ඉන්දුනීසියාවෙන් පිබිදුණු ඉන්දීය සාගර කලාපීය සහයෝගිතාව | සිළුමිණ

ඉන්දුනීසියාවෙන් පිබිදුණු ඉන්දීය සාගර කලාපීය සහයෝගිතාව

 ‘ඉන්දීය සාගරයේ සහ එහි නාවික-සන්නිවේදන මාර්ගවල ආරක්ෂාව තහවුරු කිරීම අප රටවල යහපත සදහා හේතුවේ’. එමෙන්ම අප ජනතා අභිලාෂයන් නියෝජනය වන සම්මුතියක් තුළින් සාමකාමි ආරක්ෂිත සාගර කලාපයක් බිහි කිරිම අප සියල්ලන්ටම වාසිදායක වන්නේය’  - ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉන්දිය සාගර කලාපිය සංගමයේ සමාරම්භක සැසි වාරයේදී....

ගෙවි ගිය දින හත ගෝලීය අවධානය අප දකුණු ආසියාවටත් ඉන්දීය සාගර කලාපයටත් යොමුවුයේ පුවත් මවන සිදුවීම් කිහිපයක් නිසාවෙනි. එක් පැත්තකින් කලාපීය ආරක්ෂාව පිළිබඳ බරපතළ අභියෝගයක් හා සැක සංකා මතුවුයේ අයි එස් ත්‍රස්තවාදීන් දකුණු ආසියාව තුළ සක්‍රීය බව ඇඟවීමේ ප්‍රහාරාත්මක මෙහෙයුම් හේතුවෙනි. පළමුවෙන් ඇෆ්නිස්ථානයේ කාබුල් අගනුවර හමුදා රෝහලට පහර දුන් අයි එස් කල්ලිය එහි රෝගීන් හා වෛද්‍ය කාර්යය මණ්ඩලය ඇතුළු 30 දෙනෙකු ඝාතනය කළේ තමන් නමට පමණක් ආගමික කඩතුරාවකින් මුවා වු හුදෙක් ත්‍රස්තවාදීන් පමණක්ම බව සනාථ කරමිනි. මෑත ඉතිහාසයේ ත්‍රස්තවාදීන් කණ්ඩායමක් වුවද රෝහලකට පහර දුන් ප්‍රථම අවස්ථාව මෙයයි. එමෙන්ම එය ආරක්ෂක ක්ෂේත්‍රය තුළ තීරණාත්මක පණිවුඩයක් දෙන ප්‍රහාරයක් බව විශේෂඥයන්ගේ මතයයි. ඒ මන්ද ඇෆ්ගනිස්තානය තුළ වඩාත් බලවත් සටන්කාමී සංවිධානය වුයේ තලෙබාන් කල්ලියයි. අලුත එනම් මීට දෙවසරකට පමණ පෙර ඇෆ්ගනිස්තානයේ පිහිටුවාගනු ලැබු අයි එස් සටන්කාමීි සංවිධානය තලෙබාන් ආධිපත්‍යයට අභියෝග කිරීමක් සේ මෙය සැලැකේ. සැලසුම්ගත මහා පරිමාණ ප්‍රහාරයක් තුළින් අයි එස් කල්ලිය ඇෆ්ගනිස්තානයේ තම පැවැත්ම හා බලය සනිටුහන් කිරීමත් ඒ හරහා ප්‍රචණ්ඩකාරී අන්තවාදී පුද්ගලයන් තම සාමාජිකත්වය වෙත අද්දවාගැනීමත්ය.

දෙවැන්න ඉන්දියාවේදී ආයුධ සහිත අයි එස් සාමාජිකයෙකු එරට හමුදාව විසින් ඝාතනය කරනු ලැබීමයි. ලක්නව්හිදී පැයකට වැඩි කලක් ඉන්දීය හමුදාව සමඟ සටන් කළ අයි එස් ප්‍රහාරකයා මියයන විටත් උණ්ඩ හයසියයකට වැඩි ගණනක් හා තවත් අවි ආයුධ රැසක් ඔහු සතුවීම ඉන්දීය ආරක්ෂක අංශවල අවධානය වඩාත් යොමුවූ කරුණකි.

