අලි මිනිස් ගැටුමට හයිඩ්‍රජන්වලින් විසඳුමක් | Page 5 | සිළුමිණ

අලි මිනිස් ගැටුමට හයිඩ්‍රජන්වලින් විසඳුමක්

අලි සහ මිනිසුන් අතර පවතින නොනවතින අරගලය හේතු කරගෙන අද වන විටත් ලංකාවේ සමාජ පද්ධතියේ සැලකිය යුතු කොටසක ගැටලු රාශියක් අති වී තිබේ. මේ නිසා වසරකට මිනිසුන් පමණක් නොව, අලි විශාල ප්‍රමාණයක්ද මරණයට පත් වෙති. මේ නිසා ‍මීට විසඳුමක් වශයෙන් අලි වැට ඉදි කිරීම හා අලිවෙඩි දැමිම ආදිය සිදු කරයි. ඒත් මේ මඟින් මිනිසුන්ට හා සතුන්ට යහපතට වඩා සිදු වන අයහපත වැඩිය. මේ නිසා අදවන විටත් කිසිදු බලධාරියකු අලින් හා මිනිසුන් අතර ඇති මේ ගැටලුව වෙනුවෙන් ස්ථිරසාර විසඳුමක් දීමට අසමත් වී තිබේ. මාතර රාහුල විද්‍යාලයේ දරුවන් දෙදෙනකු අලින් පලවා හැරීම සඳහා අපූර්ව උපකරණයක් සකස් කර තිබේ.

රාහුල විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබන සංජුන ගත්සර හා නඳුන් නවාංජන යන පාසල් සිසුන් දෙදෙනා ගම්වදින අලින් පලවා හැරීමට අලිවෙඩි වෙනුවට පරිසර හිතකාමි උපකරණයක් නිපදවා තිබේ. මේ උපකරණය මගින් අලින් ගම්වැදීම සිදු වන අවස්ථාවේ බෝතලයක පිරවූ හයිඩ්‍රජන් වායුව විමෝචනය කිරීමක් සිදු වේ. එලෙස වායුව විමෝචනය වීමේදී විශාල ශබ්දයක්ද මතු වේ. මේ ශබ්දයෙන් බියපත් වන අලියා නැවත ඉක්මනින් වනගත වේ.

අලින් පැමිණෙන අවස්ථාවේ ස්වංක්‍රියව මේ විශාල ශබ්දය මතු වන අතර, ඉන් පසු අලින් එම ස්ථානයෙන් ඉවත් වීම සිදු වේ. ‍අලි පමණක් නොව, වල් ඌරන්ගෙන් සහ මොනරුන්ගෙන් සිදු වන හානි වළක්වාගැනීමටද මේ උපකරණය වැදගත් වේ. මේ වන විටත් වන සතුන්ගෙන් සිදුවන හානි නිසා ගොවිබිම් විශාල වශයෙන් විනාශයට පත් වීම පමණක් නොව, මිනිසුන්ගේ එදිනෙදා ජීවිත සම්බන්ධයෙන්ද අර්බුද පැනනැඟී ඇත. අලි වැට ඉදි කිරීම රජයේ අනුග්‍රහයෙන් සිදු කළ යුතු මහා පරිමාණ කටයුත්තක් වන නමුත් රුපියල් 1500ක් වැනි මුදල් ප්‍රමාණයකින් ඉවත ලන දේවල් යොදාගෙන මේ උපකරණය නිපදවිය හැකි වේ. මේ සිසුන් දෙදෙනා විද්‍යා පරීක්ෂණයක් සිදු කරන අවස්ථාවේ හයිඩ්‍රජන් යොදාගෙන සිදු කළ පරීක්ෂණයක් අතරතුර සිතාගත නොහැකි ආකාරයෙන් පිපිරීමක් සිදු වී තිබේ. පසුව ඒ පිපිරීමෙන් නැඟුණු ශබ්දය සම්බන්ධයෙන් වෙනම සිතා බැලූ ඔවුන් අලි මිනිසුන් ගැටුම නිසා මිනිසුන් හා සතුන්‍ අතර ඇති වී ඇති වන ගැටලු විසඳාගැනීමට මේ ශබ්දය ආශ්‍රයෙන් පිළියමක් සොයාගත හැකි වේයැයි සලකා මේ උපකරණය නිර්මාණය කිරීමට තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් සංජුන ගත්සර දක්වන්නේ මෙවැනි අදහසකි:

“අපි අලින්ගේ ජීවිත විනාශ වීම සම්බන්ධව අධ්‍යයනය කරලා, මිනිසුන්ට අලින්ගෙන් වෙන කරදර හා ජීවිත හානි ගැන සාකච්ජා කරලා තමයි මේ උපකරණ නිපදවීමට තිරණය කළේ. මේ උපකරණය නිපදවීමේදී අපේ පන්තියේ සහෝදර ශිෂ්‍යයන් අපිට උදවු කළා. අපි හැම විටම උත්සාහ කළේ අපේ රටට වැඩදායි උපකරණයක් නිපදවීමටයි. මේ රටේ අලි ගැටලුවට උත්තරයක් අපිට සලසා දෙන්න පුළුවන් නම් එය වටිනවා. ඇත්තෙන්ම අලි වෙඩිවලින් විශාල පරිසර හානියක් සිදු වෙනවා. ඒත් අපේ උපකරණයෙන් එවැනි කිසිම දෙයක් සිදු වන්නේ නැහැ. අලියා ළඟට ආවාම හයිඩ්‍රජන් දහනය සිදු වනවා. එතකොට විශාල ශබ්දයක් ඇති වනවා. ඒ හේතුවෙන් අලියා එම ස්ථානයෙන් අයින් වෙලා යනවා.

මෙහි සිදු වන විද්‍යාත්මක ප්‍රතික්‍රියාව තමයි ජලය විද්‍යුත් විච්ඡේදනයකට ලක් වීම. එය සිදු වන්නේ බැටරියක ආධාරයෙන්. මෙහිදී කිසියම් ගිනි ප්‍රමාණයක් පිට වෙනවා. ඒත් එය මිලි තප්පර 20 වගේ සුළු ප්‍රමාණයක් පවතින්නේ. ඉන් දහනය කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ. බෝතලයද නැවත ප්‍රයෝජනයට ලබාගැනීමේ හැකියාව පවතිනවා.

මේ උපකරණයට සවි කරන බෝතලයේ ප්‍රමාණය වැඩි කිරීම මඟින් ශබ්දය වැඩි කරගැනීමට හැකියාව තිබෙනවා. ලීටර් 2-3 වගේ ප්‍රමාණයේ බෝතලයක් ගන්නා විට හයිඩ්‍රජන් විශාල ප්‍රමාණයක් පිරවිය හැකි වෙනවා.

බෝතලය හදිස්සියේ කාන්දු වූයේ නම් හයිඩ්‍රජන් වායුව සැහැල්ලු වායුවක් නිසා වාතයේ ඝනත්වයට වඩා අඩු නිසා ඉහළ වායුගෝලයට ගොස් නිෂ්ක්‍රීය භාවයට පත් වීම සිදු නවා. එහෙත් වෙඩි බෙහෙත්වල නම් අහිතකර වායු වර්ග පිට වෙනවා. ඒත් මෙහිදී හයිඩ්‍රජන් හා ඔක්සිජන් දහනය වන විට යළි හයිඩ්‍රජන් හා ඔක්සිජන් පරමාණු බන්ධනය වී ජලවාෂ්ප ‍සෑදෙන නිසා පරිසරයට හිතකාමී බවක් ඇති වෙනවාඑ. පරණ බැටරියක්, බට ටිකක්, යකඩ තහඩු කිහිපයක් යොදාගෙන මේ උපකරණය ලෙහෙසියෙන් නිපදවාගැනීමේ හැකියාව ලැබෙනවා. හයිඩ්‍රජන් පුරවාගත හැකි ස්ථානයක් ගම් ආශ්‍රිතව ඇති කළ හැකි නම් එවිට ගමේ ජනතාවට එම ස්ථානයට පැමිණ හයිඩ්‍රජන් පුරවාගෙන යෑමේ හැකියාව පවතිනවා.

මේ මඟින් අලියාට ශරීරික වශයෙන් කිසිම හානියක් සිදු වන්නේත් නැහැ; ගමත් ආරක්ෂා වෙනවා. මේ ආකාරයෙන් ගමට මේ උපකරණයක් සවි කරලා තැබීමෙන් අලියා එන අවස්ථාවේ පිපිරීමක් සිදු වේ. විශේෂයෙන් අලියාගේ සංවේදිතාව අනුව පිපිරවීම ස්වයංක්‍රීය ආකාරයෙන් සිදු වේ. මීට අමතරව අලියා උපකරණයෙන් කිසියම් දුරක සිටිනවා නම් ස්වයංක්‍රීය පාලන උපකරණයකින් එය පිපිරවීමේ හැකියාවද තිබෙනවා.“

