ජනාධිපති නිලධාරීන්ට තදින් සිටී! | සිළුමිණ

ජනාධිපති නිලධාරීන්ට තදින් සිටී!

සිය වගකීම් නිසි ලෙස ඉටු කළ නො හැකි නිලධාරීන් ඉල්ලා අස් විය යුතුයැ'යි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටී. ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කර සිටියේ නියං තත්ත්වය හේතුවෙන් කෘෂිකර්මයට එල්ල වූ බලපෑම් සම්බන්ධව ජනාධිපති ‍නිල නිවෙසේ පසුගියදා පැවැති සාකච්ඡාවකදීය.

වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක් වී ඇති සෑම ගොවි පවුලක් සඳහා ම මසකට රුපියල් 10,000ක දීමනාවක් ලබාදීමට ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන් බව ද වාර්තා වේ. නියඟයෙන් පීඩාවට පත් වූ ජනතාවට ඉදිරියේදී සහල් සහනාධාරය ලබා දෙන

බව ද සඳහන් කළ ජනාධිපතිවරයා නියඟයෙන් පීඩාවට පත් ජනතාවට අත්‍යවශ්‍ය ජල පහසුකම් සැලසීම සම්බන්ධයෙන්ද ‍මෙහිදී අවධාරණය කළේය. තව ද ඉඩම් ගොඩ කිරීම සම්බන්ධයෙන් මහජනතාවගෙන් පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබෙන බැවින් නිලධාරීන් ඒ සඳහා වහාම පියවර ගත යුතු බව ද ප්‍රකාශ කළේය.

ඉදිරියේදී ඇතිවේයැයි සැක කෙරෙන විදුලි අර්බුදයට විකල්ප ලෙස පල්ලෙකැලේ, හම්බන්තොට, කුරුණෑගල, ගාල්ල ආදි ප්‍රදේශවල හදිසි විදුලි උත්පාදන යන්ත්‍ර පිහිටුවීමටත් අරපිරිමැස්මෙන් යුතුව විදුලිය පරිහරණය කරන ලෙස ජනමාධ්‍ය හා අන්තර්ජාලය හරහා ජනතාව දැනුවත් කරන ලෙස අවශ්‍ය උපදෙස් ජනාධිපතිවරයා එහිදී ලබා දුන්නේය.

තවදුරටත් මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා වැය වන මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබා දිය යුතු බව ය.

මලික් චමින්ද ධර්මවර්ධන 

Comments