මේ සිදුවීම් හරහා ගම්‍ය වු ප්‍රධාන කාරණය වුයේ ඉන්දීය සාගර කලාපීය රටවල ආරක්ෂාව හා ස්ථාවරභාවය පිළිබඳ අලුතෙන් සිතිය යුතු කාලය එළඹ ඇති බවයි. මේ සඳහා දකුණු ආසියානු රටවලට හා පොදුවේ ඉන්දීය සාගර කලාපීය රටවලට කළ හැක්කේ කුමක්ද. ඒ සඳහා අවශ්‍ය මුලික සාධකය වන්නේ කලාපීය සහයෝගීතාවයි. සාක් හෙවත් දකුණු ආසියානු කලාපිය සහයෝගීතා සංගමය වඩාත් පසුගාමී කලාපීය සංවිධානයක ලක්ෂණ පෙන්නුම් කරමින් ඇතැම් විවේචනවල කියැවෙන පරිදි හුදෙක් කතා සාප්පුවක් බවට පත්වෙද්දී දකුණු ආසියානු රටවලට වඩාත් ඵලදායක සහයෝගීතා වැඩපිළිවෙළක අවශ්‍යතාව දැනී තිබිණ. සැබෑ කලාපීය සහයෝගීතාවක් පිළිබඳ බලාපොරොත්තුවේ අරුණලු උදාවුයේ ඉන්දුනීසියාවේ ජකාර්තා අගනුවර පැවති ඉන්දීය සාගර කලාපීය සංගමයේ ප්‍රථම රාජ්‍ය නායක සමුළුව නිසාවෙනි. එය සැබෑ කලාපීය සහයෝගීතාවක් පිළිබඳ අවධානය යොමු කෙරුණු අන්තර්ජාතික සැසි වාරයක් පමණක්ම නොවේ. කලාපීය සහයෝගිතාව සඳහා පිහිටුවාගනු ලැබු එහෙත් නිසිලෙස පරිණත නොවු සංවිධානයක පුනරුප්පත්තියයි. මෙතෙක් අමාත්‍ය මට්ටමේ හමුවීම්වලින් ඉදිරියට නොගිය ඉන්දීය සාගර කලාපීය රටවල සංගමය සැබෑ කලාපීය සංවිධානයක රාජ්‍ය තාන්ත්‍රික මුහුණුවරට සම්ප්‍රාප්ත වෙමින් රාජ්‍ය නායක මටිටමේ සාකච්ඡා සඳහා යොමු වීමයි. එමෙන්ම කලාපයේ ඉදිරි ගමනට අභියෝගයක් වන උවදුරු කෙරෙහි විශේෂ අවධානයක් සමුළුවේ අවසන් ප්‍රකාශනයේදී මෙන්ම රාජ්‍ය නායක දේශනවලදී ද දැඩි අවධානයක් යොමු වීමයි. දැනට ඉන්දීය සාගර කලාපයට බලපාන ප්‍රධාන තර්ජන වන්නේ ත්‍රස්තවාදය, මුහුදු කොල්ලකෑම් ඇතුළු තර්ජන හා මත්ද්‍රව්‍ය ජාවාරමයි. මෙහිලා මත් විරෝධී සටනට අවධානය යොමු කරවීමේ මෙහෙවර ඉටුකිරීමට ශ්‍රී ලංකාවද දායක වීම අන්තර්ජාතික ප්‍රජාව තුළ වැදගත් භූමිකාවක් ඉටු කිරීමට අප රටෙහි ඇති කැපවීම තහවුරු කරන්නකි.

