වෙයි. ඒ සැලළිහිණි මාධ්‍ය ජාලයේ වත්මන් සභාපති රවී ජයවර්ධන මහතාගේ සංකල්පයකට අනුවයි. මේ ජාතික නාළිකාවේ නව වෙනස පිළිබඳ එහි සභාපති රවී ජයවර්ධන මහතා සමඟ කළ කතාබහයි.

• මොකක්ද මේ අලුත් වෙනස?

ඇත්තටම ජාතික රූපවාහිනිය කියන්නෙ ලාභ ඉපයීමේ පරමාර්ථයෙන් ආරම්භ කළ ආයතනයක් නෙමෙයි. කොතරම් නාලිකා තිබුණත් අපි කල්පනා කළා ජාතික නාලිකාවකින් ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වන කාර්යය නිසි ආකාරව ඉටු කරනවාද කියලා.

‍ ඒ අනුව තමයි මේ වස 20 වැනිදා සිට රාත්‍රී 7.00 - 8.00 කියන ප්‍රධාන ගුවන් කාලය දැනුම සහ විනෝදය කියන දෙකම කැටිකරමින් එකිනෙකට වෙනස්වූ පැයේ වැඩසටහන් 5ක්, සඳුදා සිට සිකුරාදා දක්වා වෙනසකට ලක් කිරීමට අප සිතුවේ එකිනෙකාගේ රුචි අරුචිකම් මත පවුලේ සැමට නැරඹිය හැකි පැයේ වැඩසටහන් මේ තුළ අන්තර්ගත වෙලා තියෙනවා.

ඒ උසස් සංගීත වැඩසටහන්, හාස්‍ය උත්පාදක ගුණාත්මක ඉංග්‍රීසි වැඩසටහන්, ප්‍රශ්න විචාරක, අමුත්තකු සමඟ කරන වැඩසටහන් සහ ජාතික නාලිකාවේ අතීතය පිළිබඳ කතා කරන වැඩසටහනක් සමඟින්. ඒ අනුව මෙතෙක් පැවැති රාත්‍රි 7.00 - 8.00 දක්වා ගුවන් කාලය නව වෙනසකට ලක්වන්නෙ මෙකී නව වැඩසටහන් ප්‍රේක්ෂක ඔබට තිළිණ කරමින්ය. බොහෝවිට සෙනසුරාදා දිනත් සමඟින් මේ කාලය පැය 6ක් වන්නට ද ඉඩ තිබෙනවා.

•මෙම වෙනසට විශේෂ හේතුවක් තිබෙනවද?

අපි දන්නවා අද ති‍ෙයන්නෙ බාල ටෙලිනාට්‍ය රැල්ලක්. අපේ සංස්කෘතියට, හර පද්ධතියට කිසිම ගැළපීමක් නැති, අපේ ජීවන රටාවන්ට නොගැළපෙන වැඩසටහන් තමයි ‍මේවායින් විකාශය වෙන්නෙ. මෙවැනි නාළිකා තුළින් සමාජයට කෙරෙන බලපෑම කොතරම් ද කියා ඔබ දන්නවා.

ඒ විතරක් නෙමෙයි රාත්‍රී කාලයේ ගුවන් කාලය පටන් ගන්නෙම අර්ථ ශුන්‍ය නාට්‍යවලින්, වැඩසටහන් වලින්. මේ තත්වයෙන් මිදිලා සමාජයට ගුණාත්මක යමක් දීම තමයි මෙහි අපේ මූලික අරමුණ බවට පත්වුණේ.

•තිබුණු වැඩසටහන් වෙනස් වෙනකොට අලුත්වන වැඩසටහන් ගුණාත්මක බවින් වැඩිවිය යුතුයි නේද...?

මෙහෙමයි... අපි මූලිකවම මේ පිළිබඳ යම්කිසි පර්යේෂණයක් සිදුකිරීමෙන් පසුව තමයි මෙවැනි කර්තව්‍යයක් ආරම්භ කිරීමට තීරණය කළේ. ඒ සඳහා ප්‍රේක්ෂකයන් රඳවා ගන්නට නම් අනිවාර්යයෙන් ම අප අලුතින් හඳුන්වාදෙන වැඩසටහන්වල ගුණාත්මක බව ප්‍රමිතිය පිළිබඳ අවධානය යොමු කළා.

රූපවාහිනියේ අතීතාවර්ජනය පිළිබඳ වෙන්වුණු පැයේ වැඩසටහන මෙහෙයවන්නේ අප සංස්ථාවේ සේවය කළ හේමනලීන් කරුණාරත්න යන ප්‍රතිභාපූර්ණ නිවේදන ශිල්පියා. මෙයද විශේෂත්වයක්. එනිසා ටෙලිනාට්‍යකරණයට පමණක් සීමා නොවුණු එකිනෙකට වෙනස් සියලු ක්ෂේත්‍රයන් ආවරණය වන අයුරින් විකාශනය වන මේ වැඩසටහන් තමයි අලුත් වෙනසක් එක්ක අපි ගේන්නෙ.

•අද වන විට රූපවාහිනි නාළිකා ගණනාවක් තියෙනවා. මේ එකිනෙක අතර තරගකාරීත්වය ද වැඩියි. ජාතික රූපවාහිනිය කොහොමද එයට මුහුණදෙන්නෙ...?

