ඕනෑම සන්ධි අමාරුවකට මා ළඟ බෙහෙත් තියෙනවා | Page 587 | සිළුමිණ

ඕනෑම සන්ධි අමාරුවකට මා ළඟ බෙහෙත් තියෙනවා

 ජීවිතය අත්දැකුම් නිබඳව ලබාදෙන තක්සලාවකි. ජිවිත කාලයක් පුරා අප ලබන අත්දැකීම් එකිනෙකට වෙනස්ය. එක් අත්දැකුමක් සිත් තුළ නළියා නිරුද්ධ වන්නා හා ම තවත් අත්දැකුමකින් අපේ සිත පිරෙයි. අත්තා, මුත්තා, නත්තා, පනත්තා, කිත්තා, කිරිකිත්තා, කිරිකෑ මුත්තාගේ කාලයේ පටන්ම ඇතාගල පුරවරය හෙල්ලු වෙද පරම්පරාවක වර්තමාන පුරුක සොයා අපි හැල්මේ ඉගිල්ලෙමු. කුරුණෑ යනු ඇතාට තවත් නමකි. ඇතකුගේ හැඩයක් ගත් අතිවිශාල පර්වත රාජයකු නගර පුරවරය මැද විරාජමානව සිටින නිසා ඒ පුරවර කුරුණෑගල නම්වර ලද්දේය. ඒ කුරුණෑගලට කිට්ටු ගැට්ටුවානේ වෙද ගෙදර නමින් එදා සිට චිරප්‍රසිද්ධ මේ වෙද පරම්පරාවේ අතීතය ද සුන්දරය. පාරම්පරික ආයුර්වේද වෛද්‍ය වසන්ත උදයජීව මහතා (D.S.A.M.S) අද එහි ප්‍රධාන ජීවකයාය. එතුමාගේ ප්‍රියම්බිකාව වෛද්‍ය රේණුකා ද අල්විස් මහත්මිය ද අද ඒ ජීවක අරණේ සුවහසක් ජනතාවට පිහිට වන්නීය. මේ දෙදෙනා මුණගැසෙන්නේ ද ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය ආයතනයේදී උපාධිය හදාරද්දීය.

ඔබට ඇත්තේ හන්දිපත් වේදනාව ද? කොන්ද කැක්කුම ද? දණ, හිස වේදනාව ද? කශේරුකාවේ ඇට අතර වෙනස්කමක් ද? කොන්ද ඇදවීම ද? අත පය ඇඟිලි ඇදවීම ද නැත්නම් රුමෑටික් ආතරයිටීස් ද? මේ ආදි වශයෙන් නොයෙකුත් සන්දි රෝගවලට විස්මිත වෙදකමක් මේ නිවස්නයේ ඇත. එය අපට ද ඉඳුරාම ප්‍රත්‍යක්ෂ කරුණකි. අප එහි යන විට ද ඇඹිලිපිටිය, වත්තල, අනුරාධපුරය, ගල්පාලම බදුල්ල ආදි නොයෙක් දෙසින් ඇදී ආ ජනතාව එහි රොද බැඳී සිටියහ. රටේ ප්‍රසිද්ධ කලාකරුවන්, විද්වතුන් හා වෘත්තියවේදීන් බොහෝ දෙනෙකු ද එතුමාගෙන් ප්‍රතිකාර ගෙන සුවය ලබා ඇත. මේ පිළිබඳව අප කරුණු නොදක්වා ඒ ප්‍රතිකාර ලද රෝගී ජනතාවගෙන් යමක් දැන ගනිමු. ඊටත් පෙර සන්ධි රෝග හා සන්ධි රෝග කෙනෙකුට ඇතිවන්නේ ඇතිවන්නෙ ඇයි ද යන්න ගැන තොරතුරක් දැනගැනීම වටනේය.

