සමයං ඝාතනයට ඔත්තුව හිරගෙදරින්? | සිළුමිණ

සමයං ඝාතනයට ඔත්තුව හිරගෙදරින්?

 පාතාලයට සදාකාලික ජයග්‍රහණ නැත. එමෙන්ම පාතාලයට වැඩි ආයුෂ ද නැත. ඒ තම බලයේ ආධිපත්‍ය රැකගැනීම සඳහා ඔවුනොවුන් මරා ගැනීම නිසාය. අවි ගත්තෝ අවියෙන්ම නැසෙන බවට ඇති සදාතනික කියමන ඒ නිසා සැමදාම වලංගුය.

මේ කියමන යළිත් සනාථ කරමින් තවත් පාතාල කෙරුමෙක් ඉකුත් මස 27 වැනිදා උදෑසන මෙලොවින් සමුගත්තේය. ඔහු නමින් පතිරණගේ අරුණ දමිත් උදයංග පතිරණය. එහෙත් ඔහු පාතාලයේ ප්‍රසිද්ධව සිටියේ “රණාලේ සමයං” ලෙසය. සමයං ඇතුළු ගෝලබාලයන් ඝාතනය වන්නේ තවත් පාතාල කල්ලියක් එල්ල කළ ප්‍රහාරයක් නිසාය.

ඉකුත් 27 වැනිදා උදෑසන අටයි විස්සට පමණ සමයං හා ගෝලබාලයන් රැගත් බන්ධනාගාර බස්රිය කඩුවෙල මහාධිකරණය කරා පිටත් විය. ඒ තවත් බන්ධනාගාර බස්රථයක ආරක්ෂාව ද සමඟය. වෙනදා මෙවන් ගමනකට පොලීසියේ ආරක්ෂාව ද ලබාගන්නා නමුදු පොලිස් ආරක්ෂාව ලබාදිය නොහැකි බවට හෙළිවීම නිසා බන්ධනාගාර නිලධාරීහු පමණක් බස්රථ දෙකේ ගමන් කළහ. ඔවුහු අවි දරා සිටියහ.

බස්රථ දෙක කළුතර එතනමඩල ප්‍රදේශය දෙසින් ධාවනය වෙමින් තිබිණ. ඒ පටු මාර්ගයක් ඔස්සේය. දෙපැත්තේ කුඩා කඳුගැට සහිත ලඳු කැලෑය. ඒ නිසා බස්රථ දෙක ධාවනය වූයේ මඳක් සෙමින්ය. ඒ යන මාර්ගය හරහා දැමුණු කැබ් රථයකි. එකවරම ඉන් එල්ල වූයේ වෙඩි වරුසාවකි. කිසිවකුටත් සිතාගත නොහැකි අයුරින් වෙඩි තබමින් ඉදිරියට පැමිණි පිරිසක් බන්ධනාගාර බස්රථය දෙසට වෙඩි තබන්නට වූහ. ඉදිරිපස බස්රියේ දෙපැත්තට ද වෙඩි ප්‍රහාර එල්ල විය.

පොලිස් ඇඳුමට සමාන ඇඳුමක් ඇඳගත් පිරිස අතර සිටි අයෙක් වෙඩි තබමින්ම බන්ධනාගාර බසයට ගොඩ විය. ඔහු සමඟම තවත් අවිගත් දෙතුන් දෙනෙකි. කරකියා ගත හැකි දෙයක් නොවූ බන්ධනාගාර නිලධාරින් හිස් පහත් කරගෙන සිටියේ ජීවිතාරක්ෂාවට වන්නට ඇත. බස්රථවල සිටි බන්ධනාගාර නිලධාරීන් අත තිබු තුවක්කු පත්තු වූයේදැයි දන්නේ නැත.

බන්ධනාගාර බසයට පිවිසි අවිගත් මැරයන්ගේ එකම ඉලක්කය වූයේ බස්රියේ සිටි සමයංය. බස්රියේ පාපුවරුව දක්වා මැරයන් ඔහු ඇදගෙන ආවේ දිගට හරහට වෙඩි තබමින්ය. ඒ අතර සෙසු පිරිසට ද වෙඩි ප්‍රහාර එල්ල විය. ටී පනස්හය ගිනිඅවිවලින් එක දිගට එල්ල වූ වෙඩි ප්‍රහාරවලින් බේරෙන්නට ඔවුනට කිසිම හැකියාවක් නොවීය.