ඉන්දීය සාගර කලාපීය සංවිධානය යනු ලොව තෙවැනි විශාලතම සාගරය වන ඉන්දීය සාගරයෙත් වෙරළ තෙමෙන රටවල හෙවත් වටද්දර රටවල එකමුතුවකි. අප්‍රිකානු ආසියානු හා ඔස්ට්‍රේලියානු මහද්වීප නියෝජනය කරන රටවල් 21ක් එහි සාමාජිකත්වය දරයි. අමෙරිකාව චීනය ජපානය බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් 7ක් සමුළුවේ නිරීක්ෂක තත්ත්වය උසුලයි. සංවිධානය බිහිවූයේ 1997 වසරේ මාර්තු 7 වෙනිදායි. කලාපීය රටවල් එක්ව ඇතිකර ගනු ලැබු ඉන්දීය සාගර කලාපීය සංගමයේ මුලික අවස්ථාව වුයේ 1997 වසරේ සම්මත කෙරුණු සහයෝගීතාව පිළිබඳ ඉන්දීය සාගර කලාපීය ප්‍රඥප්තිය නැමති ගිවිසුමයි. සංවිධානය පිහිටුවීමේ මුලික පියවර තැබුවේ 1993 වසරේ ඉන්දියාව හා දකුණු අප්‍රිකාව එක්වයි. ඒ ඉන්දීය හා දකුණු අප්‍රිකානු විදේශ ඇමතිවරුන්ගේ සාකච්ඡාවකදී මතු වු අදහසකට අනුවයි. පසුව එවකට සිටි දකුණු අප්‍රිකානු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ 1995 ජනවාරි ඉන්දීය චාරිකාවේදී මෙය ක්‍රියාත්මක වීම ආරම්භ කිරීමේ ක්‍රමවේදය සඳහා අවශ්‍ය මුලික පදනම තබනු ලැබීය. එහි මුලික අරමුණ වුයේ ඉන්දීය සාගර කලාපීය හැඟීම වර්ධනය කරමින් ආර්ථික සහයෝගීතාව නැංවීමයි. ආයෝජන නැංවීමත් කලාපීය රටවල් අතර නිදහස් වෙළෙදාම ප්‍රවර්ධනය සදහා අවශ්‍ය පසුබිම සැකසීමත් එහි අරමුණු අතර විය. නව සහයෝගීතා සංගමය රාජ්‍ය ව්‍යාපාරික හා විද්වත් දායකත්වයෙන් යුත් රාමුවක් තුළ ස්ථාපනය කෙරිණ. එහි මුලික මෙහෙයුම් යාන්ත්‍රණය වුයේ අමාත්‍ය මට්ටමේ කවුන්සිලයයි. අවසන් විධායක ඒකකය සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන් වු අතර 1997 සිට මේ දක්වා එය රාජ්‍ය නායක මට්ටමට ළඟා වී තිබුණේ නැත.

එහෙත් ඉන්දීය සාගර කලාපයට හා විශේෂයෙන් දකුණු ආසියාවට තවදුරටත් මෙලෙස පසුගාමී කලාපීය සංවිධාන පවත්වාගෙන යාමෙන් අත්වන ප්‍රතිඵලය කුමක්ද යන්න ඉතා පැහැදිළිය. සංවර්ධිත රටවලින් සමන්විත යුරෝපා සංගමය මෙන්ම සංවර්ධනය වෙමින් පවතින ජාතින්ගෙන් බහුල අප්‍රිකානු සංගමය හා ලතින් අමෙරිකානු රටවල ජාතීන්ගේ එකතුව ද දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානවලට වඩා ගවු ගණනක් ඉදිරියෙන් සිටී. එවැනි තත්ත්වයක් යටතේ දකුණු ආසියාවට යම්තාක් දුරකට හෝ ක්‍රියාකාරී සංවිධානයක් අවශ්‍යව තිබේ. ඉන්දීය සාගර කලාපීය සංගමය සිය ප්‍රථම රාජ්‍ය නායක සමුළුව තුළින් නව පණක් ලැබුවේ එම අවශ්‍යතාවට පණ දීමේ අපේක්ෂාව ඇතිවයි. මෙය කලාපීය බලවතුන් සංවර්ධිත රටවල් හා සංවර්ධනය වෙමින් පවතින රටවල් වැනි ඉහළ විවිධත්වයකින් යුත් සාමාජික රටාවක් සහිත කලාපීය සංවිධානයකි’ එහි ඉදිරි ක්‍රියාකාරීත්වය ශක්තිමත් කිරීමේ වගකීම දැරීමට දකුණු අප්‍රිකාව ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව වැනි කලාපීය බලවතුන් වන සාමාජිකයන් වෙත පැවරෙන්නේ විශේෂ වගකීමකි’. මීට දශක පහකට පෙර ඉන්දීය සාගර කලාපයෙන් යටත් විජිතවාදයේ බලපෑම තුරන් වුවත් කලාපීය සහයෝගීතාව නංවා ශක්තිමත් බලවේගයක් ලෙස ගෝලීය තලයේ නැඟී සිටීමට මේ කලාපයට නොහැකි වුයේ ඉතා බරපතළ බෙදීම් හේතුවෙනි. ඉන්දීය සාගර කලාපීය සංගමය වර්තමානය වන විට එවැනි ප්‍රශ්න කෙරෙහි අවධානය යොමුකර කලාපීය ආර්ථික දේශපාලනික හා ආරක්ෂක සහයෝගීතාව නැංවීමට අවශ්‍ය පදනම සකස් කෙරෙන වේදිකාවක් බවට පත්වීමේ ප්‍රවණතා රාජ්‍ය නායක සමුළුව තුලින් විද්‍යමාන වීම සුබදායී ලකුණකි.

