දෑස නොපෙනුණත් වගා ළිඳක් කැපූ යකඩ මිනිහෙක් | Page 5 | සිළුමිණ

දෑස නොපෙනුණත් වගා ළිඳක් කැපූ යකඩ මිනිහෙක්

 මගේ පරණ මිතුරෙක් කාලයකට පසු දුරකථන ඇමතුමක් දුන්නේය.

‘පත්තරේට හොඳ නිවුස් එකක් තියෙනවා අන්ධ මිනිහෙක් ලොකු වගා ළිඳක් කපලා‘

මගේ නෙත් වහා කැලැන්ඩරය වෙත යොමු විය. දිනය 01 වැනිදා වුවත් අප්‍රේල් මස නොවූ බව ක්ෂණිකව මට වැටහුණි.‘

‘ඇත්ත බොරු කරනව වගේ බොරුත් ඇත්ත කරනවද?‘ මම විමසුවෙමි.

‘ඇවිල්ලම බලන්න ඕන, හැබැයි ටිකක් දුර පදවිය පාරේ පුල්මුඩේ කිට්ටුවටම එන්න වෙනවා‘

මිතුරාගේ ආරංචිය ගැන මම කරුණු සොයා බැලුවෙමි. කාරණය ඇත්ත බව මම වටහා ගත්තේ එවකට වන්නි බල සේනා ආඥාපතිවරයාව සිටි මේජල් ජෙනරාල් බොනිපස් පෙරේරා මහතාට දුරකථන ඇමතුමක් ලබා දීමෙනි.

මේ අසාමාන්‍ය පුද්ගලයා කවුරුන්ද යන්න සොයා බැලීම පිණිස අපි රජරට කෙළවර කරා ගමන් ගතිමු. කැබිතිගොල්ලෑවේ සිට පදවිය පාරේ ගමන් කළ විට කිලෝමීටර් 9 කනුව අසලින් දකුණට හැරී රඹකැපූ වැව ප්‍රාථමික විදුහල පාරේ කි.මි. 2ක් පමණ ගිය විට මේ අපූරු පුද්ගලයාගේ නිවෙස හමු විය.

ඔහු නමින් සුනිල් සේනාරත්නය. වයස අවුරුදු 35කි. ඔහුගේ මවද අන්ධ මාතාවකි. ඇය වයස අවුරුදු 72ක ආත්තම්මා කෙනෙකි. ඇය යූ. රන්හාමිය.

සුනිල් අයෝමය පුරුෂයෙකි. බඹ දෙකක් පමණ වන්නට ඔහු තනිවම වගා ළිඳ කපා ඇත. ඉණිමඟක් ළිඳට බස්වා ඔහු විසින් සිදු කර ඇති වික්‍රමය සිතා ගැන්මටත් අපහසුය. ඇත්තටම මේ වගා ළිඳ කැපුවේ සුනිල්මද..........?

‘ඔව් මහත්තයො, මේ පුතා ගැන මට හුඟක් දුකයි. මටනං දැන් 72ත් පහුවෙලානේ. මට ආයිත් බලාපොරොත්තු තියා ගන්න දෙයක් නැහැ. ඒ වුණාට තාම අවුරුදු 35ක් වෙන මේ දරුව ගැන හිතනකොට මට වාවන්නේ නෑ‘

රන්හාමිගේ වයස අවුරුදු 18ක් පමණ වනතුරු පෙනීම තිබුණු නමුත් ක්‍රමයෙන් පෙනීම දුර්වල මට්ටමකට පත්ව ඇත.

‘කුප්පි ලාම්පුව ලාම්පු දෙකක් වගේ පෙනුණා. ඇහේ දැලක් බැදිලා වගේ පෙනුණා. ටිකෙන් ටික පෙනීම නැති වුණා. අඳුරු වෙලාම ගියා.‘ මට වයස අවුරුදු 35ක් විතර වෙනකොට තමයි මේ ලොකු පුතා හම්බ වුණේ. එයාටත් අවුරුදු 10ක් විතර යනකල් හොඳට පෙනීම තිබුණා. මටත් පාර පෙන්නුවේ ඒ දරුව තමයි. ටිකෙන් ටික තමයි පෙනීම අඩු වුණේ. එයාට පෙනීම අඩු වෙන බව මට එයා කියපු කතාවලින් තේරුණා. ඇස් දෙක නොපෙනෙන මට කරන්න දෙයක් තිබුණෙ නෑ. මේ ගම්වල දැනුමක් තේරුමක් තියෙන අය නෑ. ඉස්සර පදවියට යන්නත් එක බස් එකයි තිබුණේ. ඒ කාලේ අනුරාධපුරට යනව කියන්නේ රටක් රාජ්‍යකට යනව වගේ වැඩක්. ඒක හින්ද මේ දරුවට පෙනීම ලබා දෙන්න මට පුළුවන්කමක් ලැබුණෙ නෑ.