ත්‍රාසජනක චිත්‍රපටියක මෙන් ප්‍රහාරයක් එල්ල කළ මැර පිරිස සුදු පැහැති වෑන් රියකින් පලා යන තුරුම බන්ධනාගාර නිලධාරින් කිසිවකුටත් කිසිම දෙයක් කරගත නොහැකි වීම ලැජ්ජාවට කරුණකි. බන්ධනාගාර නිලධාරියකු අත තිබු තුවක්කුවකින් එක් වෙඩිල්ලක් පමණක් පිට විය. පොලිස් කණ්ඩායම් එතැනට එන විට සියල්ල සිදුවී හමාරය. ඉහළ නිලධාරීන්ගේ උපදෙස් මත මැර පිරිස පලා යන වෑන්රිය කොටුකරගන්නට මාර්ග බාධක යෙදුවද මැරයෝ ඊට වඩා තීක්ෂණ වූහ. පොලිස් ඇසට වැලි ගසමින් ඔවුන් මොරගහහේන ප්‍රදේශයේ නවාතැන් පළක මඳක් රැඳී එම වෑන් රිය මොරගහහේනට නුදුරුව අතහැර දමා වෙනත් වාහනයකින් පලා ගියේ කිසියම් අභියෝගයක් ද පොලීසියට එල්ල කරමින්ය.

ප්‍රහාරයෙන් හත්දෙනෙක් මියගියහ. ඉන් පස්දෙනකුම පාතාල කෙරුමන්ය. රණාලේ සමයං, සන්තක චලන තිලක් මල්ලිකාරච්චි, කෝරලගේ අමිල ප්‍රසන්න සම්පත්, වාද්දුව පතිරගේ කැළුම් ප්‍රියංකර සහ ලිඳමුලගේ සුරංග ප්‍රසන්න කුමාර ඔවුන්ය. එස්. සන්තිගම් හා ජේලර් එස්. ආර්. විජේරත්න යන බන්ධනාගාර නිලධාරීහු ද වෙඩි ප්‍රහාරයෙන් මිය ගියහ.

පොලිස් විමර්ශන සඳහා කණ්ඩායම් කිහිපයක් පත් කෙරිණ. කණ්ඩායමක් පලා ගිය වෑන් රිය හඳුනාගැනීම සඳහා යෙදවිණ. සීසීටීවී කැමරා දර්ශන නිරීක්ෂණය කිරීම එම කණ්ඩායමේ කර්තව්‍යය විය. බන්ධනාගාර බස්රථ දෙක හරස්කොට අතහැර දමා ගිය මැරයන් පැමිණි බව කියන කැබ් රථයේ හිමිකරු සොයා ගැනීම සඳහා තවත් කණ්ඩායමක් යුහුසුලු විය. එම රථය අතුරුගිරිය බොරළුගොඩ පදිංචි කාන්තාවකට අයත් එකක් බවට අනාවරණය කරගත හැකි විය. පොලීසිය ඇගෙන් ප්‍රශ්න කළේය. එහිදී ඇය කියා සිටියේ ෆිනෑන්ස් වාරික ගෙවා ගැනීමට නොහැකි වීම නිසා තමා එය අතුරුගිරියේ පුද්ගලයකුට උකස් කළ බවය. එම පුද්ගලයා සොයා ගැනීමට පොලීසියට මෙතෙක් හැකි වී නැත.

සිද්ධිය සැලවීමත් සමඟ අපරාධ බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා ඇතුළු කණ්ඩායමක් ද එතැනට පැමිණියේය. කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් නිල්මිණි ආරියරත්න සහකාර පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස ඇතුළු විමර්ශන නිලධාරීහු ද සිද්ධිය පිළිබඳ විමර්ශන ඇරැඹු කණ්ඩායම්වලට උපදෙස් දුන්හ.