ඉන්දීය සාගරය යනු අතිශය වැදගත් ආර්ථිකමය ප්‍රවණතාවක් සහිත සාගර කලාපයකි. ලොව කන්ටේනර නෞකා ප්‍රවාහන කටයුතුවලින් හරි අඩක් එම සාගර කලාපය ඔස්සේ සිදුවේ. ඊට අමතරව ප්‍රධාන වෙළෙද නාවික භාණ්ඩ මෙහෙයුම්වලින් තුනෙන් එකක්ද ඛණිජ තෙල් ප්‍රවාහනයෙන් තුනෙන් එකක්ද ඒ ඔස්සේ සිදුවේ. ඒ අනුව ඉන්දීය සාගරය ලොව වෙළෙදාමේ ජිවනාලිය බඳු වේ. ලොව බටහිර හා නැගෙනහිර යා කිරීමේ සුවිශේෂී මෙහෙවර එමගින් සිදුවේ. එහෙත් ඉන්දීය සාගර වෙරළට මායිම් වු රටවල් කීයක් මේ විශාල ආර්ථික ප්‍රවණතාවන්ගේ නිසි ඵල නෙළා ගැනීමට සමත්ව තිබේද යන්න ප්‍රශ්නයකි. යටත් විජිත යුගයෙන් පසු උරුම වු පසුගාමීත්වය හා පරාධීන චින්තනයත් සියලු ක්ෂේත්‍ර වෙළා ගත් දුෂණය හා අකාර්යක්ෂමතාවත් මේ බොහෝ රටවලට කලාපීය වාසිය අත්කර ගැනීමට එල්ල වු බාධාවන් සේ සැලකේ.

