රන්මසු මවන අපනයන කෘෂිකර්මය | Page 5 | සිළුමිණ

රන්මසු මවන අපනයන කෘෂිකර්මය

 අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි විද්‍යාඥයන්ගේ නවතම පර්යේෂණ ප්‍රතිඵල එළිදක්වන වාර්ෂික සුළු අපනයන භෝග පර්යේෂණ සමුළුව සහ කෘෂිකාර්මික ප්‍රදර්ශනය 2017 ප්‍රාථමික කර්මාන්ත ගරු අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පේරාදෙණිය, ගන්නෝරුව පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේ දී මාර්තු මස 16 හා 17 දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා පැවැත්වේ.

පර්යේෂණ ආයතනයක පර්යේෂණ ප්‍රතිඵල ක්ෂේත්‍රයේ විද්‍යාඥයන් අතර සාකච්ඡාවට බදුන් කිරීම මෙන්ම ඒ පර්යේෂණ ආශ්‍රයෙන් නිෂ්පාදිත දෑ මහජන ප්‍රදර්ශනයට තැබීම ද එකලෙස වැදගත් වේ. ඒ අර්ථයෙන් මෙම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් මෙම පර්යේෂණ සමුළුව මෙන්ම කෘෂිකාර්මික ප්‍රදර්ශනය ද අතිශය වැදගත් අවස්ථාවන් දෙකකි.

ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය යටතේ පවතින අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අපනයන කෘෂි භෝග ප්‍රවර්ධනය සදහා ස්ථාපිත කර ඇති ප්‍රධානම රාජ්‍ය ආයතනයයි. එමගින් අපනයන කෘෂි භෝග සම්බන්ධව පර්යේෂණ කිරීම, වගා කටයුතු සදහා ගොවීන්ට අවශ්‍ය දැනුම හා සම්පත් ලබාදෙමින් ව්‍යාප්ති සේවා කිරීම, උසස් තත්ත්වයේ අපනයන කෘෂි භෝග පැළ හා රෝපණ ද්‍රව්‍ය සැපයීම, ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස් පුහුණු කිරීම, පොහොර භාවිතයට අදාළ දැනුවත් කිරීම් සිදු කිරීම හා අපනයනට සම්බන්ධ අලුත් කෘෂි භෝග සම්බන්ධයෙන් සොයා බැලීම සිදු කෙරෙයි.

1972 දී පිහිට වූ මෙම දෙපාර්තමේන්තුව විවිධ කාලයන්හි දී එක් එක් අමාත්‍යංශයන්ට අයත්ව ක්‍රියාකාරී වැඩ කොටසක් සිදු කර ඇත. මේ වනවිට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය යටතේ පවතින මෙම දෙපාර්තමේන්තුව ගරු අමාත්‍යවරයාගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකටම තම සේවාවන් ලබාදීම පුළුල් කරමින් පවතී. ඒ අනුව මේ වනවිට අනුරාධපුරය, පොලොන්නරුව හා අම්පාර දිස්ත්‍රික්කයන් තුළ සහකාර අධ්‍යක්ෂ කාර්යාල ස්ථාපිත කර තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ශක්තියක් ලබදෙමින් විදේශ විනිමය ඉපයීමේ ලා විශිෂ්ඨ කාර්යයක් කරන්නේ අපනයන කෘෂිකර්ම ක්ෂේත්‍රයයි. අපනයන කෘෂි භෝගයන්ගේ අපනයන පරිමාව 2014 වර්ෂයේ දී මෙට්‍රික් ටොන් 60,033 වූ අතර 2015 දී එය මෙට්‍රික් ටොන් 71,558 දක්වා 19.2%කින් වර්ධනය වී ඇත.

මේ නිසා එමගින් ඉපයූ අපනයන ආදායම 2015 වර්ෂයේ දී රුපියල් මිලියන 61,589 දක්වා වර්ධනය වී ඇත්තේ පෙර වර්ෂයේ අපනයන ආදායම වූ රුපියල් මිලියන 44,451 ඉක්මවා යමිනි.

ආර්ථිකයට ශක්තියක් වෙමින් අපනයන කෘෂිභෝග අස්වැන්න ප්‍රවර්ධනය කිරීම සදහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වය ප්‍රධාන වශයෙන්ම බලපායි. එහිදී අපනයන කෘෂිභෝග සම්බන්ධයෙන් කරන්නා වූ පර්යේෂණ හා ඒවායේ ප්‍රතිඵල ගොවි ජනතාව අතරට ගෙනයෑම සදහා කරන්නා වු ව්‍යාප්ති සේවාව බෙහෙවින් තීරණාත්මක ය. මෙම දෙපාර්තමේන්තුව වාර්ෂිකව පවත්වන්නා වූ පර්යේෂණ සමුළුව හා කෘෂිකාර්මික ප්‍රදර්ශනය වැදගත් වන්නේ එබැවිනි.

මෙවර පවත්වනා වූ පර්යේෂණ සමුළුවේ ප්‍රධාන ඉලක්කයන් කිහිපයකි. ඒ අතර තම පර්යේෂණ හා තාක්ෂණික සොයා ගැනීම් අපනයන කෘෂිභෝග ක්ෂේත්‍රයේ දෙස් විදෙස් විද්‍යාඥයන් අතර සාකච්ඡාවට බදුන් කිරීම සදහා වේදිකාවක් නිර්මාණය කරදීම ප්‍රධානම අරමුණයි.එසේම පර්යේෂණ හා සංවර්ධන ප්‍රතිඵලයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා මහජන සහයෝගී අවස්ථාවක් නිර්මාණය කරදීම මෙන්ම අනාගත පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රයේ අනාගත අවශ්‍යතා හා අඩු ලුහුඩුකම් හදුනා ගැනීමට අවස්ථාවක් උදාකරදීම ද තවත් අරමුණු කිහිපයකි. මේ අරමුණු සාධනයේලා මෙවර පැවැත්වෙන පර්යේෂණ සමුළුව විශිෂ්ට ලෙස හා සාර්ථකව යොදා ගැනීමට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එම්.ඒ.පී.කේ. සෙනෙවිරත්න මහතා විශාල උනන්දුවකින් කටයුතු කරයි.

පර්යේෂණ සමුළුවකින් බලාපොරුත්තු වන්නේ ඒ ඒ ක්ෂේත්‍රයන්හි විද්‍යාඥයන් කරන්නා වූ තාක්ෂණික පර්යේෂණයන්ගේ ප්‍රතිඵල සමාජ ගත කිරීමයි. මෙවර පවත්වන අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ සමුළුවේ දී අපනයන කෘෂි භෝග සම්බන්ධයෙන් කාලගුණ විපර්යාසයන්ගේ බලපෑම හා ඒවා අවම කිරීම, හරිත අපනයන කෘෂිකර්ම භෝග වගා වැඩපිළිවෙලකට අදාළ යාන්ත්‍රණය මෙන්ම තාක්ෂණය සකස් කිරීම, අපනයන කෘෂි භෝගයන්ගේ ඵලදායිතාව හා ගුණාත්මකතාව තහවුරු කිරීම, ඒවායේ අගය එකතු කිරීම හා අතුරු නිෂ්පාදන සංවර්ධනය සහ අළෙවි, ආර්ථික හා තාක්ෂණ වර්ධනයන් සම්බන්ධ පර්යේෂණ පත්‍රිකා එළිදක්වමින් ඒවා සාකච්ඡාවට බදුන් කිරීමට නියමිතව ඇත.

Comments