ඝාතනය වූ සමයං පාතාලයේ කෙරුමෙකි. මෙවැනි කෙරුමන් බොහොමයක් මේ වන විට වළපල්ලට ගොසින්ය. සමයංට ද වූයේ එයමය. සමයං පාතාලයට පිවිස එතරම් කාලයක් නැත. අරුණ උදය ශාන්ත “සමයං” වුණේ යාළුවන් නිසාය. කටට එන හැම මොහොතකම ඔහු ‘සමයං’ යන වචනය පාවිච්චි කිරීමට පුරුදුව සිටියේය. ඒ නිසා ඔහු සමයං ලෙස හැඳින්වූ බව ඔහුගේ මිතුරෝ කීහ. පොලොන්නරුවේ උපන් ඔහුට දන්නා තරමින් සහෝදර සහෝදරියන් නැත. ඔහුගේ පියා මියගිය ඔහුට වයස අවුරුදු පහේදීය. ඔහු පවසා තිබුණේ මව සමඟ තනිවූ ඔහු සමාජය විසින් මේ තත්ත්වයට ඇද දැමූ බවය. දේපළවලට වහවැටුණු අය ඇතිකළ නොයෙකුත් ප්‍රශ්න නිසා ඔහුගේ අධ්‍යාපනය ද කඩාකප්පල් වී ඇත.

2007 වසර වන විට ඔහු පොලිස් අත්අඩංගුවට පත්වූයේ ගිනිඅවියක් ළඟ තබා ගැනීමේ චෝදනාව මතය. ඔහුගේ ජීවිතය වෙනස් වූයේ එදා පටන්ය. බෝම්බයක් ළඟ තබාගත් බව කියමින් අධිකරණයට ඉදිරිපත් කළ ඔහු බන්ධනාගාරගත වූයේ ඉන් පසුවය.

සමයං එක්දරු පියෙකි. හිරගෙදරින් පන්නරය ලබන මොහු ඉන් පිටතට පැමිණ පාතාල ලෝකයට අත්පොත් තබන්නේ බටේවෙල නිශාන්තගෙන් පසුවය. නිශාන්ත පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමත් සමඟම ඒ කල්ලියට නායකත්වය දුන්නේ දීප්ති කුමාර නොහොත් සරාය. ඔහු කඩුවෙල දැඩිගමුවේදී ඝාතනය වීමත් සමඟ ඒ හිස් තැන පුරවන්නේ සමයංය. ටිකෙන් ටික පාතාල ක්‍රියාකාරකම් මඟින් දේශපාලන හයිය ද ලබාගන්නා ඔහු මිනිස් ඝාතන, කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය වෙළෙඳාම ඇතුළු විවිධ අපරාධවල නිරත විය. එහෙත් ඔහුට ඇති බියෙන් බොහෝ අය ඒ බව පැමිණිලි නොකළහ.

කඩුවෙල ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගෙන් මසකට ලක්ෂ 20ක මුදලක් ඔහු බලහත්කාරයෙන් ලබා ගත්තේය. රණාලේ පෞද්ගලික සමාගමක මෑන්පවර් ආයතනයකින් දිනකට රුපියල් 25,000ක කප්පමක් ලබාගත්තේය. ටීපනස්හය ගිනිඅවියක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ හතරක් දෙන ලෙස ඔහු මෑතකදී රණාලේ පදිංචිකරුවකුට දැනුම් දුන්නේය. නැතහොත් ගෝලයකු ලවා ඔහු මරා දමන බව ද කීවේය. බියට පත් එම ව්‍යාපාරිකයා සිය ඉඩම උකස් කොට ලක්ෂ හතරක් සමයංට දුන්නේය.

හිරගෙදර සිට දේශපාලන කටයුතුවල නියැළුණු ඔහු තමා සහාය පළ කළ දේශපාලනඥයාට බලය ලැබීමත් සමඟ කිසිදු සැකයෙන් බියෙන් තොරව අපරාධ සිදු කළේය. කඩුවෙල කේන්ද්‍ර කරගනිමින් අණසක පැතිරූ ඔහුට අතුරුගිරිය අංගොඩ ප්‍රදේශවල බලය ද සියතට ගැනීමට අවශ්‍ය විය. ඒ නිසා ඔහු අංගොඩ ලොක්කා සමඟ ගැටිණි.