“අපේ ශරීරයේ සන්ධි බොහොමයක් තිබෙනවා. මේ හැම සන්ධියක් ආශ්‍රිතව යම් බඳු වෙනස්කමක් වන්නට පුළුවනි. එය අතිශය වේදනාකාරියි. සමහර අය තරුණ වයසේ සිට මිය යනතුරුම මේ වේදනාවන් විඳිනවා. මා 1983 සිට දැන් 75,000ක් පමණ සුවපත් කරලා තියෙනවා. අපෙ අප්පච්චි සීයාගේ කාලෙ හිටන් කොපමණ ප්‍රතිකාර කළා ද දන්නෙ නෑ. මගෙ ළඟට තරුණ වයසේ සිට සන්ධි රෝග තිබිලා මහලු වයසේ වෙනතුරු විවිධ තැන්වල ගිහින් තම ඉඩකඩම් උකස් තියලා ණයවෙලා අන්තිම දරිද්‍රතාවෙන් ඇවිත් සුවය ලැබු අය ඉන්නවා. මා සර්වාංග ප්‍රතිකාර කළත් මේ සන්ධි රෝග ගැන පරම්පරාගත ඥානය හරහා මා කරන ප්‍රතිකර්ම නිසා ජනතාව මෙහි එනවා. සන්ධියක් ආශ්‍රිතව ඇතිවන රිදුම, වේදනාව, වෙනස්කම සන්ධි රෝග කිව හැකියි...”

අපේ කතා නායක විස්මිත ජීවක උදයජීව මහතා කියයි. දණහිස් සන්ධි රෝග මතු නොව විශේෂ පත්තු ප්‍රතිකාර හා කාන්තා රෝග සඳහා ද ‘සන්ධි සුව වෙද අරණ’ නම් මේ ස්ථානය නිබඳව විවෘතය.

ආතරයිටීස් කියන්නෙත් සන්ධි රෝගවලට ද? මම අසමි.

ඔව්, අප මුලින්ම කරන්නෙ රෝගය තියෙන තැන අත්ත්‍රාන්ත්‍ර කිරීමයි. ඒ කියන්නේ සන්ධිය අතර වේදනාව ලිහිල් කිරීමයි. බුරුල් කිරීමයි. සමහර ප්‍රතිකර්මවලදී මේවා ඝන කරලා නැවත ලිහිල් කරන්නත් වෙනවා...” එතුමා කීවේය.

සන්ධි රෝගය කෙනෙකුට හැදෙන්නේ ඇයි? ඒක පරම්පරාගතව එන්නත් පුළුවන් ද? මගෙන් යළිත් ප්‍රශ්නයක්.

සන්ධි රෝග පරම්පරාවෙන් එන්නට පුළුවන්. ඒකෙ ප්‍රතිශතය තරමක් අඩුයි. මා ළඟට එන 98%ක් දෙනාට ඒ රෝගය වැලඳී ඇත්තේ වැරැදි ආහාර රටාව නිසයි. (එතුමා මේ වචනය වැරැදි ආහාර වියරණය ලෙස ද හඳුන්වනු ලැබීය.) ඊළඟට වැරැදි ඉරියව් පවත්වා ගැනීම, ඉඳ ගැනීම, සිට ගැනීම, වැතිරීම වැනි අවස්ථාවල නිවැරැදි ඉරියවු පවත්වා ගැනීමෙන් වැළකිය හැකියි. ඊළඟට අධික වෙහෙස මහන්සිය තෙහෙට්ටුව නිසාත් මේවා ඇති වෙනවා. මානසික ආතතිය වගේ දේවල්වලින් ද සන්ධි රෝගය එන්නට පුළුවන්.

මෙහිදී ගමේ මිනිසුන්ගෙන් ඉතා විශ්වසනීය ලෙස ආරංචි වූ සිද්ධියකි. ඒ වයස්ගත 80 වියැති ගිරිඋල්ලේ මවක් වෙද මහතා විසින් සුවපත් කරන ලද පුවතකි. මම ඒ ගැන ද එතුමා විමසීමි.

