විසිපන්දාහට අකැමැති අයට අංක තහඩු ෆ්ලිපරයක්! | Page 5 | සිළුමිණ

විසිපන්දාහට අකැමැති අයට අංක තහඩු ෆ්ලිපරයක්!

එදා ජේම්ස් බොන්ඩ්ට වඩා අපට ආස හිතුණේ ජේම්ස් බොන්ඩ්ගේ කාර් එකට. වෙඩි වදින්නේ නැති වීදුරු, බොත්තමක් ඔබපු ගමන් මතු වෙලා තමන් ලුහුබඳින කාර් එකේ රෝද ඉරලා දාන යකඩ උල්, තැනින් තැන සවි කරපු මැෂින් ගන්, රේසර් රිම්. නියමයි නේද! මේ වගේ ආයුධ ගබඩාවකින් තමන්ගේ කාර්එකත් සමන්විත කරගන්න ඔබටත් හීනයක් තියෙන්න ඇති. ඒත් ඒ වගේ හීන හීන විතරයි. අඩුම තරමේ ඒ හීන ජේම්ස් බොන්ඩ්ට රඟපාපු නළුවටවත් සැබෑ කරගන්න බැරි වෙන්න ඇති.

ඒත් දැන් ඒ හීනේ පොඩී කෑල්ලක් සැබෑ වන ලකුණු පහළ වෙලා. ඒ කියන්නේ ජේම්ස් බොන්ඩ්ගේ ඇස්ටන් මාටින් එකේ තියෙන ඔක්කොම ගැජට් නෙමෙයි, ඒ අතරින් එකම එකක් අපේ කාර්වලටත් යොදාගන්න අවස්ථාව උදා වෙලා.

ජේම්ස් බොන්ඩ් කරන වැඩවල හැටියට මිනිහගේ කාර්එක පස්සෙන් තව කාර් හතරක් පහක් හැම තිස්සෙම ලුහුබඳින එක අහන්න දෙයක් නෙමෙයිනේ. ඒ වගේ අවස්ථාවලදී මිනිහ කරන්නේ කාර්එකේ නම්බර් ප්ලේට්එක එකපාරටම නොපෙනී යන්න සලස්වන එක. ඒක කොහොම කරනවද මන්දා. බොහෝ දුරට මේවා කැමරා ට්‍රික්ස් වෙන්න ඇති. හැබැයි ඒ වගේ තමන්ගේ කාර්එකෙත් නම්බර් ප්ලේට් එහා මෙහා කරලා ඇස්බැන්දුම් කරන්න බොහෝ දෙනෙක් කැමැති ඇති. විශේෂයෙන් අර විසිපන්දාහේ දඩේට බය කට්ටිය.

දැන් ඒ සිහින සැබෑ කරන්න යුරෝපීය සමාගමක් අලුත්ම ගැජට්එකක් නිපදවලා තියෙනවා. ඒකට කියන්නේ License - plate flipper කියලා. එහෙමත් නැත් නම් අංක තහඩු ෆ්ලිපරය. මේ ගැජට්එක තමන්ගේ කාර් එකට හයි කරගත්තට පස්සේ තමන්ට පුළුවන් ඕනෑම වෙලාවට අංක තහඩුව පසුපසින් එන යමකුට නොපෙනී යන විදිහට අංශක අනූවක් ඇල කරන්න.

මේ ගැජට්එක කොතරම් ජනප්‍රියද කිව්වොත් එය පසුගිය වසරේ ලෝකයේ හොඳම නව නිපැයුම් දහය අතරින් දෙවැනි ස්ථානය දිනාගන්න සමත් වුණා. එකෙන් තේරෙන්නේ අපේ රටේ වගේම ලෝකයේ බොහෝ රටවල මිනිස්සු පාරේ ගමන් කරනකොට අනන්‍යතාව හංගාගන්න කොතරම් කැමැතිද කියන එක.

කොහොම වුණත් මේ ගැජට්එක පොදු අලෙවියට ඉදිරිපත් කරන්න නම් අවසර ලැබිලා නැහැ. එ නිසා අංක තහඩු ෆ්ලිපරය අලෙවි කරන සමාගම තමන්ගේ භාණ්ඩය සමඟ දැඩි කොන්දේසියක් පනවලා තිබෙනවා මෙය භාවිත කළ යුත්තේ ඕෆ් රෝඩ් ධාවනයේදී පමණයි කියලා.

ඔවුන් මෙයට නියම කරලා තියෙන මිල ඩොලර් හැත්තෑනවයයි. ඒ වගේම යතුරුපැදි සඳහාත් මෙවැනිම ෆ්ලිපරයක් නිපදවන්න ඔවුන් කටයුතු කර තියෙන බවත් වාර්තා වෙනවා.

Comments