ලොක්කා හා සමයං අතර පැවැති මෙම දැඩි වෛරය නිසාම විමර්ශකයන් කීවේ සමයං ඇතුළු ගෝලයන් මරා දැමීමේ සිද්ධියට අංගොඩ ලොක්කා ඇතුළු පිරිසක් විසින් සිදුකරන්නට ඇති බවට සැක කරති. ඊට හේතුව වූයේ කලක සිටම අංගොඩ ලොක්කා හා සමයං නයි වෛරයෙන් පසුවීමය. මෑතකදී අංගොඩ ලොක්කාගේ සගයන් දෙතුන් දෙනෙක්ම නාඳුනන තුවක්කුකරුවන්ගේ තුවක්කුවලට බිලි වූහ. එහි ආසන්නම සිද්ධිය වූයේ අතුරුගිරිය ප්‍රදේශයේ රූපලාවණ්‍ය ආයතනයක සිදුවූ වෙඩි තැබීමය. ඒ ඉකුත් ජනවාරි 17 වැනිදාය. මැරුම් කෑවේ ටයිල් බණ්ඩාර ධර්මසිරි නමැත්තෙකි. අතුරුගිරියේ බණ්ඩා ලෙසින් ප්‍රසිද්ධ ඔහු රූපලාවණ්‍ය මධ්‍යස්ථානයේ සිටියදී වෙඩි කා මියගියේය. විමර්ශන සිදුකළ මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකය ඒ සම්බන්ධව සැකකරුවන් දෙදෙනකු කොටුකර ගත්තේය. ඒ අතර තුවක්කුකරුද විය. ඔහු බණ්ඩා වෙඩි තබා මරා දැමු හැටි පොලීසියට කීවේය. ඊට අමතරව ඊට සතියකට පෙර අංගොඩ රත්තරන් නමැත්තා මරා දැමීම ගැන ද ඔහු මිරිහාන ඒකකයට තොරතුරු කීවේය. ඒ අනුව මේ දෙදෙනාම මරා දමන්නේ එකම කුවක්කුකරුවකු විසින් බවට අනාවරණය කරගත හැකි විය. එය සීසීටීවී දර්ශන තුළින් ද මනාව ඔප්පු වී ඇත.

මෙම ඝාතන සිදුවූයේ රණාලේ සමයං හා ඔහුගේ ගෝලයකු වූ පැටීගේ උපදෙස් මත බව අනාවරණය විය. ඒ සඳහා දුරකථන මඟින් සිරගෙදරට තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් රූපලාවණ්‍ය ශිල්පිනිය ද දැන් ඉන්නේ හිරේය. මේ නිසා සමයං ඝාතනය ගැන චෝදනා එල්ල වූයේ අංගොඩ ලොක්කාටය.

ඊට තවත් ප්‍රබල හේතුවක් විය. කළුතර බන්ධනාගාරයේ සිට කඩුවෙල අධිකරණය කරා සමයං ඇතුළු ගෝලයන් එදා රැගෙන එමින් සිටියේ 2016 වසරේ සිදුවූ වෙඩි තැබීමකට අදාළ නඩුවකට පෙනී සිටීම සඳහාය. මොවුන්ට එල්ල වී තිබූ චෝදනාව වූයේ අංගොඩ ලොක්කාගේ ගෝල බාලයන් පිරිසකට වෙඩි තැබීමකි. එදා කළ වෙඩි තැබීමෙන් ලොක්කාගේ ගෝලයන් වන ලඩියා හා බාල්දි ප්‍රියන්ත ඇතුළු සිවුදෙනෙක් තුවාල ලැබූහ. මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් සමයං ඇතුළු පාතාල සාමාජිකයන් පස්දෙනෙක් අත්අඩංගුවට පත්විය. සමයං ඇතුළු පිරිස ඝාතනය වන්නේ එම නඩුවට පෙනී සිටීම සඳහා එද්දීය. ඒ නිසා එම ප්‍රහාරය ලොක්කාගේ අනුදැනුම මත සැලසුම් සහගතව සිදුකරවන්නක් බවට විමර්ශන නිලධාරිහු තේරුම් ගත්හ.