“ඇත්තටම ඒ අම්මා මා ළඟට ගෙනාවේ රට පුරා ඇවිදලා. මං රටේ වෙද මහත්වරුනට දොස් කියන්නෙ නෑ. ඒ අයත් උත්සාහ කරලා තියෙනවා. මේ අම්මට ඉන්නෙ තරුණ පුතෙක් හා දුවෙක් විතරයි. ඒ අයත් මා ළඟට ඒ අම්මා ගෙනෙනකොට හොඳටම හෙම්බත් වෙලා. තිබුණ ඉඩම-කඩම විකුණලා. ආර්ථික අතින් අන්තිම අඩියක හිටියෙ. මේ පුතා අම්මට බෙහෙත් කරන්න සල්ලි හොයන්න තමා වැඩ කරන ගල් වළේ තව පැය 2ක් වැඩිපුර වැඩ කරනවා. ඒ අයගෙ තත්ත්වය ගැන තේරුණාම මං නොමිලයේ මගේ ප්‍රතිකාර කළා. මේ අම්මට අවුරුදු 28 දී අර්ධිත රෝගය වැලඳී තිබුණෙ. ඒ කියන්නෙ කට පැත්තකට යනවා. කතා කරන්නත් ටික ටික බැරි වෙනවා. බත් ටික පවා අම්මට කවන්නෙ ළමයි. දණිස් අමාරුවත් බරපතළව තිබුණා. අන්තිමේ රෝද පුටුවෙ ගෙන ආවේ. මං මාස 8ක් විතර ප්‍රතිකාර කළා. සාමාන්‍යයෙන් මාස 1 1/2ක් යනකොට ලෙඩෙක් සුව කරන්න මට පුළුවන්. ඒත් අම්මා වයසක නිසාත් කල්ගිය නිසාත් මට ඒ කාලය ගියා. දැන් අම්මා තනිවම බත් කනවා. ඇවිදිනවා. හොඳට කතා කරනවා” එතුමා කීවේය.

මේ වෙද මහතාගේ අපූරු පත්තු ක්‍රමයක් ද තිබේ. රූමැටික් ආතරයිටිස් රෝගය මේ පත්තු ක්‍රමයෙන් හා එතුමාගේ ගුලි කල්ක ටික කලක් භාවිත කිරීමෙන් අතුරුදන් වන බව ද කියයි. රොද බැඳී සිටින සෙනඟ අතරින් කීප දෙනකු අපි අහඹු ක්‍රමයකට තෝරා ගනිමු.

දීපානි අජන්තා අනුරාධපුර ගල්පාලම පෙදෙසේ සිට මෙහි පැමිණ සිටියාය. “මට අවුරුදු 15 - 16 කාලෙ මගෙ උකුල් ඇටය පැන්නෙ. මහා වේදනාවක් නිතර දැනුණා. විලුඹ ළඟත් ‘ජොයින්ට්’ එක නිතරම පුපුරු ගහන්න ගත්තා. අනුරාධපුර මහ රෝහලට ගියාට එතැන අවුරුදු 9ක් තිස්සෙ ප්‍රතිකාර ගත්තා. එහි සායනයටත් ගියා. හොඳ වුණේම නෑ. ඊළඟට ඒ අය මට ‘කරන්ට්’ පවා ඇල්ලුවා. ඒවායින් වුණේ මගේ වේදනාව වැඩිවුණු එක විතරයි. මේ මහත්මයා ගැන ආරංචිය ආවාම මං මීට පෙර දෙපාරක් මෙතැනට ආවා. ඒ එන හැම වතාවෙම වෙද මහත්මයා සති දෙකකට බෙහෙත් දෙනවා. එතුමා දුන් ගුලි, කල්ක බීවාම පත්තුව බැන්දම දැන් මට ගොඩාක් සනීපයි. මේ තුන්වැනි වතාවට ආවෙ. දැන් ලෙඩේ සීයට අනූවක් විතර හොඳයි.