සංජුන ගත්සර එසේ අදහස් ප්‍රකාශ කරන විට මේ උපකරණය නිපදවීමට හවුල් වූ නඳුන් නවාංජන සිසුවාද අප සමග අදහස් දැක්වීමට එක් වූයේය:

“අපි මුලින්ම නව නිපැයුම් තරගයට තමයි ඉදිරිපත් වුණේ. එකතු වෙලා අලුත් අලුත් දේවල් නිපදවන්න කටයුතු කළා. අපිට හිතන එක එක දේවල් විවිධ ආකාරයෙන් අපි අත්හදාබැලුවා. සංජුනගේ ගෙදර තමයි ‍අපි මේ වැඩ කරන්නේ. අපිට නි‍වෙසේ ඉදිරිපස කාමරයක් තියෙනවා. එම ස්ථානයට ඇවිල්ලා තමයි අපි මේ වගේ නිර්මාණ සිදු කරන්නේ. අපි වැඩ නැති වෙලාවට ඇවිල්ලා අලුත් දේවල් අත්හදාබැලීම සිදු කරනවා. අපි දෙන්නා හැම විටම එකතු වෙලා දැනුම බෙදාගත්තා. මේ වැ‍ඩේ දී අපි දෙන්නා එකම ආකාරයෙන් නව නිර්මාණය ගැන සොයා බැලුවා. අපි වෙන් වෙන්ව තරගකාරිත්වයෙන් නොවෙයි හිතුවේ. අලුත් නිර්මාණය මේ රටේ ජනතාව වෙනුවෙන් වඩාත් ඵලදායි ලෙසින් කරන්නේ බිහි කරන්නේ කොහොමද කියනඑක තමයි අපි දෙන්නාගේම අභියෝගය වී තිබුණේ. ඒ අන්දමට අලුත් දෙයක් කරන්න අපට හැකියාව ලැබුණා. මීට අමතරව අපි තවතවත් බොහෝ නිර්මාණ සිදු කරලා තියෙන්නේ. එවාත් අපි හෙට දවසේ මේ රටේ දියුණුව වෙනුවෙන් හඳුන්වා දීම තමයි අපේ බලාපොරොත්තුව. මුල් කාලේ අපිට විවිධ ගැටලු ආවා. බලය සපයාගන්නේ කෙසේද යන කරුණ ප්‍රබල ගැටලුවක් වුණා. ට්‍රාන්ස්ෆෝමරයක් තමයි අපි යොදාගත්තේ. පසුව එක් දිනයක දී එය අධික ලෙස රත් වෙලා පිච්චිලා ගියා. පසුව තමයි අපි පරණ කාර් බැටරියක් යොදා ගෙන අපි මේ නිර්මාණ සිදු කළේ,“ යැයි නදුන් නවාංජන පැවැසීය.

රාහුල විද්‍යාලයේ නව නිපැයුම් සංගමය භාර ආචාරිනී ඩබ්ලිව්.කේ. රමණී මහත්මිය සිය ශිෂ්‍යයන් සම්බන්ධයෙන් දැක්වූයේ මෙවැනි අදහසකි:

“මේ සිසුන් දෙදෙනා අප පාසලේ නව නිපැයුම් සංගමයේ සාමාජිකයන් දෙදෙනෙක්. ඔවුන් හැම ප්‍රදර්ශනයකටම නව නිපැයුම් ඉදිරිපත් කරනවා. අපේ විද්‍යාලයේ වසරකට වරක් නව නිපැයුම් ප්‍රදර්ශයක් තිබෙනවා. ඒ අතරින් හොඳම නිර්මාණ තෝරලා තමයි තරගවලට ඉදිරිපත් කරන්නේ. පොඩි පන්තිවල ඉඳලාම මේ දරුවන්ගේ දක්ෂතාව තිබුණා. එදා ඉඳලා මේ සිසුන් අලුත් නිර්මාණ සිදු කළා. ගණිත අංශයෙන් මේ දරුවන් දක්ෂයි. ඉදිරියේදීත් මේ දරුවන් දෙදෙනාගෙන් හොඳ නිර්මාණ බිහි කරගැනීමට හැකියාව ලැබේවියැයි මා විශ්වාස කරනවා.“

ලංකාවට හිසරදයක් වී ඇති අලි මිනිස් ගැටුම නිරාකරණය කිරීම වෙනුවෙන් මේ දරුවන් සිදු කළ නව සොයාගැනීම රටේ තිරසර දියුණුවට ‍විශාල දායකත්වයක් සලසයි. මෙවැනි නව නිර්මාණ ජාතියට බිහි කරන දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන් පාලන පන්තිය වඩාත් වැඩි අවධානයක් යොමු කළ යුතුමය.

Comments