ගුවන් හමුදාවෙන් විශේෂ සංදර්ශනයක් | සිළුමිණ

ගුවන් හමුදාවෙන් විශේෂ සංදර්ශනයක්

ගුවන් හමුදාවට වසර 66ක් පිරීම නිමිත්තන් ගුවන් හමුදා ප්‍රදර්ශනයක් හා සැණකෙළියක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ශ්‍රී ලංකා ගුවන් හමුදා‍ෙව් අධ්‍යක්ෂ (ගුවන් මෙහෙයුම්) එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා පවසයි. මේ ප්‍රදර්ශනය හා සැණකෙළිය ලබන මාර්තු මස 3 වැනිදා සිට 5 වැනිදා දක්වා පස්වරු 2.30 සිට රාත්‍රිය දක්වා රත්මලාන ගුවන් හමුදා කඳවුරු භුමියේදී පැවැත්වෙන බවද අධ්‍යක්ෂවරයා පවසයි.

මෙම සැණකෙළියේදි ගුවන් හමුදාව විසින් ගුවන් යානා සංදර්ශන රැසක් පවත්වන අතර ඒ සඳහා ගුවන් යානා 30කට අධික සංඛ්‍යාවක් යොදා ගැනීමට නියමිත බවද පතිරණ මහතා කීය. වරින් වර මේ ගුවන් යානා අහසට නංවා මේ සංදර්ශනය පවත්වනු ලැබේ.

ඊට අමතරව සතුරු කඳවුරකට පහර දෙන ආකාරය මෙන්ම ගින්නකදී ගුවන් හමුදාව විසින් කටයුතු කරනු ලබන ආකාරයත්, සුනඛයන් ඇසුරින් සිදු කරනු ලබන සංදර්ශනත් දැක බලා ගැනීමට අවස්ථාව සැලසි ඇත. සෑම සැණකෙළි දිනකම රාත්‍රී 7.30සිට දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවන්ගෙන් සමන්විත හා ජනප්‍රිය සංගිත කණ්ඩායමක් සහභාගි වන සංගීත රාත්‍රියක්ද පැවැත්වේ.

මේ සංදර්ශනයේදී සැහැල්ලු ගුවන් යානා නියමුවන් රහිත ගුවන් යානා ඇතුළු ගුවන් හමුදාවේ යානා දැක බලා ගන්නට හැකියාව ලැබෙන අතර ඒවායේ ක්‍රියාකාරීත්වය තාක්ෂණික ක්‍රමවේදය ආදිය ගැනද විස්තර කර දීමට විශේෂ කණ්ඩායම් යොදවා තිබේ. මේ සැණකෙළියට අදාළ ටිකට්පත් රුපියල් 50. 00ක් වැනි සුළු මුදලකට ලබා ගත හැකි බව දන්වා සිටින අධ්‍යක්ෂවරයා වයස අවරුදු 12න් පහළ සියලු දරු දැරියන්ට සංදර්ශනය නොමිලේ නැරැඹිය හැකි බවද පවසයි.

Comments