ඉන්ද්‍රා කුමාරි මහත්මිය දැන් දැන් 64 වියේ පසුවන්නීය. ඇය කුරුණෑගල පුරයේම පදිංචිකාරිණියකි.

“මේ වෙද පරම්පරාව ගැන අපි එදා ඉඳලා දන්නවා. මට තිබෙන අසනීප ගැන කියන්න බෑ. ඒත් ඒවා හොඳ කළේනම් වෙද මහතා. දැනටත් මං ප්‍රතිකාර ගන්නවා. ගමේ ඉසිවරයා ගමට වැඩක් නෑ වගේ සමහරුනට මේ වෙද මහතාගේ වටිනාකම දැනුණේ නෑ. ඒත් රටේ නොයෙක් පළාත්වලින් සෙනඟ මේ විදියට එන්නෙ මේ අය පරම්පරාගත වෙද මහත්වරු නිසයි.

මට උදයජිව ජීවක මහතාගේ පරම්පරාවේ අපූරු වෙදකම් ගැනත් අසන්නට ලැබේ. උදයජීව වෙද මහතාගේ අප්පච්චිත් සීයාත් ගෙඩි පැළීමට යොදා ගත් අපූරු උපකරණයක් හා ශල්‍ය කටයුතු සඳහා පාවිච්චි කළ කෞතුක ආයුධ දෙකක්ද අපි එතුමන්ගෙන් ඉල්ලා ඡායාරූප ගත කළෙමු.

මේ සන්ධි සුව වෙද මැදුර අද පිහිටි තැනට ටිකක් එහායින් එදා මහගෙදර පිහිටියේය. දුබල සඳ එළියෙන් පාර හොයාගෙන රෑ මැදියමේ මෙහි පැමිණි බර කරත්ත බොහෝය. බල්ලන්ගේ බිරුම් හඬ මැද්දේ රෝගීන් ඔසවාගෙන වෙද ගෙදරට පැමිණෙද්දී රෝගවලට මෙන්ම වෙනත් රෝගවලට ද ප්‍රතිකාර ගත් ගැමියනට නිදිගැට හැර පියා බෙහෙත් කිරීමට අවශ්‍ය දේ සොයා දීමට පැටි වියේ සිටි උදයජීව කොලුවාට එදා සිදු විය.

දුර බැහැර පළාත්වලින් පැමිණි පිරිසට ආපසු යන්නට තවත් දවස් දෙක තුනක් යන නිසා එදා ඒ මහගෙදර නේවාසික පහසුකම් ද තිබිණ. මිනිසුනට උයා පිහාගෙන කන්නට ගිනිගල් ද නිමවා තිබිණ. සිසු පරපුරක් ද තනන්නට ඒ වෙද මහත්වරුන් උත්සාහ කැර තිබේ. ඇයි? ඔබතුමා ඒ විදියට කටයුතු නොකරන්නෙ...? මෙහි නේවාසික පහසුකම් නෑ... මම අසමි.

දැන් එහෙම කරන්න අමාරුයි. ඉඩකඩ නෑ. මට තිබෙන වෙලාවත් මදි ප්‍රතිකාර කරන්න. පෝය දවස හැර හැම දවසකම මා ලෙඩුන් වෙනුවෙන් කැප වෙනවා. 1947 දී අපේ අප්පච්චි සිසුන් 4ක් අරන් ආරම්භ කළ පන්තිය මාත් කලක් කරගෙන ආවා. කුරුණෑගල බෞද්ධාලෝක පිරිවෙණේ මේ පංති පැවැත්වූවේ. 1990 දී ඒ පංතිය නවතන විට සිසුන් 60ක් විතර හිටියා. ඊළඟට 1990 සිට 2005 වනතුරු ලක්දාස් මහා විද්‍යාලයයේ පංතියක් කළා. ළමයි 350ක් විතර හිටියා. කුරුණෑගල ගැට්ටුවාන වෙද පරපුරෙන් වෙදකම හදාරපු සන්ධි රෝග සුව කරන වෙද මහත්වරු 1000ක් පමණ මේ රටේ ඉන්නවා.