සමයංගේ ඊළඟ ඉලක්කය වූයේ අංගොඩ ලොක්කාය. ඒ බව දත් ලොක්කා ඊට පෙර ඉක්මන් වූවා විය හැකි යැයි ද විමර්ශන පවත්වන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘සිළුමිණ’ට කීය.

සමයං ඇතුළු පිරිස ඝාතනය සඳහා ගිනිඅවි හයක් පමණ උපයෝගී කරගෙන තිබෙන බව පෙනෙන්නට ඇත. ඒ සඳහා මාකඳුරේ මධුෂ්ගේ සහාය ලැබී ඇති බව ද විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ඒ නිසා මේ දෙදෙනා එකතුව මෙම ප්‍රහාරය සැලසුම් කොට දියත්කර ඇතැයි විමර්ශන නිලධාරීහු සැක පහළ කරති. දකුණේ පාතාලයේ ප්‍රබලයකු වන මධුෂ් මත්කුඩු ජාවාරමේ ද නිරත වන්නකි. ඔහුගේ ළඟම හිතවතකුට ඔබේසේකරපුරදී වෙඩි තබා දමන්නේ ද සමයංගේ කීමට මේ නිසා මධුෂ් ද සමයං සමඟ සිටියේ තරහෙනි.

සමයං ඝාතනය කිරීමට මිට කලින්ද කටයුතු කර තිබිණ. ඒ 2015 සැප්තැම්බර් 23 දාය. නඩුවක් සඳහා පැමිණි සමයංට කඩුවෙල අධිකරණ ශාලාව තුළදී කිසිවෙක් සමයංට වෙඩි තැබීය. මෙහිදී බරපතළ තුවාල ලැබුව ද ජීවිතය බේරා ගැනීමට ඔහුට හැකි විය. මෙම වෙඩි තැබීම සිදුකළ අංගොඩ ලොක්කාගේ ගෝලයකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණ. මේ සිද්ධියත් සමඟ අංගොඩ ලොක්කා හා ගෝලබාලයන් කෙරෙහි සමයං තුළ තිබූ වෛරය වැඩි විය. ඒ වන විට අංගොඩ ලොක්කා සිටියේ වැලිකඩය. හිරගෙදර සිට දුන් පණිවිඩයකට අනුව සමයංට වෙඩි තැබීම සිදුවූ බව පසුව හෙළි විය. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ සමයං ඉන් පසුව කළුතරට මාරු කර යැවීය. ඒ තිබූ තර්ජන නිසාය.

වරෙක මිරිහාන ‍විශේෂ මෙහෙයුම් ඒකකය මඟින් අත්අඩංගුවට ගන්නා අංගොඩ ලොක්කාගේ ගෝලයකු වූ පෙතියගොඩ සංඛගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හමුදා නිල ඇඳුම් කට්ටල හයක් හා උපකරණ කිහිපයක් සොයා ගැනීමට නිලධාරීන්ට හැකි විය. ඒවා සඟවා තිබුණේ සිමෙන්ති ගල් වැඩපළකය. එම ඇඳුම් ද ගෙන ඇත්තේ සමයං ඝාතනය සඳහා වන්නට ඇතැයි පොලීසිය කීය.

සමයං ඝාතනය කිරීම සඳහා ලොක්කාගේ කල්ලියත් මධුෂ්ගේ කල්ලියත් සැලසුම් දියත් කළේ වසර දෙකක කාලයක සිටය. සමයංට ඇති ජීවිත තර්ජන. ඔහුගේ නීතිඥයන් විසින් අධිකරණයට ද දැනුම් දී තිබිණ. ඒ නිසා ඔහුට නියමිත ආරක්ෂාව ලබා දෙන ලෙසට අධිකරණය නියෝග කර තිබිණ. බන්ධනාගාරය තුළ ද ඔහු රඳවා සිටියේ වෙනම කුටියකය.

මෙදා සමයං අධිකරණයට ගෙන යෑමේදී පොලිස් ආරක්ෂාව ඉල්ලා තිබුණ ද නිලධාරීන්ගේ හිඟකම නිසා ආරක්ෂාව දීමට නොහැකි බව පොලීසිය පවසා තිබිණ. එවන් අවස්ථාවකදී මෙවැනි පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් නොකිරීමට බන්ධනාගාර නිලධාරීහු ක්‍රියා කරති. ඒ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයාට කරුණු පහදා දීම බන්ධනාගාරය සතු වගකීමකි. එසේ නැතහොත් වැඩිපුර අවිගත් බන්ධනාගාර නිලධාරීන් යෙදවීම ද සිදු වේ.