දරුවන්ගෙ තාත්තත් ඒ වෙනකොට නැතිවෙලා. මේ පුතාට බාල තවත් දූවරුන් 4 දෙනෙක් ඉන්නවා. වත්ත පිටිය පුරාම පුතා කිසිම ආධාරකයක් නැතුව යනවා. සැරයටිය අරන් යන්න කිව්වට හිතේ මායිමටයි යන්නේ. මටනං මිදුලේ ඇවිදගන්නවත් බැහැ තනියම. ඇදගෙන වැටිල මාස 3ක් එක් තැන් වෙලා හිටිය.

පුතා වත්ත පුරාම වගා කරනවා. මයියොක්කා වවනවා. වීත් වගා කරනවා. ඒ සේරම ගෙදර කෑමටයි ගන්නේ. මටනං බයේ බැහැ. මේ දරුව ඇස් දෙක පේන්නෙත් නැතිව කරන මේ වැඩවලට. අපිට කන්න බොන්නවත් හරියට නැතිවයි හිටියේ. හමුදාවේ බොනිපස් පෙරේරා මහත්තය තමයි ඒ මහත්තය දන්න අඳුරන ලොකු මහත්තයකුගෙන් අපිට මාසෙකට රුපියල් 6000ක් ලැබෙන්න සලස්වලා තියෙන්නේ. ඒ මහත්තය මේ පැත්තෙන් කොළඹට ගියා. ඒ වුණත් අපි ගැන විපරම් කරන බව ආරංචියි.

මේක අපි ගිය ආත්මෙ කරපු පවක් වෙන්න ඇති පුතාගෙයි මගෙයි දෙන්නගෙම ඇස් නොපෙනුණේ. ගෙදර ලයිට් බිල් වතුර බිල් සේරම අපි ගෙවන්න ඕන. අපිටයි කියල කිසිම සහනයක් නැහැ.

ගෙදර කන්න බොන්න ඕන කරන බඩු ටික විතරක් කාට හරි සල්ලි දීල ගෙන්න ගන්නව. අපිට මේ ගෙදරින් තොර ලෝකයක් නැහැ. අපිට ඒ ගැන හිතන්න විදිහකුත් නැහැ.

මේ ඇස් පේන්නෙ නැති පුතයි මමයි දෙන්නගේ තනියට පුංචි දුවගෙ දුවෙක් නැවතිලා ඉන්නවා. එයාට වයස අවුරුදු 9යි. ඒ දුව මා ගාව තමයි නිදා ගන්නෙත් උදේට ඇහැරිලා පාසල් යනවා. දුව ශානිකා කීර්ති බණ්ඩාර හොදට ඉගෙන ගන්නවා. ඒත් මේ ගෙදර අපේ තනියට ඉදගෙන එයාටත් ලියන කියවන වැඩ කරන්න අමාරුයි. ඒ පුංචි දුවගේත් අනාගතය අඳුරු වෙනවා අපි හින්දා. කිසි කරදරයකදි අහල පහළ කවුරුත් නැහැ.

මේ අපි ඉන්න ගේ හදල දුන්නෙත් බොනිපස් පෙරේරා මහත්තය. අපිට ලොකු ලොකු බලාපොරොත්තු නැහැ. එදිනෙදා ජීවත් වෙන බලාපොරොත්තුව විතරයි අපට තියෙන්නේ. ඒකත් දහසක් බාධක මැද.

වත්ත පුරා යමින් ගස් වලට සාත්තු කරන සුනිල් දකින අයකුට ඔහු දෙනෙත් නොපෙනෙන අයකු ලෙස නම් නොසිතනු ඇත. ඔහු ඒ තරම්ම කඩිසරය. ගස් උඩට නැඟ අතු පාහින්නේද දෑස් ඇත්තකු සේය.

ඇස් ඇතත් තම කාලය කා දමමින් තම කාර්යයන් නොකර සිටීමට වෙර දරන අයට සුනිල් සේනාරත්න මහත් වූ ආදර්ශයකි. ඔහුගෙන් උගත යුතු පාඩම් රැසකි. දෑස නොපෙනුණත් ලෝකයක් ජය ගන්නට සුනිල් දරන්නේ අපමණ වෙහෙසකි. අපේ රටේ අනුන්ට අත පා හෝ අනුන් සතු දේ කඩා වඩා ගෙන ජීවත් වෙන්නට උත්සාහ ගන්නන්ද සිටිති.

එහෙත් යන්තම් හෝ ආලෝකයවත් නොදකින සුනිල් මේ දරන්නේ ජීවත් වීමට බත් කටක් සොයාගන්නට අනුන්ට අත නොපා සිටින්නටය. එසේ වුවත් දෙනෙත් නොපෙනෙන අයකුට ඒ කාර්යය තනිවම කළ නොහැකි බව අපට පසක් වී තිබේ. ඔවුන්ට අත හිත දෙන්නට යම් අයකුට හැකිනම් එය මහත්ඵල මහානිසංස පින්කමක් වනු ඇත.

තාරක වික්‍රමසේකර
සේයාරූ - රුක්මල් ගමගේ

Comments