ඔබ හදන තෙල් කල්ක හා ගුලි ඔබටම ආවේණිකයි. ඒවා හදන්නෙ මොනවා යොදාගෙන ද?

ඔව්, මං ඒ ගුලිවලට වැඩියෙන් යොදා ගන්නෙ කැටකලා පොතු. තවත් ඖෂධ වර්ග හත අටක් යොදනවා. ගුලි කල්ක හා ක්වාත පමණයි මට විශ්වාස. වෙනත් ක්‍රමවලට ගියොත් වකුගඩු හානි කරන්නට පුළුවන්.

ඔබ මේ ගුලි කල්ක ලෙඩුන්ට දෙනවා හැර වෙනත් වෛද්‍යවරුනට දෙන්නෙ නැති බව කියනවා.

ඒක; ඇත්ත. මං මුදලාලි කෙනෙක් නොවේ. මගේ බේත් පිට අයට විකුණන්න. ඒවා ලෙඩුනට විතරයි.

සුධර්මා පීරිස් ද අනුරාධපුරයේ පදිංචිකාරිණියකි. ඇයට ද කියන්නට යමක් තිබේ.

මට අවුරුදු දෙකක් විතර වෙනවා ලෙඩේ වැලැඳිලා. මේ ලෙඩේට ඇඟිලි අතපය මුලින්ම වේදනාවට පත්වෙනවා. පස්සෙ අතපය ඇඟිලි ඇද වෙනවා. නොයෙක් බටහිර ප්‍රතිකාර කළා. වැඩක් නෑ. රූමැටික් ආතරයිටීස් කියන්නෙ මේකටයි. මේ වෙද මහතා ගැන දැනගන්න ලැබුණා. දෙවතාවයි ආවේ. සෑහෙන්න කවරදාවත් නැති ගුණයක් තියෙනවා. ශරීරයේ වේදනාව සමනය කරන ගුණයක් මේ පත්තුවේ තියෙනවා. ඒ වගේම මෙතුමන්ගෙ ගුලි කල්ක හරියට දිව්‍ය ඖෂධ වගේ.

මේ රටේ චිර ප්‍රසිද්ධ කලාකරුවෝ ද ඇතැම් දේශපාලනඥයෝ ද රහසේ විත් මේ ඉසිවර වෙද මහතාගෙන් පිහිට පතති. ලෙඩ සුව කරගනිති. වෙද මහතාට අවශ්‍යත් එය පමණි. එහෙත් සමහරුන් මේවා එළිපිට කියන්නට ද මැළිය. ඒ අතර කනගාටුවට හේතුවක් වන්නෙ ඇතැම් ස්වාමීන් වහන්සේලා ද සිටීමය.

වත්තල මාබෝලේ සිට එහි පැමිණ සිටි එකම පවුලේ අක්කා - නගෝ තිදෙනකුගේ අපූරු කතන්දරය ද තවත් බොහෝ දේ ද සමඟින් ලබන සතියේ නැවත හමුවෙමු.


ගැට්ටුවානේ වෙද මහතා මගේ ජීවිතය ගොඩ ගත්තා

මල්වතු මහා විහාරයීය කර්මවාගාචාර්ය දොරගමුවේ සද්ධාතිස්ස ස්ථවිර, දොරගමුව පන්සල, පෝයමළුව, මල්වතු මහා විහාරය, මහනුවර

මහනුවර මල්වත්තේ පොඩි හාමුදුරුවන් නමින් ප්‍රසිද්ධ ගුරු හාමුදුරුනමක මුහුණ දුන් අතිශය ඛේදජනක තත්ත්වයෙන් ඒ හිමියන් මුදා ගත්තේ මේ වෙද මහතාය.