සමයං ඇතුළු පාතාලයන් කඩුවෙලට ගෙන යන බවත් ඒ සඳහා ආරක්ෂාව ලබා දෙන ලෙසත් කළුතර බන්ධනාගාර බලධාරින් කළුතර උතුර පොලීසියෙන් ඉල්ලා ඇත්තේ පෙරේදා (26) පස්වරු දෙකට පමණය. දෙකයිපහට ඊට පිළිතුරු දෙන කළුතර උතුර ස්ථානාධිපතිවරයා පවසන්නේ මෙදින විශේෂ වැටලීමක් ඇති බැවින් නිලධාරීන්ගේ හිඟකම නිසා සිය නිලධාරීන් ලබාදිය නොහැකි බවය. ඒ සඳහා ඉහළ බලධාරින් අමතා වෙනත් පොලීසියකින් නිලධාරින් ලබාගන්නා මෙන් ස්ථානාධිපතිවරයා පවසා ඇතැයි ද කියති.

සාමාන්‍යයෙන් මෙවන් ගමනකට පොලීසියෙන් ලබා දෙන්නේ අවිගත් භටයන් දෙදෙනෙකි. ඒ සඳහා කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා හා සහකාර පොලිස් අධිකාරිවරයා දැනුම්වත් කිරීම සිදුකළ යුතුව ඇත.

මෙම ක්‍රියාපටිපාටිය මෙතෙක් සිදුකර තිබිණි. ප්‍රභූවරුන්ගේ පැමිණීම හෝ වෙනත් අත්‍යවශ්‍ය රාජකාරියක් නොහැරෙන්නට කළුතර උතුර මඟින් මෙවන් ගමනකට නිලධාරීන් දෙදෙනෙකුගේ ආරක්ෂාව ලබා දී ඇත.

මෙහිදී මතුවන ගැටලු රාශියකි. සමයං ඇතුළු පාතාලයන් රැගෙන ගිය බන්ධනාගාර බස්රථ දෙකේ සිටි නිලධාරීන් ගණන 11 කි. ඉදිරිපස බසයේ පහකි. පසුපස බසයේ හයකි. ඔවුන් සියල්ලන් අතම ගිනිඅවි හතක් තිබී ඇත. ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ මෙම ගිනිඅවි හතෙන් පත්තු වී ඇත්තේ එක් අවියක් පමණි. පොලීසියේ අවිගත් භටයන් දෙදෙනා සිටිය ද එවන් ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාර දීමට එම ආරක්ෂාව සෑහේදැයි සිතිය යුතු වේ.

පාතාල කෙරුමන්ට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙමින් පසුපසින් ගිය බසය ද දැල්වලින් වැසුණු බන්ධනාගාර බසයකි. විමර්ශකයන් පෙන්වා දෙන්නේ ආරක්ෂාව සඳහා යන වාහනය ඊට වඩා කුඩා විය යුතු බවය. ඉක්මනින් හැරවීමට, වේගයෙන් ධාවනය කිරීමට පසුපස හඹා යෑමට හැකියාව ඇති වාහනයක් ඒ සඳහා යොදා නොගැනීම ද බන්ධනාගාර බලධාරින් ආරක්ෂක ක්‍රමෝපායන්ගේ අඩුපාඩුවකි.

“එක්කෝ මහේස්ත්‍රාත්තුමා ඇවිත් විසිට් එකක් දාන්න ඕන. නැත්නම් කඩුවෙලට කිට්ටු හිරගෙදරක මොවුන් රඳවා තබන්න ඕන. මෙහෙම අරගෙන ගිහින් මොකක්ද වෙන්නෙ. වෙන්නෙ නඩුව කල් දාන එකනේ. ඒක අහගෙන ආයෙත් කළුතරට එනවා. ඔය යන-එන ගමන කොතරම් අවදානම් ද. ඒ නිසා මේ වගේ නඩුවලට විය යුත්තේ මෙය නෙමේ.” විමර්ශක නිලධාරියෙකු පවසන්නේ ආරක්ෂාවේ ඇති අඩුපාඩුය.