ජාතික නාළිකාවක් විදිහට අපිට අනන්‍යවූ කාර්ය භාරයක් තිබෙනවා. ඒ වගකීම ඉටුකරන්නට කාත් සමඟවත් තරග කරන්නට අපට අවශ්‍ය වන්නෙ නෑ.

ඔබට මතක ඇති පසුගිය වසරවල තිබුණු රයිගම්, සුමති, ස්ලිම් නීල්සන් වැනි සම්මාන උලෙළවල් හතරෙන් වැඩි සම්මාන ගොන්නක් ලබා ගැනීමට සමත්වුණේ ජාතික නාළිකාවයි. එය තමයි අපේ අනන්‍යතාව, විශිෂ්ටත්වය. මේ තුළින් පැහැදිලි වෙනවා අනෙක් නාලිකා අපේ නාලිකාවට අභියෝගයක් නොවන බව.

ජාතික රූපවාහිනිය විදිහට අපට අවශ්‍ය වන්නෙ මිනිසුන්ගේ හදවත්වල අප කොතරම් සමීපද, නැතිද කියන දේ පමණයි.

• ජාතික රූපවාහිනියේ ඒ ජාතික වගකීම ලෙස ඔබ දකින්නෙ කුමක්ද?

මේ ‘තිරය’ ට පුළුවන් සමාජයේ බරපතළ වෙනසක් කරන්න.

අපේ රටේ ඇති ජාතික වූ එකම නාළිකාවේ ප්‍රධාන වගකීම වෙන්නෙ මේ සමාජය සාධනීය දිසානතියකට යොමු කළ හැකි මාධ්‍ය කලාවක් නිර්මාණය කිරීම බවයි මගේ අදහස.

• අතීත වැඩසටහන් වැඩිපුර විකාශනය කිරීමට විශේෂ හේතුවක් තිබෙනවද?

අද තිබෙන ටෙලිනාට්‍ය රැල්ල පිළිබඳ අමුතුවෙන් කීමට අවැසි වන්නෙ නැහැ. අපිත් මිලදී ගන්නවා. නමුත් ටික දිනක් යනකොට මුල තිබුණු කතාව නෙමෙයි අග වෙනකොට සිදුවන්නෙ. සමස්ත ටෙලිනාට්‍ය එකිනෙකට ගලා යාමක් නෑ. මේ අතර හරවත්, වැදගත් වූ නාට්‍ය තිබෙන්නෙ කීයෙන් කියද?

ඉතිං අප කල්නා කළා අප සතුව තිබෙන ‘අතීත’ ටෙලි නාට්‍යය නැවත විකාශනය කරලා ටෙලි නාට්‍ය කලාව කියන්නෙ මෙය යැයි කියන දේ සමාජයට පෙන්වන්න. අප ගත් මේ වෑයමට අදවන විට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් තිබෙනවා.

• ජාතික රූපවාහිනියේ විකාශනය වුණු ඇතැම් ටෙලි නිර්මාණ අද වෙනත් නාළිකාවල විකාශනය වෙනවා නේද?

මෙහෙමයි ජාතික රූපවාහිනිය මඟින් විකාශනය කරන සෑම නාට්‍යකම අයිතිය අපට තිබුණේ නෑ. සමහර ඒවාට තිබෙනවා. ඉතින් ඔබ ඔය කියන ටෙලිනාට්‍යවල අයිතියත් තිබුණේ අපට නෙමෙයි.

• මේ නව වෙනස ප්‍රේක්ෂකයන් වෙත ගෙනයාම තරමක් අභියෝගයක් වේවි නේද?

රැලි කියන දේ එනවා... යනවා... පැවැත්මක් නෑ. මාධ්‍ය කලාව කියන්නෙ රැලිවලට හසුවන එක නෙමෙයි. වැල යන පැත්තට මැසි ගහනවා වගේ ඕනම දෙයක් පෙන්වලා මුදල් ඉපයීම නොවෙයි. අපේ අරමුණ... ඊට වඩා වෙනස්... අපේ සංස්කෘතියට, හර පද්ධතියට ‍වගේම පොළොව පයගහලා ජීවත්වන සමාජයකට සැබෑ යථාර්ථය ලබාදීම අපේ මාධ්‍ය මෙහෙවර වන්නෙ.

මම හිතනවා අපේ නව වැඩසටහන්වල වෙනසත් එක්ක බහුතර ප්‍රේක්ෂක පිරිසක් අප වටා එක්රොක් වේවි කියලා.

•සැලළිහිණි මාධ්‍ය ජාලයේ වත්මන් සභාපතිවරයා ලෙස පරිපාලනමය වශයෙනුත් යම් වෙනසක් කිරීමට අදහසක් තිබෙනවද?

ඇත්තට ම ආයතනයක් විදිහට ගත්කල ඉතා දක්ෂ සේවක පිරිසක් ඉන්නවා. ඔවුන් සියල්ලම සම්බන්ධ කරගෙන සාමූහික වශයෙන් එකම කණ්ඩායමක් විදිහට ජාතික මාධ්‍ය ආයතනයක් ලෙසින් ඉදිරියට යෑම තමයි මගේ මූලික වන්නෙ. ඒ අදහස අද ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම ආරම්භ කිරීමට මට හැකියාව ලැබිලා තිබෙනවා.

සමන්ති වනිගසේකර

Comments