මාගේ දෙමාපියන්ට ද රක්ත ඌෂ්ණය තිබුණා. මට අවුරුදු 15, 20 පමණ වන කාලයේදී මගේ කකුල් පිපිරෙන්ට ගත්තා. මෙය ක්‍රමයෙන් වැඩිවී අවුරුදු 30 පමණ වන විට හිසකෙස් හා ඇ‍ඟේ රෝම ඉදෙන්ට පටන්ගත්තා. කකුල ද අඩිය තැබීමට බැරි තරම් පැළෙන්ට ගත්තා. එසේම බඩේ දැවිල්ල ක්‍රමයෙන් වැඩිවී ගැස්ට්‍රික් තත්ත්වයට ආවා. මේ සඳහා විවිධ බෙහෙත් ගත්තා. ඉංගිරිසි මෙන්ම සිංහල වෛද්‍යවරුන්ගෙන් එක එක අය හොඳයි කියන වෛද්‍යවරුන් හොයාගෙන ගිහින් බෙහෙත් ගත්තා. කිසිදු ප්‍රතිඵලයක් නෑ. රක්ත ඌෂ්ණය නිසා මං නොවිඳිනා දුක් වින්දා. විවිධ කැඳ වර්ග, කෑම වර්ග, මැල්ලුම් වර්ග, සීතල කෑම කොතෙකුත් කෑවා; බීවා. එයිනුත් කිසිම වැඩක් වුණේ නෑ. ලෙඩේ තරමක් යටපත් වෙනවා. නැවත මතු වෙනවා. ඒ විතරක් නොවේ. අවුරුදු 40 පමණ වන විට මේ අතරේ මට අර්ශස් අමාරුවත් හැදුණා. මෙය ක්‍රමයෙන් වැඩිවී වැසිකිළි යාමේදී පිටුපසින් ගෙඩි පහ හයක් පමණ එළියට එන තත්ත්වයට පත්වුණා. ඉංගිරිසි බෙහෙත්වලින් ඵලක් වුණේම නෑ. වෛද්‍යවරු කීප දෙනෙකුගෙන්ම සිංහල වෙදකම් කළා. ඒත් මේ අතරේ දිනක් අහම්බෙන් ගැට්ටුවානේ වෙද මහත්තයා ගැන දැනගන්නට ලැබුණා.

මං ඒ වෙද මහතාත් සොයාගෙන ආවා. ඒ අතරේ අර්ශස් ගැස්ට්‍රයිටිස් වැඩිවී තිබුණා. එතකොට මගේ ඇස් පෙනීමද තරමක් දුර්වලයි. නිතර උදේට නාසයෙන් ලේ වැගිරීම, දැඩි වතුර පිපාසය වගේ ලෙඩත් ඇතිවුණා. මෙය මගේ පෙර අකුසලයක්. කකුල බිම තැබීමටවත් බැරි වුණා. ශරීරයේ හටගත් බිබිලි පිපිරී දිය ගලන තත්ත්වයට පත්වුණා. සමාජයට එන්නට බැරි තත්ත්වයක්. බණකට පිරිතකටවත් වඩින්න බැරිවුණා. ශරීරයේ දද පලු මතුවී රත්පැහැය ගත්තා. අතපය මුහුණේ හැමතැනම බිබිලි. වෙද මහත්තයා මගෙන් ඇහුවේ ‘මා ඔබවහන්සේ නිට්ටාවටම සුව කරනවා... හැබැයි! වෙන තැන්වලින් බේත් ගන්න එක නවත්තන්ට ඕනෑ’ කියලයි. එයට අවනත වූ මා එතැන් පටන් එතුමාගෙන් ප්‍රතිකාර ආරම්භ කළා.