ඝාතකයන් පලාගිය සුදු පැහැති වෑන්රිය පලා යන අයුරු සීසීටීවී කැමරා කිහිපයකම සටහන්ව තිබිණ. එම වෑන්රිය මොරගහහේන හොරණ පාරේ ඉන්ධන හලට මඳක් ඉදිරියෙන් අතහැර දමාගොස් තිබියදී සොයා ගැනීමට හැකි විය. එය පරීක්ෂා කළ නිලධාරීන්ට එහි පිටුපස අසුන අසල ලේ තැවරුණු සපත්තු අඩි සලකුණු සොයාගත හැකි විය. වෑන් රියේ ඉදිරිපස දොරවල් දෙකේ ද ලේ සලකුණු තිබූ අතර අත්වැස්මක් විය. හොරණ නිල සුනඛ ග්‍රේරෝ එතැනට ගෙනා විමර්ශන නිලධාරීහු අත්වැස්ම ග්‍රේරෝට ඉව කරන්නට සැලැස්වූහ. ඉව ලබාගත් ග්‍රේරෝ ගියේ මීටර් දෙසීයක් පමණ දුරකි. අතහැර දමන ලද රබර් කර්මාන්ත ශාලාවක් එතැන විය. හිස් අරක්කු බෝතල, සිගරැට් කොට, හිස් සිගරැට් පැකට්ටුවක් හා මිනිස් අසූචිද එතැන වූ බව පොලීසිය කීවේය. ඝාතකයන් මෙතැනදී ඇඳුම් මාරුකර පලා යන්නට ඇති බව පොලීසියේ සැකය වී තිබේ.

මේ අතර මෙම ප්‍රහාරය ගැන අවධානය යොමුකරද්දී මීට සම්බන්ධ වී ඇති තුවක්කුකරුවන් බොහොමයක් දක්ෂ වෙඩික්කරුවන් බව නොරහසකි. විමර්ශකයන් පවසන්නේ ඔවුන් හමුදා කොමාන්ඩෝ පුහුණුව ලැබූ පැන ආ අය වන්නට ඇති බවය. සමයං ඝාතනයට සැකකරන අංගොඩ ලොක්කා හා මාකඳුරේ මධුෂ්ගේ කල්ලිවල මෙවැනි හමුදාවෙන් පැන ආ පුද්ගලයෝ සිටින බව විමර්ශකයෝ කියති. ඒ නිසා මෙය සැලසුම් සහගතව සිදුකළ එකක් බව ඔවුහු පෙන්වා දෙති. දැනට සිදුකර ඇති විමර්ශනවලදී මෙම ඝාතනය සඳහා පාතාල ක්‍රියාකාරින් තුන්දෙනකුගේ කණ්ඩායම එක්වී ඇති බව පත්‍රය මුද්‍රණයට යන මොහොතේ දැනගන්නට ලැබිණ.

සොයාගත් වෑන් රියේ තිබි ඇඟිලි සලකුණු විසි ගණනක් සොයාගෙන තිබේ. එහි අයිතිකරු ත්‍රිකුණාමල කින්නියා ප්‍රදේශයේ අයෙකි. මෙම වෑන් රිය කුලී ගමනක් යන මුවාවෙන් රැගෙන එන්නට ඇතැයි පොලීසිය සැක කරයි. වෑන් රියේ ඉදිරිපස අංක තහඩුවෙහි සඳහන් වූ අංකය ආදායම් බලපත්‍ර රිසිට් පතෙහි නොවන බවත් එහි ඇත්තේ වෙනත් අංකයක් බවත් පොලීසිය කියයි.

කෙසේ වෙතත් වෑන් රියේ හිමිකරුට කළ දැනුම් දීමත් සමඟ ඔහු පසුගිය පළමු වැනිදා මොරගහහේන පොලීසියට පැමිණ එම වෑන්රිය තමාගේ බව හඳුනා ගත්තේය.

