පළාත් සභා බල පෙරළිය නවතී | සිළුමිණ

පළාත් සභා බල පෙරළිය නවතී

 පළාත් සභා හතක ඒකාබද්ධ විපක්ෂයට සහාය දෙන පළාත් සභා මන්ත්‍රීවරුන් ස්වාධීන වීමට ගත් තීන්දුව තාවකාලිකව අත්හිටුවීමට එම මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ. මාර්තු මස මුල් සතිය වන විට ඒකාබද්ධ විපක්ෂයට සහාය දෙනු ලබන පළාත් සභා මන්ත්‍රීවරුන් ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස එම සභාවන්හි අසුන් ගන්නා බව අදාළ පළාත් සභාවල සභාපතිවරුන් වෙත ලිඛිතව දැනුම් දීමට නියමිතව තිබිණි. කෙසේ වෙතත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ උපදෙස් මත ඒකාබද්ධ විපක්ෂයට සහාය දෙනු ලබන මන්ත්‍රීවරුන් විසින් ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමේ තීන්දුව අත් හැර තිබේ.

බස්නාහිර පළාත් සභාවේ පමණක් ඒකාබද්ධ විපක්ෂයට සහාය දෙනු ලබන මන්ත්‍රීවරු 42 ක් සිටිති. සබරගමුව , උතුරු මැද , මාධ්‍යම , ඌව , වයඹ සහ දකුණු යන පළාත් සභාවන්හිද මේ වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කර පත්වු පළාත් සභා මන්ත්‍රීවරු බහුතරයක් ඒකාබද්ධ විපක්ෂයට සහාය දීමට ඉදිරිපත්ව සිටිති. ඒකාබද්ධ විපක්ෂයට සහාය දෙනු ලබන බස්නාහිර සහ දකුණු පළාත් සභාවන්හි මන්ත්‍රීවරුන් මුලින් තීන්දු කොට තිබුණේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස පළාත් සභාවන්හි අසුන් ගනිමින් පළාත් මහ ඇමැති ධුරයන් අත්පත් කර ගැනීමටය.

කෙසේ වෙතත් මේ මොහොතේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට යාමෙන් එ.ජා.ප. ය විසින් පළාත් මහ ඇමැති ධුර අත්පත් කර ගැනීමේ මෙහෙයුමක් දියත් කර ඇති බැවින් ස්වාධීන වීමේ තීන්දුව අත් හැර දමන ලෙස හිටපු ජනපති මහින්ද විසින් ඒකාබද්ධ විපක්ෂයට සහාය දෙන මන්ත්‍රීවරුන්ට උපදෙස් දී තිබේ. දේශපාලනික වශයෙන් සුදුසු අවස්ථාවකදී ස්වාධීන මන්ත්‍රීවරු ලෙස කටයුතු කරමින් පළාත් සභා මහ ඇමැති ධුරයන්හි බලය ඇල්ලීමට සුදානමින් සිටින ලෙසද හිටපු ජනාධිපතිවරයා විසින් අදාළ ඒකාබද්ධ විපක්ෂයට හිතවත් මන්ත්‍රීවරුන්ට දැනුම්වත් කර තිබේ. 

Comments