මේ වෙද මහතාගේ අරිෂ්ට වර්ග නෑ. මුලින්ම කළේ මගේ බඩ සුද්ධ කිරීමයි. එය රාත්‍රියට නොවේ. උදේ ආහාරගෙන උදේ 10 ට පමණ. කුඩු තේ හැඳි දෙකක් උණු වතුරෙන් දවල් අහර ගෙන 3ට පමණ. එලෙසම මෙයින් කිසිදු පීඩාවකින් තොරව බඩ සුද්ධ වී යන අතරේ ඉන් අනතුරුව බෙහෙත් අඹරමින් සුදුහඳුන්, තැඹිලි වතුරට දමා බොන්ට දීමෙන් ඇඟ නිව්වා. චූර්ණ, කල්ක, ගුලි, කසාය, මඟින් ක්‍රමයෙන් බෙහෙත් ඇඟට දෙන අතරේ හිසට ගැල්වීමට තෙලක් ද පයේ හා ශරීරයේ ගැල්වීමට ක්‍රීම් එකක් ද ලබා දුන්නා. මේ වන විට මුළු ඇඟම වණයක් වෙලා තිබුණ එක ටික ටික සනීප වන්නට පටන්ගත්තා. දිනපතා නෑමට සිදුවුණා.

ඒ සඳහා වෙනම තැම්බුම් වතුරක් ලබා දුන්නා. නිදිකුම්බා පංචාගය, ගංසූරිය කොළ, පොතු, අමුකහ, කොහොඹ කොළ, පාවට්ටා කොළ, නිකකොළ ගෙන මේවා හීනියට කපා වනේ කොටා හොඳින් තම්බා එම වතුර හා එම රොඩුවලින් ඇඟ ඇතිල්ලීම ද කළා. කිසිදු සබන් වර්ගයක් අත සේදීමටවත් නොගත යුතුයි කියා එතුමා කීවා. නෑමෙන් පසු සියලු කුඩු වතුර කළතා ඇ‍ඟේ හලාගෙන එය වේලී යන තෙක් සිටිය යුතුයි.

 

මෙය සතියක් දෙකක් පමණ කරන විට ඇ‍ඟේ සියලු ලප කැළැල් මැකී පරණ හම ගැලවී අලුත් හමක් මතු වුණා. මෙම වතුර මාසයක් පමණ නාන විට අවුවේ හිටියත් ඇඟට දාඩියක් නොදමන තරමට ඇඟ නිවුණා. තවද ඇ‍ඟෙන් අමුතු නැවුම් සුවඳක් එන නිසා සබන් වර්ග ගෑමත් අවශ්‍යම වුණේ නෑ. වසරක් බෙහෙත් කිරීමට කීවද මාස හතර, පහ යන විට සම්පූර්ණ සුවයක් ලැබුණා. අර්ශස් සහමුලින්ම නැති වුණා. ගැස්ට්‍රික් ද එසේමයි. දැන් මගේ ඇ‍ඟේ කිසිදු ලෙඩක් තිබුණාද කියා සොයාගැනීමට නොහැකි තත්ත්වයට පත්වෙලා. කකුල් පුපුරා සම ගැලවීම නිසා ඇතිවූ ලප කැළැල් තරමක් තිබෙන අතර ඒවා ක්‍රමයෙන් අඩු වන බව පෙනෙනවා. 

ඡායා - විමල් කරුණාතිලක

Comments

කොන්දේ කැක්කුමක් හා කකුල් දේක නිතරම වේදනාවට පත්වේ.. තවද මගේ සරිරයේ ලේ වල අඩoගු ව්ය යුතු යකඩ ප්‍රරමාණය බොහෝ අඩු වේ.. මේම ලේ වල යඩක වැඩ් කර ගැනිමට මම නොයේක් ප්‍රතිකාර කලද ඉන් සුවයක් ලැබුනේ නෑත... මා හට මේ පිලිබදව ඔබ තුමාගේන් උපදේස් හා ප්‍රතිකාර ලබා ගැනිමට කැමත්ති වේම්... එම නිසා ඔබ තුමාගේ දුරකතන අoකය මා වේත ලබා දිමට හැකිනම් එය මහත්සේ වට්.... මගේ දුරකතන අoකය..0778832346

පිටු