ශ්‍රී ලංකාව මෙවර සමුළුවේදී කලාපීය රටවල අවධානය යොමු කළේ ආර්ථික සමෘද්ධියට හා දේශපාලනික සහයෝගීතාවට බාධා එල්ල කරන උවදුරු පිටුදැකීම සඳාහා කලාපීය නායකත්වයේ අවධානය යොමු කරවීමයි. සමුළුවේ සමාරම්භක සැසි වාරයේදී සිදුකළ සිය දේශනයේදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රධාන වශයෙන් පෙන්වා දුන්නේ සමුද්‍රීය ආරක්ෂාවට එරෙහි තර්ජන පිටුදැකීමට හා ඉන්දීය සාගර කලාපය වෙළා ගනිමින් සිටින මත් උවදුර පිටුදැකීමට අවශ්‍ය තිරසාර ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට කලාපීය නායකයන්ගේ අවධානය යොමුවීමේ අවශ්‍යතාව අවධාරණය කිරීමටයි. එය ඉතා කාලීන හා මේ කලාපයේ අස්ථාවර භාවය පිටුදැකීමට තුඩු දෙන වැදගත් සාධකයකි. ඒ මන්ද යත් ඉන්දීය සාගර කලාපය මීට දශක දෙකකටත් පෙර සිට හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිෂ්පාදන හා ප්‍රවාහන කලාපයක්ව පැවතිණ. ස්වර්ණ ත්‍රිකෝණය හා ස්වර්ණ චන්ද්‍රවංකය වැනි නම්වලින් හැඳින්වුණු මත්ද්‍රව්‍ය මෙහෙයුම් ප්‍රදේශ මේ කලාපයේ පැවතිණ. එහෙත් අද වන විට තත්ත්වය වඩාත් නරක අතට හැරෙමින් පවතින්නේය. පසුගිය වසර තුන තුළ පමණක් ඉන්දීය සාගර කලාපයෙන් අල්ලාගනු ලැබු මත්ද්‍රව්‍ය ප්‍රමාණය ටොන් 9300 ඉක්මවයි. ඒ නීතියේ රැහැනට හසු වු මත්ද්‍රව්‍ය පමණි. එසේ හසු නොවී ප්‍රවාහනය කෙරුණු තොග කොපමණදැයි කිසිවෙකු නොදනී. ඊට අමතර අලුත්ම උවදුර වන්නේ ලතින් අමෙරිකානු කලාපයේ නිෂ්පාදනය කරන කොකේන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ ප්‍රධාන කලාපයක් ලෙස ඉන්දීය සාගර යොදාගන්නා බවට සාක්ෂි ලැබී තිබේ. බ්‍රසීලයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි සීනි කන්ටේනර තුළ කොකේන් කිලෝ සිය ගණන් පැවතීම ඊට කදිම උදාහරණයකි. මෙරට මුහුදු තීරයේ යාත්‍රා කරමින් තිබු නැව් හා වෙනත් යාත්‍රාවලින් කොකේන් මත්ද්‍රව්‍ය තොග හමුවීම තවත් උදාහරණයකි. එහෙත් ප්‍රධාන ගැටලුව වන්නේ කලාපීය වශයෙන් මේ උවදුරට එරෙහිව ක්‍රියාත්මක වීමේ නීතිමය යාන්ත්‍රණය ශක්තිමත් නොවිමයි’. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය දේශනයේදී පෙන්වා දුන්නේ අන්තර්ජාතික මුහුද යොදා ගනිමින් සිදුවන මත් ජාවාරම් මැඬලීමට කලාපීය රටවලින් ඒකාබද්ධ හා විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය බවයි.’ දැනට පවත්නා සහයෝගීතාව තවදුරටත් තිරසාර මට්ටමකට ගෙන ඒමටත් අන්තර් කලාපීය සබඳතා ඉහළ තලයකට ගෙන ඒමටත් අප ක්‍රියා කළ යුතු වන්නේය. මේ පදනම යටතේ සාක් හා ආසියාන් සංවිධානවල රාජ්‍ය නායකයන් අතර සංවාදයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා රාජ්‍ය නායකයා සිය දේශනයේදී සඳහන් කළේය. දැනට ඉන්දීය සාගර කලාපය නාවික ත්‍රස්තවාදයේ හා මුහුදු කොල්ලකරුවන්ගේ දැඩි තර්ජනවලට ගොදුරු වේ. එල් ටී ටී ඊ සංවිධානයේ මුහුදු කොටි වැනි නාවික ත්‍රස්තවාදි ඒකක දැන් විවෘතව දක්නට නොලැබුණද අවි ගත් පාර්ශව මහ මුහුදට පැමිණීම ඉහළ යමින් පවතින බව ගෝලීය නීති අංශ පෙන්වා දෙයි. සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගේ තර්ජනය පහුගිය දශකය තුළ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට හා වෙළෙද නාවික කටයුතුවලට බාධා එල්ල කළේය. සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කිරීමේ වැදගත්කම ශ්‍රී ලංකාව මේ සමුළුවේදී පෙන්වා දුන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ශ්‍රී ලංකාවට මේ සමුළුව වැදගත් වන අතිරේක සාධකයන් වන්නේ ද්වි පාර්ශ­්වික සහයෝගීතාව නැංවීමට ලැබුණු අත්වැලයි. මෙරටට වාසිදායක ලෙස අවසන් වු ජනාධිපතිතුමාගේ ඉන්දුනීසියානු චාරිකාව හා සාමාජික රටවල රාජ්‍ය නායකයන් සමඟ පැවැති ද්වි පාර්ශ්වික සාකච්ඡා මෙහිලා වැදගත් වේ.

ශ්‍රී ලංකාව යනු ඉන්දීය සාගර කලාපයේ ඉහළතම ක්‍රමෝපායික වැදගත්කමකින් යුත් ස්ථානයක පිහිටා ඇති රාජ්‍යයක් ය යන්න අප හොඳින් දන්නා කරුණකි. එසේනම් දැනට අප රට හඳුන්වා දී ඇති නිල් ආර්ථික හෙවත් සමුද්‍රීය කටයුතු පදනම් කරගත් ආර්ථික සංවර්ධනයක් උදෙසාත්. මුල්‍ය සංචාරක හා පහසුකම් සැපයීෙම් කේන්ද්‍රයක් ලෙස ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමේ සංකල්පයත් තුළින් නිසි පල ලබා ගැනීම සඳහා ඉන්දීය සාගර කලාපීය සංගමය වැනි සංවිධානවලින් අත් වන්නේ වැදගත් දායකත්වයකි.

 

Comments