ප්‍රශ්න කිරීමේදී ඔහු පැවසුවේ ඉකුත් පස්වැනිදා කුලී ගමනක් යෑමට කතාබස් කරගෙන මීගමුවට පැමිණි බවත් එහිදී දවාලට බත් මුලක් හා වතුර බෝතලයක් ලැබුණු බවත් ඉන්පසුව තමාට නිදිමතක් දැනුණු බවත්ය. පසුව වාහනය මාර්ගයේ නවතා නිදාගත් බවත් අවදිවී බලන විට තමා සිටියේ ඉංගිරියේ රෝහලේ බවත්ය.

තම වාහනයේ සුදු පැහැති බවත් එහෙත් දැන් ඊට උඩින් නැවත සුදු ආලේප කර ඇති බවත් ඔහු පැවැසීය. බ‍ඳෙහි පටි ආකාරයෙන් ස්ටිකර අලවා නොතිබු බවත් ආසන කවර අළු පාටින් දමා තිබූ නමුත් ඒවා ද වෙනස්කොට රන්වන් පාට කවර ආසනවලට යොදා ඇති බවත් ඔහු කීවේය.

පොලීසිය මොහුගෙන් දීර්ඝ ප්‍රකාශයක් සටහන් කරගත්තේය. කුලී ගමනක් යන්නට කතාබස් කරගත් පුද්ගලයා සමඟ හුවමාරු වූ දුරකථන අංක විමර්ශනවලට වැදගත් වන බව පැවසු පොලීසිය ඒ ඔස්සේ ද පරීක්ෂණ පවත්වන බව සඳහන් කළේය.

කෙසේ වෙතත් පත්‍රය මුද්‍රණයට යන මොහොත තුරුම සමයං ඝාතනයට සම්බන්ධ කිසිදු සැකකරුවකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන නොතිබිණ. මේ පිළිබඳ කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීවේ මේ සඳහා කණ්ඩායම් පහක් යොදවා විමර්ශන සිදුකරන බවය. ඝාතනයට පැමිණි කණ්ඩායමේ කිහිප දෙනෙකු හා එය මෙහෙයවූ කල්ලි නායකයා මේ වන විට හඳුනාගෙන ඇති බව ද සඳහන් කරන ඒ නිලධාරියා අද හෙටම ඔවුන් අත්අඩංගුවට ගන්නා බව ද අවධාරණය කළේය.

මේ අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ද වෙනම පරීක්ෂණයක් අරඹා තිබේ. ප්‍රතිවිරුද්ධ පාතාල පිරිස වෙඩි ප්‍රහාර එල්ල කරද්දී බන්ධනාගාර නිලධාරීන්ගේ ගිනිඅවි පත්තු නොවුණේ මන්දැයි සෙවීම ද මෙම පරීක්ෂණයේ අරමුණ වී තිබේ. ඊට අමතරව ආරක්ෂාවේ ඇති හිස්තැන් කිහිපයක් ද බලධාරීන්ගේ දෝෂාරෝපණයට ලක්වී තිබේ. සමයං ඇතුළු පිරිස ඝාතනය කිරීම සඳහා සෙසු පාතාලයන්ට ඔත්තුව ගියේ හිරගෙදර ඇතුළෙන්දැයි සෙවීම මෙහි තවත් අරමුණකි.

මේ අතර බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය එම්. ස්වාමිනාදන් මහතාගේ උපදෙස් මත පත්කර ඇති ත්‍රීපුද්ගල කමිටුව ද මේ පිළිබඳ විමර්ශනයක යෙදේ. හිටපු මහේස්ත්‍රාත්වරයකු මෙන්ම බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයකු වන රූමි මර්ෂුක් මහතා සභාපතිත්වය දරණ මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන ගාමිණි නවරත්න හා ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු වන එස්. මැදිවල මහතාය.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත අපරාධ බාර හා රථවාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ අධීක්ෂණයෙන් අපරාධ බාර හා මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි, කළුතර දිසා බාර නියෝජ්‍ය පොලිස්පති ජී. කේ. පෙරේරා යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් කළුතර කොට්ඨාස බාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න මහතාගේ ඇතුළු තවත් නිලධාරීන් රැසකගෙන් සැදුම්ලත් කණ්ඩායම් පහක් මේ පිළිබඳ විමර්ශන සිදු කරති.

 

Comments